අපි හරි බව ලෝකයා තේරුම් ගනී! | දිනමිණ


 

අපි හරි බව ලෝකයා තේරුම් ගනී!

අන්තර්ජාතික විශ්ලේෂණ කිහිපයකට අනුව, කොරෝනා මර්දනයේ දී බටහිර රටවලට වඩා පෙරදිග රටවල් ඉදිරියෙන් සිටී. විශේෂයෙන් ආසියානු රටවල් හතරක ප්‍රතිඵල සාර්ථක බව එම, විශ්ලේෂණවල සඳහන් වෙයි. මීට අදාළ එක් විශ්ලේෂණයක් 'රුසියා ටුඩේ' නම් වෙබ් අඩවියේ පළ වී ඇත. එම රටවල් හතර වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, චිනය හා ජපානය යි. සාර්ථකත්වයට බලපෑ ප්‍රධාන සාධක තුනක් ද විශ්ලේෂණවල සටහන් වී තිබේ. පළමු සාධකය වන්නේ එම රටවල නායකත්වය යි. දෙවන සාධකය වන්නේ අදාළ රටවල් ජනතාව වෙනුවෙන් පනවා ඇති නීති රීති හා සීමාවන් ය. තෙවන සාධකය වන්නේ අදාළ රටවල් ජනතාව තුළ පවත්නා පොදු හැඟීම ය. බටහිර ධනවත් රටවල පුද්ගලවාදය සීමාව ඉක්මවා පවතින අතර ආසියානු රටවල සංස්කෘතියේ පොදු ලක්ෂණය වන්නේ සාමූහිකත්වය යි.

ශ්‍රී ලංකාවට පැමිණි විදේශ මාධ්‍යවේදියකු අපේ රටේ ද ආසි‍යාවේ ද කොරෝනා මර්දන වැඩසටහන් ගැන අදහස් දක්වා තිබේ. ඔහුගේ මතයට අනුව ආසියාවේ රටවල් අතරින් ද කොරෝනා මර්දනය සාර්ථකව වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ ශ්‍රී ලංකා‍ව ය. අපේ පෙර සූදානම, කළමනාකරණය හා මෙහෙයුම් ගැන විදේශ මාධ්‍යවේදියා කරුණු දක්වන්නේ තෘප්තිමත් විලාසයකින් ය. ජනාධිපතිවරයා කොරෝනා මර්දනයට අදාළ කාර්ය සාධන කමිටුවක් පත් කරන්නේ පළමු ආසාධිතයා මෙරටින් වාර්තාවීමටත් පෙර ය. පෙර සූදානමේ වැදගත්කම එයින් පැහැදිලි වෙයි. වැඩසටහනේ කළමනාකරණය විධිමත් ය. වයිරසය කාන්දුවීම වැළැක්වීම, ආසාධිතයන් හඳුනාගැනීම හා නිරෝධායනය යන පියවර තුන ඔස්සේ එය ක්‍රියාත්මක වෙයි.

කිප්ලිං නම් සමාජ විචාරකයාට අනුව පෙරදිග පෙරදිගම ය. බටහිර බටහිරම ය. මේ දෙකට පෑහීමක් නැත. කිප්ලිං මේ අදහස පළ කළේ පෙරදිගට අපහාස කිරීම සඳහා ය. ඔවුන්ගේ මතයට අනුව ආසියාව හැමදාමත් දුප්පත් ය. අප්‍රිකාව හැමදාම නූගත් ය. ආසියාව දුප්පතුන්ගේ ලෝකය ලෙසත්, අප්‍රිකාව අඳුරු මහද්වීපය ලෙසත් ඔවුහු හැඳින්වූහ. එහෙයින් අද වන විට තත්ත්වය කණපිට පෙරැළී ඇත. චීනය හා ජපානය ලෝක ආර්ථික බලවතුන් සේ නැගී සිටිති. ඉන්දියාව දෙවන පෙළ ආර්ථිකයට හිමිකම් කියයි. ආසියානු කලාපයෙන් ලෝක බුද්ධිමතුන් පහළවීමට පටන් ගෙන තිබේ. කොරෝනා ‍වසංගතය පරාජය කිරීමේ දී ද බටහිර රටල් පරදවා ඉදිරියට එන්නට ආසියාව සමත් වී ඇත.

ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ, චීනයේ හා ජපානයේ නායකයන් ගැන ලෝක අවධානය යොමුව තිබේ. මේ නායකයන් කෙරෙහි එම රටවල ජනතාව තබා ඇති විශ්වාසය ඉතා වැදගත් ය. ‍අමෙරිකාවේ මෙන්ම මහා බ්‍රිතාන්‍යයේ නායකයන් එම රටවල ජනතාවගේ විවේචනයට ලක් වෙයි. මේ අනුව රජය පනවන නීති රීති හා සීමාවන් උල්ලංඝනය කිරීමට ජනතාව පෙලැඹී සිටිති. අමෙරිකාවේ නිවුයෝක් නුවර හා තදාසන්න කලාපය කොරෝනා වසංගතය උග්‍ර ලෙස පැතිර යන ප්‍රදේශයක් ලෙස හඳුනගෙන ඇත. ලෝක බලවතා වූ අමෙරිකාවට තවම එය වළක්වා ගැනීමට හැකි වී නැත. බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ අපරික්ෂාකාරී පැවැත්ම කොපමණ ද යත්, ඔහුද කොරෝනා රෝගියකු බවට පත්ව සිටී. නායකයන් මීට වඩා වගකීමකින් තව පැවැත්ම හසුරුවා ගත යුතු ය.

ශ්‍රී ලංකාව කොරෝනා වසංගතයට මුහුණ දෙන්නේ එහි අනාගත ප්‍රතිවිපාක ද විභාගයට ගනිමින් ය. වසංගතයේ ඊළඟ ප්‍රති විපාකය වන්නේ රටේ ආර්ථිකය බිඳ වැටීම ය. ඒ සඳහා දැන්ම ප්‍රතිකර්ම නොයෙදුවහොත් ඉදිරි මාස කිහිපය තුළ තවත් අර්බුදයකට මුහුණදීමට සිදු වනු ඇත. අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිස්ටිනා ජියෝජීවා මැතිනිය පෙන්වා දෙන අන්දමට ලෝක ආර්ථිකය මේ වන විටත් පසුබෑමකට ලක් වී ඇත. දියුණු වෙමින් පවතින රටවල් අසූවක් පමණි මේඅර්බුදයට ගොදුරු වන බව ඇයගේ පිළිගැනීම ය. තතත්වය සටහන් කිරීම සදහා අමෙරිකන් ඩොලර් ට්‍රිලියන 2.5ක ආධාර මුදල් ලබාදීමට සිදුවනු ඇතැයි අන්තර්ජාතික මූල්‍ය අරමුදල පුරෝකථනය කර තිබේ. ලෝක ආර්ථිකයේ ඉදිරි ස්වභාවය පිළිබඳ අඳුරු චිත්‍රය එයින් නිරූපණය කෙරේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විටත් දේශීය කර්මාන්ත නගාසිටුවීම පිළිබඳ සැලසුමක් හඳුන්වා දී ඇත. මහින්ද රාජපක්ෂ මහතාගේ උපදේශනය වන්නේ හැකි සෑම බිම් කඩකම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමට වහා වහා සූදානම් විය යුතු බව ය. ශ්‍රී ලංකාව ඈත අතීතයේ සිටම ස්වයං පෝෂිත ආර්ථිකයකට හිමිකම් කීවේ ය. එය යම් පමණකින් බිඳ වැටුණේ 1977 විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ ය. ‍එහෙත් පසුකාලය වන විට පෙනී ගියේ දේශීය කෘෂිකර්මය හා දේශීය කර්මාන්ත නොසලකා හැරීම නිසා රට ආර්ථික වශයෙන් පසුබෑමකට ලක් වූ බව ය. මේ මොහොතේ දේශීය කෘෂිකර්මය හා දේශීය කර්මානත කෙරෙහි වැඩි නැඹුරුතාවක් දැක්වීම අවශ්‍යයෙන්ම සිදු විය යුත්තකි. වසංගතයට මුහුණදීමේ පළමු පියවර රෝග මර්දනය වන අතර එහි දෙවන පියවර විය යුත්තේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම ය.

මේ මොහොතේ යළිත් සිහිපත් කළ යුත්තේ ජනතාවගේ වගකීම හා යුතුකම ගැන ය. ශ්‍රී ලංකාවේ පළමු කොරෝනා මරණය වාර්තා විය. එය අතිශය අවාසනාවන්ත සිද්ධියකි. නිරෝධායනයට අදාළ අන්තර්ජාතික නීති රීති වලට අනුව දේහය ආදාහනය කරන්නට සිදුවිය. ආගමික චාරිත්‍ර නැත. සිරිත් විරිත් නැත. දේහයට ගෞරවය දැක්වීම සඳහා අවස්ථාවක් ද නැත. එය මේ වසංගතයේ භයානයක ස්වරූපය යි. ඉතාලියේ කොරෝනා මරණ දිනකට සිය ගණනක් වාර්තා වන අතර, මෘත ශරීර ළඟම ඥාතීන්ට හෝ බලාගත නොහැකි ය. ඒවා සමූහ වශයෙන් මිහිදන් කරනු ලැබේ. මේ ඛේදවාචකය අපට කියා ‍දෙන පාඩම වන්නේ වසංගතය නිත්‍ය ලෙසම පරාජය කළ යුතු බව ය. ඊට ඇති එකම මාර්ගය උපදේශන අකුරටම පිළිපැදීම ය. වසංගතය පරාජය කළ හැකි වෙනත් මඟක් නැත.

 

නව අදහස දක්වන්න