ස්මිත්ගේ නායකත්ව තහනම නිමාවට | දිනමිණ


 

ස්මිත්ගේ නායකත්ව තහනම නිමාවට

නිරෝෂන් ප්‍රියංකර

ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත්ට පනවා තිබූ නායකත්වය දැරීමේ තහනම පසුගියදා නිමාවට පත්විය. දකුණු අප්‍රිකාවේදී 2018 වසරේ පැවැති ටෙස්ට් තරගයක් අතරතුර එල්ලවූ පන්දු පළුදු කිරීමේ චෝදනාවක් මත එම තරගයේදී නායකත්වය දැරු ස්ටීව් ස්මිත්ට වසරක තරග තහනමක් සහ දෙවසරක නායකත්වය දැරීමේ තහනමක් ද පැනවීය.

2018 වසරේ මාර්තු මස දකුණු අප්‍රිකාව සමගින් කේප්ටවුන් හිදී පැවැති තෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනයේදී කැමරන් බ්‍රැන්ක්‍රොෆ්ට් වැලි කඩදාසියක් ආධාරයෙන් පන්දුව පළුදු කළ බවට ⁣චෝදනා එල්ලවූ අතර තම අනුදැනුම යටතේ මේ ක්‍රියාව සිදුවූ බවට නායක ස්මිත්ට චෝදනා එල්ල වී තිබිණි. මේ දෙදෙනා සමගින් කුමත්‍රණයේ කොටස්කරුවකු ලෙස හිටපු උපනායක ඩේවිඩ් වෝනර්ද වැරදිකරුවකු බව⁣ට පත්විය. ඒ අනුව කැමරන්ට මාස 9ක සහ ස්මිත්-වෝනර් දෙදෙනාට මාස 12 බැගින් තරග තහනම් පැනවූ අතර වෝනර්ට ජීවිතාන්තය තෙක් නායකත්ව කාර්යයන් තහනම් කෙරිණි.

ඔවුන්ගේ තරග තහනම් පසුගිය වසරේ නිමාවට පත්වූ අතර ස්මිත්ගේ නායකත්ව තහනම පසුගිය ඉරිදා (29) නිමාවට පත්විය.

ස්මිත්ගෙන් පසු මේ වනවිට ටිම් පේන් ටෙස්ට් නායකයා ලෙසත්, ඒරන් ෆින්ච් එක්දින සහ විස්සයි 20 නායකයා ලෙසත් කටයුතු කරති. දැන් යළිත් ටෙස්ට් නායකත්වය ලබා ගන්නා ලෙස ස්මිත්ට ඉල්ලීම් ලැබී ඇතත් ඔහු ඒ පිළිබඳ කිසිවක් ප්‍රකාශ කර නැත.

කොරෝනා වයිරසය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ සියලුම ක්‍රිකට් සම්බන්ධ කටයුතු ද තාවකාලිකව අවලංගුකර තිබීම හේතුවෙන් තම ශාරීරික හා මානසිකව ශක්තිමත්ව සිටීමට උත්සාහ කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කර ඇති බව ස්මිත් පවසයි. ඔස්ට්‍රේලියානු පුහුණුකරු ජස්ටින් ලැන්ගර් ද මින් පෙර පවසා තිබුණේ පිතිකරණ පීඩනය හේතුවෙන් ස්මිත්ට නායකත්වයේ බර අවශ්‍ය නොවන බවයි.

 

 

නව අදහස දක්වන්න