වෙළෙඳකලාප සේවකවැටුප කඩිනමින් ලබාදෙන්න | දිනමිණ


 

වෙළෙඳකලාප සේවකවැටුප කඩිනමින් ලබාදෙන්න

ඇමති ප්‍රසන්න රණතුංග

නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන්ගේ මාර්තු මස වැටුප කඩිනමින් ලබා දෙන්නැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අදාළ අංශවලින් ඉල්ලීමක් කරයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ උපදෙස් අනුව ඇමතිවරයා නිදහස් නිදහස් වෙළෙඳ කලාපවල කර්මාන්ත ශාලා හිමිකරුවන්ගෙන් මෙම ඉල්ලීම කර තිබේ.

දිවයින පුරා නිදහස් වෙළෙඳ කලාප 14 ක කර්මාන්ත ශාලා 278 ක සේවක සේවිකාවෝ 1,37,478 ක් සේවය කරති. අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනු ලබන කර්මාන්ත ශාලා හැර නිදහස් වෙළෙඳ කලාපවල සෙසු කර්මාන්ත ශාලා මේ වන විට තාවකාලික ව වසා දමා තිබේ. ඇඳිරි නීතිය හේතුවෙන් සිය නවාතැන්පොළවල්වලට සීමා වී සිටි වසා දැමුණු කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවෝ රජයේ මැදිහත්වීමෙන් පසුගිය දිනවල දී ඔවුන්ගේ ගම් බිම්වලට පිටත් කර හැරිණි.

ආයෝජන මණ්ඩල වාර්තා අනුව පසුගිය දින කීපය තුළ කටුනායක 5144 ක්, බියගම 3264 ක්, මීරිගම, වතුපිටිවල හා මල්වත්ත කලාපයේ 450 ක් , හොරණ 962 හා සීතාවක 280 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත් කර හැර තිබේ. ඒ අය අතර නිදහස් වෙළෙඳ කාලපයේ සේවක සේවිකාවන් නොවන වෙනත් ස්ථානවල සේවය කළ පිරිස් ද වූහ..

මේ අතර ගම්පහ දිස්ත්‍රික්කයේ නිදහස් වෙළෙඳ කලාපයේ නොවන වෙනත් කර්මාන්ත ශාලා හා ආයතනවල සේවය කළ පිරිසක් සිය ගම් බිම්වලට යා ගත නොහැකි ව බෝඩිංවලට සීමා වී සිටින බව පෙරේදා (29) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවති සාකච්ඡාවේදී හෙළිවිය. ඇමති ප්‍රසන්න රණතුංග මහතා එහිදී කියා සිටියේ එම පිරිස් ද ආරක්ෂක අංශ සහයෝගයෙන් සෞඛ්‍ය අංශවල උපදෙස් ඇති ව ගම්බිම් බලා පිටත් කර හැරීමට කටයුතු කරන බවයි. ඒ අනුව පොලිස් ස්ථාන හරහා ඔවුන්ගේ නාම ලේඛනයක් සකසන ලෙස ඇමතිවරයා බස්නාහිර උතුර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දුන්නේය.

නුවන් කොඩිකාර සහ නිමල් රාජපක්ෂ

නව අදහස දක්වන්න