ලෝකය පුරා කොරෝනා තීව්‍ර වෙයි - වූහාන් නගරය අප්‍රේල් 08 ආරම්භ කිරීමට නියමිතයි | දිනමිණ


 

ලෝකය පුරා කොරෝනා තීව්‍ර වෙයි - වූහාන් නගරය අප්‍රේල් 08 ආරම්භ කිරීමට නියමිතයි

ලොව පුරා ආසාදිතයන්ගේ ගණන 423,000ට ළඟා වෙමින් මරණ සංඛ්‍යාව 20,000ට ළඟා වෙමින් කොරෝනා වෛරස වසංගතය "තීව්‍ර වෙමින්" පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරයි. ඒ අතර දැනට වසා දමා ඇති කොරෝනා වෛරසය පැතිරීම ආරම්භ වූ වූහාන් නගරට අප්‍රේල් 08 වැනිදා සිට අර්ධ වශයෙන් විවෘත කිරීමට නියමිතය. ඊට අමතරව වූහාන් නගරය පිහිටි හුබෙයි ප්‍රාන්තයේ අනෙකුත් නගරවලට පනවා තිබූ දැඩි සංචරණ නීති, මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන උදවිය සඳහා පමණක් පෙරේදා ( 24) මධ්‍යම රාත්‍රියේ සිට ලිහිල් කෙරිණි.

අඟහරුවාදා දිනය තුළ කොරෝනා වෛරසය වැළඳුනු එක් පුද්ගලයකු පමණක් වූහාන් නගරයෙන් වාර්තා විය. නමුත් සතියකට ආසන්න කාලයක් තිස්සේ කිසිදු රෝගියකු වූහාන් නගරයෙන් වාර්තා නොවිණි.

වූහාන් නගරයේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින නමුත් ලෝකයේ ඇතැම් රටවල තත්ත්වය දිනෙන් දින බරපතළ වෙමින් පවතී.

කොරෝනා පළමු ආසාදිතයා වාර්තා වී දින 67 ක් ඇතුළත ආසාදිතයන් ලක්‍ෂයක් ලොව නන් දෙසින් වාර්තා විය. නමුත් දෙවන ලක්ෂය (100,000) වාර්තා වීමට ගත වූයේ දින 11 ක් පමණි. එම තත්ත්වය තවත් බරපතළ කරමින් තුන්වන ලක්ෂය වාර්තා වූයේ දින හතරක් ඇතුළත ය.

චීනයේ වූහාන් නගරයේ නීති ලිහිල් වීමට නියමිත නමුත් ලෝකයේ තවත් නගර කිහිපයකම නීති රීති දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ. අත්‍යාවශ්‍ය නොවන ද්‍රව්‍ය වෙළෙඳාම් කරන සියලුම වෙළෙඳසැල් වසා දැමීමටත් දෙදෙනකුට වැඩි පිරිසක් ප්‍රසිද්ධ ස්ථානවල ඒකරාශී වීම තහනම් කිරීමටත් එක්සත් රාජධානිය පියවර ගත්තේය.

අම‌ෙරිකානුවන් ද සිය සමාජ අන්තර්ක්‍රියා සීමා නොකළහොත් ආසාදිතයන් වාර්තා වීම අතිශයින් ඉහළ යනු ඇති බවට සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.

මේ අතරතුර ස්පාඤඤයේ විශ්‍රාමික නිවාස තුළ කිසිවකුගේ පිළිසරණක් නොමැතිව සිටි වැඩිහිටියන් පිරිසක් එරට හමුදාව විසින් සොයාගනු ලැබූ බව වාර්තා විය.

අතහැර දමා තිබූ මෙම වැඩිහිටි නිවාස තුළ සිටි ඇතැම් අයට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති අතර ඇතැමුන් සිය ඇඳන් මත මියගොස් සිටි බව එරට ආරක්ෂක අමාත්‍යාංශය පැවසීය.

ඉතාලියෙන් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 6820 දක්වා ඉහළ ඇති අතර ස්පාඤ්ඤයේ මරණ සංඛ්‍යාව 2991 කි. ස්පාඤ්ඤයේ මුළු ආසාදිතයන්ගේ ප්‍රමාණය 40,000ට ආසන්න ය. ඉන් 5,400ක් පමණ සෞඛ්‍ය සේවයේ නිරතව සිටි පිරිසකි. නිවේදනය කළේ එරටින් වාර්තා වන මුළු මරණ සංඛ්‍යාව 1100 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එක්සත් ජනපදයෙන් මරණ 782 ක් මේ දක්වා වාර්තා වී තිබේ. වැඩිම බලපෑම සිදු වී ඇත්තේ කැලිෆෝනියාව, නිව්යෝර්ක් සහ වොෂින්ටන් යන ප්‍රාන්තවලට ය.

මේ අතර මෙතෙක් කිසිදු කොවිඩ් -19 රෝගියෙක් වාර්තා නොවූ මියන්මාරයෙන් ද රෝගීන් දෙදෙනකු වාර්තා විය.

නව අදහස දක්වන්න