සොබා දහමේ නීතිය සැමට පොදුය | දිනමිණ


 

සොබා දහමේ නීතිය සැමට පොදුය

කම්පිත සමාජය

'මානවයා, ශාක සහ වනසතුන් සියලුදෙනාම එක ම සුළඟ බෙදාගනියි. සුළඟ එය උපකාර කරන ජීවයේ සාරය බෙදාගනියි. ජීවන වියමන මානවයාගේ ගෙත්තමක් නොවේ. හෙතෙම එහි එක් නූල් පොටක් පමණි. මානවයා එම ජාලයට වින කරන්නේ ද එය ඔහු තමාට ම සිදුකරගන්නා අසන්නාසියකි. සෑම දෙයක් ම එකට වෙලී සම්බන්ධ ව ඇත. සත්ව සහ ශාක විශේෂ සියල්ල ම එක ම පවුලක සාමාජිකයෝය'. ස්වදේශික අමෙරිකානු නායක සියටල් 1854 දී වොෂින්ටන් හී සුදු පාලකයා වෙත යැවූ ලිපියේ එලෙස සටහන් කළේය. පෘථීවිය මත සෑම දෙයක් ම එකිනෙකට සම්බන්ධයි. එය විකෘති නො කළ යුතුය.

සොබාදහමේ සබඳතාව බිඳදමන සෑම මොහොතක ම එය ව්‍යසනයක් ව නැවත ඔහු කරා ආපසු පැමිණෙයි. ඉකුත් වසර තුන් සියය තුළ ඉන්ෆ්ලුවෙන්ෂා වසංගත නමයක් ගැන වෛද්‍ය ඉතිහාසයේ සටහන් වේ. සෑම වසර 30 - 35 කට වරක් හෝ සෑම සියවසක ම ආසන්න වශයෙන් වසංගත තුනක් මානව සමාජය මත ව්‍යසන ලෙස වැඩී ගොස් ඇත. 21 වන සියවසේ මුල් දසක දෙක තුළ වසංගත හතරක් සමස්ත ගෝලීය සමාජය කම්පනයට පත් කළේය. වසංගත රෝග සෞඛ්‍යය අවදානමක් පමණක් නොව, ගෝලීය ආර්ථීක අර්බුදයක් ද නිර්මාණය කරයි. 1918 ස්පාඤ්ඤ උණ වසංගතය මිලියන 50 ජනයා ද වත්මන් ආර්ථීක තක්සේරුවට අනුව ඩොලර ත්‍රීලියන 3 ක් වනසා දැමීය. 2003 වසරේ සාර්ස් SARS වසංගතය ඩොලර බිලියන 40 ක්, 2009 ඉන්ෆ්ලුවෙනසා H1N1 influenza වසංගතය ඩොලර බිලියන 45 - 55 ක්, 2014 - 2016 බටහිර අප්‍රිකාවේ එබෝලා Ebola වසංගතය ඩොලර බිලියන 53 ක් ගෝලීය ආර්ථීකයට අහිමි කළේය.

ලෝකය පුරා සිදුවන මරණ සංඛ්‍යාවෙන් 1/4 ක් අභ්‍යන්තර රුදිර දුෂණය හෝ විසවීම sepsis නිසා ඇති වේ යැයි 2020 ජනවාරි ලන්සෙට් Lancet Comprehensive Report අවබෝධාත්මක අධ්‍යයන වාර්තාව පවසයි. 2017 වසරේ මිලියන 48.9 රෝගීන් වාර්තා වූ අතර මිලියන 11 ක් මියගියහ. බොහෝ මරණ පියයුරු, පෙනහළු සහ පුරස්ථී ග්‍රන්ථී ආශ්‍රීත පිළිකා මගින් සිදුව ඇත. වෛරස, බැක්ටීරියා, දිලර, පරපෝෂියන් විවිධ මරාණ්තික වසංගත ව්‍යාප්ත කිරීමට දායක වේ. ස්වශන පද්ධතිය දුර්වලවීමෙන් නිව්මොනියා තත්ත්ව ඇති වේ. කලින් කල ඇතිවන ඉන්ෆ්ලුවන්සා වෛරස සහ වෙනත් වෛරස ආසාදනයන් කොරෝනාවෛරසය, එබෝලා, කහ උණ, ඩෙංගු, ස්වීන් උණ, කුරුළු උණ බොහෝ විට රුදිර දුෂණයට හේතු වේ. සැමවිට ම වසංගත මගින් ප්‍රතිශක්තිකරණ පද්ධතියේ ස්වභාවික ක්‍රියාකාරිත්වය දුර්වල කරයි.

එහෙයින් සිරුරට ප්‍රවේශවන විසබීජ (වෛරස - බැක්ටීරියා) මර්දනය කිරීමේ සහජ හැකියාව අහිමි වේ. කෘෂිකාර්මික විස රසායන, කෘත්‍රිම රසකාරක, සමාගම් සැකසූ ආහාර, ෆොසීල ඉන්ධන වායු දුෂණය, අපිරිසිදු පානීය ජලය ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. කෑදර මානව ක්‍රියාකාරිත්වය සහ අධික ලාභය ලුහුබැඳීම පරිසර දුෂණයට හේතු වේ.අනාගතයේ එම චක්‍රය එලෙස ක්‍රියාත්මක වේ ද? වත්මන් සම්භාවිතාව අනුව එය එලෙස සිදුවිය හැක. නිරතුරු ව පාථීවිය මත මානව සමාජය කම්පනයට පත්කරමින් වසංගත පැතිරයාම විද්‍යාඥයන් පමණක් නොව සාමාන්‍ය ජනයා මවිතයට පත් කරන සාධකයකි. එය ස්වභාවික ව්‍යසනයක් ද? නැතිනම් මානවයා නිර්මාණය කරන ආපදාවක් ද? මේ නිහඩ කාලය ඒ සඳහා ඔබට විවේකය ලබා දී ඇත. වෙනසට කාලය පැමිණ ඇත.

වෛරසයේ පැවැත්ම

ස්වසන පද්ධතිය සමග බැඳුන අනෙක් වෛරස Sars සහ Mers මෙන්නොව කොරෝනා වෛරසය නාසයෙන් සහ මුඛයෙන් ඉතා තුනී (සිහින්) බිඳිති droplets ලෙස කිවිසුම් සහ කැස්ස මගින් වායු ගෝලයේ විසිර යයි. ඉතා කුඩා කැස්සකින් එවන් සිහින් බිඳිති දහස් ගණනක් (3,000 ක් පමණ) නිකුත් වේ. ඇඳුම් මත තැවරුණ හෝ වායු ගෝලයේ සංචලනය ව වෛරස ආශ්වාසය හෝ ස්පර්ෂය මගින් වෙනත් අයගේ ස්වසන පද්ධතියට ඇතුලු වේ.

පොදු සෞඛ්‍ය සේවාව නිරතුරුව COVID-19 coronavirus වෛරසයෙන් ආරක්ෂාවීම සඳහා දෑත් සබන් යොදා සොදාගන්නා ලෙස මහජනයා ව දැනුවත්කරයි. කෙසේවුව ද මානව ශරීරයෙන් පිටත වෛරසයට පැවත්මක් ඇතැයි පර්යේෂණ වාර්තා සටහන් කරයි. කොරෝනා පවුලට අයත් අනෙක් වෛරස Sars සහ Mers ප්ලාස්ටික් සහ ලෝහ මත දින නමයක් පමණ රැඳී සිටින වග සහ ඉතා අඩු උෂ්ණත්වයක් යටතේ දින 28 ක් පමණ නොනැසී පවතින්නේ යැයි පර්යේෂකයෝ පෙන්වා දෙති. එහෙත් තඹ තහඩු මත වෛරසයට පැය හතරකට වැඩි කාලයක් පැවතිය නොහැක. එහෙත් රෙදි (ඇඳුම්) මත කොපමණ කාලයක් පවතීදැයි තවමත් අවිනිෂ්චිතය.

නිතිපතා ඇස් කණ්ඩාඩිය අපිරිසු දෑතින් ගැලවීම සහ නැවත නැවත පැළඳීම, වෛරසය දින කීපයක් රැඳී සිටින වග ද එහෙයින් නිතර මුහුණ ස්පර්ෂ නොකරන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අවධාරණය කරයි. නිතර මුහුණ ස්පර්ෂ කිරීම, දෑස් දෑතින් පොඩිකිරීම, නියපොතු විකාදැමීම වැනි දෑ සංකාව සහ මානසික ආතතිය නිසා සිදුවන හැසිරීම් රටාවන්ය.මානව මනස අවිනිෂ්චිත තත්වයන් දරා නොසිටියි.ඕනෑම අභියෝගයක් ජය ගැනීම සඳහා මනස සූදානමින් සිටියි.කොරෝනාවෛරස වසංගතය හමුවේමානසික කම්පනයක් ඇති වේ නම් එය ස්වභාවිකය. ක්ෂණයෙන් ඇති වූ අභියෝගය (අවිනිෂ්චිත තත්වය) ජයගැනීමට මනස අරගලයක නිරතවිය යුතුය. එය විකෘතියක් යැයි සමාජයට දෝෂාරෝපණය කරන්නෝ ද එම මානසික ආතතියේ ම පසු වේ. එය සමස්තයේ අනෙක් කෙළවර තමන් මුහුණ දෙන අභියෝගයේ අවිනිෂ්චිතභාවයයි.

මානසික කම්පනය

මානවයාගේ පැවැත්ම රඳාපවතින්නේ බිය සහ සාංකාව මත යැයි ග්‍රීක දාර්ශනික සොක්‍රටීස්මතයක් ඉදිරිපත් කළේය.පසු කලෙක දාර්ශනික කියකිගාර්මෙන් ම ෂොන් පොල් සාත්‍ර අනුමත කළහ. එය සාංදෘෂ්ටිකවාදයේ මූලික පදනමයි. මානවයාගේ පැවැත්ම ප්‍රතිශක්තිය සහ වේගය මත යැපෙන වග නූතන විද්‍යාව පවසයි.නො පැවැත්මේ සිට පැවැත්ම දක්වා කරන අනවරත අරගලය දී ජීවයේ ප්‍රතිශක්තිය අන් සියල්ල අභිභවා ඉදිරියෙන් ගමන් කරයි. චාර්ල්ස් ඩාර්වින්ගේ පරිණාම රීතියට අනුව එය ස්වභාවික වරණය Natural selection යැයි හැඳින් වේ. අභියෝග ජයගැනීම සහ ක්ෂණික ව ප්‍රතිචාර දැක්වීම පැවැත්ම (ප්‍රතිශක්තිය)සඳහා අතවශ්‍ය සාධකයකි. මානව මනසේ හැඟුම්බර කේන්ද්‍රය amygdala ක්ෂණික ව ඇති වූ තත්වයෙන් ආරක්ෂාවන්නේ කෙසේදැයි ප්‍රතිචාර නොදැක්වීම නිසා සංත්‍රාසය හටගන්නා වග හාර්වර්ඩ් විශ්වවිද්‍යාල යේ වසංගතවිද්‍යා අංශයේ මහාචාර්ය කරෙස්ටන් කොයිනන් පවසයි.

සිය පැවැත්මට තර්ජනයක් යැයි මනස කම්පනයට පත් වූ විට මානවයා තුළ පාලනය කළ නොහැකි ආන්තික ප්‍රතිචාර දක්නට ලැබේ. මානව මොළයේ ඉදිරි බාහිකයේ frontier cortex තාර්කික කොටසේ හැඟිම්උක්ත අවිනිෂ්චිත තත්වයට මුහුණදීම සඳහා පෙළගැසීමට එකනෙක සමග ගැටීම (පැටලීයාම) මානසික කම්පනයට හේතු වේ. එය ඉහළ මානසික ආතතියක් දක්වා වර්ධනය වී ඇතැම්විට සමූහ උන්මාදයක් දක්වා පෙළගැසෙයි. සාමාජ විද්‍යාඥ එන්රිකෝ ක්වාරන්ටෙලි ව්‍යසන අවස්ථාවල මානව හැසිරීම්රටා පිළිබඳ The Nature and Conditions of Panic ග්‍රන්ථයේ මෙලෙස සටහන් කරයි.අවදානම් අවස්ථාවල මානවයාගේ හැසිරීම් රටා රඳාපවතින්නේ අවත්කසේරු සහ ආවේගමතයි. එහිදි සියලු සම්මත සමාජ සංස්කෘතික අගයන් සොදාපාළුවට ලක් ව කටකථා, ව්‍යාජ ප්‍රවෘත්ති සහ සැකය දුරස්ථ පාලකයක් ලෙස ඔහු ව හෝ ඇය ව මෙහෙයවයි.

කොරොනා වෛරස ව්‍යාප්තිය සමග සෞඛ්‍ය අංශ සහ ආණ්ඩු පොදු ස්ථාන වසාදැමීම, ආරක්ෂක තහංචි පැනවීම, සමාජ දුරස්ථභාවය රඳවාගැනීම ඉල්ලාසිටිවිට පුද්ගලයන් තුල බිය මෙන්ම සැක -සංකාව හටගත්තේය. ඉතා ක්ෂණික ව හටගන්නා ඇතැම් සිදුවීම්වලට (ප්‍රතිචර දැකවීමට අපොහොසත්වීම) බිය සහ සංකාවේ ස්වභාවයයි. හදිසි අභියෝගය මෙහෙයවාගැනීමට ආදර්ශකයක් නොමැතිවීම අනෙක් අර්බුදයයි. මක්නිසාදයත් මානව හැසිරීම් රටා බොහෝ විට ආදර්ශක සහ අත්දැකීම් මත යැපෙයි. සම්භාවිතාවට අනුව එවන් ආදර්ශකයක් අතීතයේ නොමැතිවීමෙන් මානව මනස විකෘති ව කම්පනයට පත් වේ.ඉකුත් සති දෙක තුළ මානව සමාජයේ දක්නට ලැබුණේ එවන් ක්ෂණික හැසිරීම් රටාවන්ය. දේශපාලනික, ආගමික සහ වාර්ගික ගැටුම්වලට මැදි වූ කම්පිත සමාජයක් එක්වර ම වෙනත් සිදුවීමකට ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් ව කැළඹීම් (සමාජ කුණාටු Social Stroam) හටගනී.

ජර්මනියේඵ්ං ඡක්බජන Max Planck Institute ආයතනයේ නියුරෝන විද්‍යාව පිළිබඳ 2014 පර්යේෂණ වාර්තාවක සමීප අය හෝ ආගන්තුකයන් වන අනෙකා පිළිබඳ සවිඥනක අවබෝධය නිසා ඇති වන සහකම්පන ආතති Empathetic stress ගැන සටහන් වේ. අනෙකා පිළිබඳ යථා අවබෝධය ගෝලිය වශයෙන් කම්පාවට පත්වීම සහකම්පන (පරාර්ථය - පරාවර්තනය)යැයි සටහන් වේ. සැබවින් ම මේ මොහොතේ අනෙකාගේ ජීවිතය මත පරාවර්තනය Reflection වෙමින් සෑම මානවයෙක් තුළ ම ඇතිවිය යුතු මනොගතය නම් සහජ සහකම්පනයයි. ඒ සඳහා කම්පිත සමාජයක සූදානම කුමක් ද? එය සමාජ සංවාදයට යොමුවිය යුතු ශික්ෂණ විද්‍යාවකි. නීතිය මගින් පරාවර්තනය සිදු නො වේ. එය කෘත්‍රිම පිළියමක් පමණි.

කැදලිගත මානවයා සහ සොබාදහම

ගෝලීය මානවයා රෝග නිරෝධානය සඳහා නිවාස අඩස්සියේ පසුවන විට ඉතා සතුටුදායක ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය Twitter, Instragram, TikTok මගින් විකාශනය විය. පෙබරවාරි මාසයේ ජනාකීර්ණ වූ යුරෝපයේ සහ ඇතැම් රාජ්‍යයන් හි නගර මාර්තු මාසයේ දෙවන සතියේ ජනශුන්‍ය වන විට එම හිඩැස පිරවීමට සොබාදහම උනන්දු විය. නාසා ආයතනයේ පෘථීවි නිරීක්ෂණ චන්ද්‍රිකා දත්තවලට අනුව ඉකුත් කාලය තුළ ඉතාලියේ ඉතා අඩු වායු දුෂණයක් සහ චීනයේ නයිට්‍රජන් ඔක්ෂයිඩ් විමෝචනය පහත වැටී ඇත.

 සමස්ත ලෝකයේ ම පරිසරික තත්ත්වය වෙනස් විය. කොරෝනාවෛරසය ව්‍යාප්තවීමත් සමග ජනයා නිවාසගත වීම, වීදි ජන ශුන්‍යවීම, ෆොසීල ඉන්ධන දහනය සීමාවීම, කර්මාන්තශාලා වැසීයාම, නාගරික ප්‍රදේශ කසල වලින් තොරවීම සහ නිහඩතාව නව වෙනසයි. මින් පෙර සංචාරකයන් සහිත ගොන්ඩෝලා (ජල යාත්‍රා) පිරීගිය වැනීස් පුරවරයේ බුරානෝ ඇළ මාර්ග වෙත හංසයන් නැවත පැමිණීම, මධ්‍යධරණියේ සාර්ඩිනියා වරාය වෙත ඩොල්ෆින් මත්ෂ්‍යන්ගේ ආගමනය, චීනයේ යුනාන් ප්‍රන්තයේ ගම්බද ප්‍රදේශ වෙත පැමිණි වන අලින් නිදැල්ලේ සැරිසැරීම, සිංගප්පූර් හි පොදු ස්ථානවල දියබල්ලන් Otters දක්නට ලැබීම, චිකාගෝ මත්ෂ්‍ය උද්‍යාණය වසා දැමීම නිසා පෙන්ගුවින් නිදැල්ලේ ඇවිදයාම ජනප්‍රිය පුවත් ලෙස ජන ආකර්ෂණය දිනගැනීමට සමත්විය. මානවයා සමස්ත පෘථීවිය පරවේනී උරුමයක් ලෙස අත්පත්කර ගැනීම, අනෙක් ජීව විශේෂ විනාශ කිරීම ගැන දැන් කල්පනා කළ යුතුය. මානවයාට පමණක් මෙම පෘථීවිය අයත් නැත. අනෙක් සත්ව විශේෂ සමග ජීවිතය ඛෙදාගැනීමට ඔහු සුදානම්විය යුතුය. මෙම පාඩම ඉගෙනගැනීමට ඔහු සමත් වේ ද? නැතිනම් අනාගතයේ පැමිණෙන වංසගත වළක්වාගැනීමට වෙනත් මඟක් සොයා ගත යුතුය.

 

 

නව අදහස දක්වන්න