දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විකුණගන්න බැරුව එළවළු ගොඩගැහිලා | දිනමිණ


 

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විකුණගන්න බැරුව එළවළු ගොඩගැහිලා

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පැය 24 පුරාම විවෘත කර තිබෙන අතර එළවළු අලෙවි නොවී විශාල වශයෙන් ගොඩගැසී ඇතැයි ගොවීහු මෙන්ම ව්‍යාපාරිකයෝ ද පවසති.

29 වැනි දින අලුයම සිට 30 වැනි දින අලුයම දක්වාම එක දිගටම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය විවෘත කර තැබුවද රටටම එළවළු ලබාදීම සඳහා පැමිණි ගොවීන් නිදි වර්ජිතව ආහාර ගැනීමකින් තොරව අසීරුතාවට පත්ව සිටින බව ඔවුහු පවසති.

රාත්‍රියේ බොහෝ එළවළු වර්ග පාලන මිලට අලෙවි වූ බවත් ඇතැම් එළවළු වර්ග පාලන මිලට වඩා ඉතා අඩු මුදලින් අලෙවි වූ බවත් ඇතැම් අවස්ථාවන්හිදී පාලන මිලටත් වඩා වැඩියෙන් එළවළු අලෙවි වූ බවත් ඔවුහු පවසති.

වෙනදා රාත්‍රියට වසා දමන ආර්ථික මධ්‍යස්ථානය මෙම තත්ත්වයත් සමඟ පැය 24 පුරාම විවෘතව තැබීම නිසා බරපතළ රෝග පැතිර යෑමේ අවදානමක්ද පවතින බව ගොවීහු පෙන්වා දෙති. එමෙන්ම දඹුල්ල ප්‍රධාන මාර්ග සියල්ලම එළවළු ලොරිවලින් පිරී ගොස් මෙම එළවළු විකිණීම සඳහා සහ මිලදී ගැනීම සඳහා පැමිණෙන ජනතාවට අඩුම තරමේ වතුර උගුරක් හෝ පානය කිරීමට හෝටලයක් විවෘත නොවීම නිසා තවමත් කුසගින්නේ පසුවන බව ගොවීහු පවසති.

ආර්ථික මධ්‍යස්ථානයට එළවළු රැගෙන ආ බොහෝ ගොවීන් කියා සිටින්නේ මේ පිළිබඳව රජය විශේෂ වැඩපිළිවෙළක් සකසා නොදුනහොත් ආර්ථික මධ්‍යස්ථානයට එන ගොවීන් සහ ව්‍යාපාරිකයන් ද දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්වන බවය.

සීගිරිය විශේෂ

නව අදහස දක්වන්න