කොරෝනාට අභියෝග කරන ස්වයං විනය | දිනමිණ


 

කොරෝනාට අභියෝග කරන ස්වයං විනය

කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න

කොළඹ, ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්ක තුනම කොරෝනා වෛරසය ව්‍යාප්තිය සම්බන්ධව ඉතා අවදානම් කළාප ලෙස සෞඛ්‍ය අංශ නිර්දේශ කිරීම හේතුවෙන් රජය එම දිස්ත්‍රික්ක තුනෙහි ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු පනවා තිබේ. පසුගිය අඟහරුවාදා දින ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා පැය කිහිපයකට ලිහිල් කරන ලද ඇඳිරි නීතිය කාලය තුළ මිනිසුන්ගේ හැසිරීම ඒතරම් සතුටුදායක තත්ත්වයක නොතිබිණි. වෙළෙඳ සල් තුළදී භාණ්ඩ මිලදී ගැනීමේ දී එකිනෙකා අතර මීටරයක පරතරයක් තබා ගන්නැයි මාධ්‍ය මඟින් කෙතරම් දැනුවත් කිරීම් කළ ද ඇතැම් වෙළෙඳ සල්වල එම තත්ත්වයක් දක්නට නොලැබිණි.

මුඛ ආවරණ නොපැලඳ එකිනෙකා තෙරපීගෙන බඩු මිලදී ගැනීමේ ස්වභාවයක් දක්නට ලැබිණි. කොවිඩ් 19 වෛරසය බෝවීමේ අවදානම ඇත්තේ එම වෛරසය ශරීරගත වූ මිනිසුන්ගේ කෙළ බිඳිතිවලිනි. එය පුන පුනා මාධ්‍ය මඟින් දැනුවත් කිරීම් කළ ද මිනිසුන්ට එහි ගාණක් තිබුණේ නැත. ඉතාලියේ මිනිසුන් මෙතරම් සංඛ්‍යාවක් මිය ගියේ ඔවුන් තුළ තිබූ අනාරක්ෂිත බව නිසාය.

මිනිසුන්ගේ මෙම ක්‍රියාකලාපය නිසා අතිගරු ජනාධිපති තුමා ඇතුළු රජය මෙම අවදානම් සහිත දිස්ත්‍රික්කයේ ඇඳිරි නීතිය නැවත දැනුම් දෙන තුරු පනවා ඔවුනට අවශ්‍ය ආහාර පාන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ නිවෙස්වලටම බෙදාදීමේ වැඩපිළිවෙළක් ඇරඹීමට තීරණය කොට ඇත. එය මේ අවස්ථාවේ දී රජයක් විසින් ගත යුතු නිවැරදිම තීරණයකි. මෙම වැඩපිළිවෙළ සඳහා ප්‍රාදේශීය ලේකම්වරු, නියෝජ්‍ය පොලිස්පතිවරු, ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරු, ග්‍රාම නිලධාරිවරු මෙන්ම මෙම කොරෝනා වෛරසය පිටුදැකීමේ වැඩපිළවෙ‌ළේ පෙරගමන්කරුවන් ලෙස ක්‍රියා කරන යුද හමුදාව සහ පොලිසිය ද සිය දායකත්වය ඉතා කැපවීමෙන් යුතුව ලබා දී තිබේ. මෙම වැඩසටහන පිළබඳව අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතා,

"කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ප්‍රාදේශීය ලේකම්වරු. නියෝජ්‍ය පොලිස්පතිවරු දෙපළ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් සමඟ එකතු වෙලා සියලුම ග්‍රාම නිලධාරීන්, සියලුම සමෘද්ධි නිලධාරීන් සහ අනෙකුත් ක්ෂේත්‍ර නිලධාරීන් සියලු දෙනා සම්බන්ධ කරගෙන අද සිට (මාර්තු 25) ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක කරනවා. ඒකෙන් කරන්නේ පුළුවන් තරම් මිනිසුන් ළඟටම ඒ් අයගෙ ගෙවල් ආසන්නයටම අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගෙන යාමයි. එම වැඩපිළිවෙළට අවශ්‍ය මෝටර් සයිකල්, ත්‍රිරෝද රථ, ඩිමෝ බට්ටා සහ ලොරි අවශ්‍ය තරම් ලියාපදිංචි කරගෙන තියෙනවා. ඒ් සඳහා කැමති වෙ‌‌ළෙන්දන්ටත් පුළුවනි තොග කඩයකින් හෝ සුපිරි වෙළෙඳ සලකින්, සතොසකින් හෝ සමුපකාරයකින් බඩු අරගෙන ඒවා පැක් වශයෙන් හෝ ගෙනියන්න. ඒ සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවසර පත්‍රයක් දෙනවා.

ඒ අයට යම් යම් මාර්ග අපි ලබා දෙනවා. අපි දෙන මාර්ගවල පමණයි ඒ් අයට යන්න පුළුවන් වන්නේ. ඒ් මාර්ගවල ගොස් බඩු අලෙවි කරන්න පුළුවන්. ඒවාට නීති තිබෙනවා. එම වාහනවල කිහිපදෙනකුට යන්න බැහැ. ත්‍රිරෝද රථයේ යනව නම් එක්කෙනකුට පමණයි යන්න පුළුවන්. වෑන් රථයක් ගත්තොත් එහි රියැදුරා සහ තව එක් පුද්ගලයකුට පමණයි යෑමට පුළුවන් වන්නේ. එවැනි වැඩසටහනක් තමයි අපි දැන් කරගෙන යන්නේ. මෙම වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය පුරාම කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

ඊට අමතරව දඹුල්ලෙන් සහ නුවරඑළියෙන් එළවළු ගෙනැවිත් මහල් නිවාස ඇති ස්ථානවල අලෙවි කරන්න බලාපොරොත්තු වෙනවා. එම ස්ථානවලත් පෝලිමක් නැතිව තමයි මිනිසුන් බඩු මිලදී ගත යුත්තේ. එක පුද්ගලයකු බැගින් ඇවිත් බඩු මිලදී ගත යුතුයි. මෙම රථ ටික වෙලාවක් නවත්වා තැබෙනවා. ඒ නිසා මිනිසුන් කලබල විය යුතු නැහැ. මේ සඳහා පොලිසියත්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලත්, ග්‍රාම නිලධාරීනුත් මේ සියලු දෙනාම සම්බන්ධ කරගෙන තමයි යන්නේ. ඒවගේම සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සිටින බිත්තර සහ කුකුල් මස් වෙළෙඳුන් කොළඹ දිස්ත්‍රික්කයේ අනෙකුත් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සම්බන්ධ කරගෙන එම බිත්තර සහ කුකුල් මසුත් ගම්වල මිනිසුන් වෙත ගෙන යන වැඩසටහනකුත් අපි කරගෙන යනවා.

අපි මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කරන්නේ මිනිසුන්ට එළියට එන්නෙ නැතිව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ටික එම ප්‍රදේශයේ ඔවුන් ළඟටම ගෙනියන්නයි.

ඔිනෑම කෙනකුට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් බෙදාහරින්න පුළුවන්කමක් තිබේ නම් අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වී පොලිසියත් දැනුවත් කොට අපි දෙන මාර්ගවල බෙදාහරින්න පුළුවනි. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ලියාපදිංචි වූ විට අපි අවසර පත්‍රයක් නිකුත් කරනවා. මෙම වැඩපිළවෙළ මාර්තු 25 දින සිටම ක්‍රියාත්මක කෙරෙනවා. මාර්තු 25 දින ද ස්ථාන කිහිපයකම ඉතාම සාර්ථකව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණා. එය දිනෙන් දින පුළුල් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ඇඳිරි නීතිය නිම වන තෙක්ම මෙය නිසියාකාරව ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. ජනතාවට ඔිනෑම අවශ්‍යතාවක් සඳහා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කතා කළ හැකියි.

පළාත් පාලන ආයතන සහ ආරක්ෂක හමුදා මගින් මේ වෙනකොට දුම්රිය ස්ථාන, රෝහල්, බස් නැවතුම් පළ, ප්‍රසිද්ධ මාර්ග නිරෝධායන කටයුතු කෙරෙනවා. විෂබීජහරණය කටයුතුත් මේ වෙනකොට බොහෝ දුරට ආරක්ෂක හමුදා මගින් සිදුකොට තිබෙනවා. රජයේ ආයතන, පෞද්ගලික ආයතන, බැංකු ආදී ස්ථානවලත් මෙම විෂබීජහරණය කරන කටයුතු කෙරෙනවා.

කොරෝනා රෝගයේ භයානකකම සහ ඉන් ආරක්ෂා වීම සම්බන්ධව ගම් මට්ටමින් ජනතාව දැනුවත් කිරීමේ කටයුතුත් මේ සමඟම අපි කරගෙන යනවා."

මෙවැනි වැඩසටහන් රාශියක් රජය විසින් කරගෙන යනු ලබන්නේ මේ රටේ ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙනි. මේ රට රටක් ලෙස හෙට දිනයේ දී නැඟී සිටිය යුතුය. මිනිසුන් යළි තමන්ගේ රාජකාරි ඇරඹිය යුතුය. ඇනහිට ඇති සංවර්ධන කටයුතු යළි ඉක්මනින් ආරම්භ කළ යුතුය. මේ සියල්ල ඇත්තේ ජනතාවගේ අතේය. ඔවුන්ගේ ක්‍රියාකාරකම් තුළය. සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙන්ම වෛද්‍යවරුන්ගේ අවවාද ඒ ආකාරයටම ක්‍රියාත්මක කළහොත් මෙම ජාතික ව්‍යසනයෙන් ඉක්මනින් ගොඩ ඒමට අපට හැකිවනු ඇත.

චතුමී

නව අදහස දක්වන්න