ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් | දිනමිණ

ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් නිරෝධායන මධ්‍යස්ථාන දෙකක්

රක්ෂණ ශ්‍රියන්ත

නව කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ක්‍රියාත්මක ජාතික වැඩපිළිවෙළට උරදෙමින් ශ්‍රී නාවික හමුදාව පසුගිය 28 වන දින මන්නාරම, මුලන්කාවිල් ප්‍රදේශයේ පිහිටි ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ සහ ඔලුවිල් වරාය පරිශ්‍රයේ නිරෝධායන මධ්‍යස්ථාන දෙකක් (02) ස්ථාපිත කර තිබේ.

වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම සඳහා නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතාගේ උපදෙස් මත ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක නාවික හමුදා කඳවුරේ ගොඩනැඟිලි හතරක් (04) නිරෝධායන කටයුතු සඳහා මෙසේ සූදානම් කරන ලදී. මෙම නිරෝධායන මධ්‍යස්ථානය තුළ පුද්ගලයන් 64 දෙනකු හට නිරෝධායන කටයුතු සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දී ඇත.

ඔලුවිල් වරාය පරිශ්‍රයේ වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි දෙකක් (02) ප්‍රතිසංස්කරණය කර පුද්ගලයන් 80 දෙනකු සඳහා නිරෝධායන පහසුකම් ලබා දිය හැකි වන පරිදි සකස් කිරීමට නාවික හමුදාව කටයුතු කර තිබේ.

නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන පුද්ගලයන් හට අවශ්‍ය සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, අත්තර්ජාල පහසුකම්, රූපවාහිනී, විදුලි පංකා, ආදී සියලු පහසුකම් ලබා දීමට නාවික හමුදාව කටයුතු සූදානම් කර ඇත. නාවික හමුදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ නාවික හමුදා සූපවේදීන් විසින් පිසින ලද පෝෂ්‍යදායි ආහාර නිරෝධායන මධ්‍යස්ථාන වෙත පැමිණෙන්නන් හට ලබා දීමටද අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇත.

 

 

 

 

නව අදහස දක්වන්න