මාළු රට පුරා බෙදා හැරීම පිළිබදව තීරණ රැසක් ගනී | දිනමිණ


 

මාළු රට පුරා බෙදා හැරීම පිළිබදව තීරණ රැසක් ගනී

මාළු බෙදා හැරීම සහ මාළු ප්‍රවාහනය සිදු කිරීම සම්බන්ධයෙන් ඇදිරිනීති බලපත්‍ර ලබා ගැනීමේදී ඇති වී තිබු සියළු ගැටළු නිරාකරණය කිරීම සදහා ධිවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසන්න ගිනිගේ මහතා මගින් දිවයින පුරා සිටින ධීවර සහකාර අධ්‍යක්ෂකවරුන්ට අවශ්‍ය කටයුතු සලසා දෙන ලෙස ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා උපදෙස් ලබා දී ඇත. 
 
එම අමාත්‍යංශයේ අද(31) පැවැති රැස්වීමක දී මෙම උපදෙස් ලබා දී තිබේ.
 
අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ ඇදිරිනීතිය පවතින කාලයතුල සියළුම ධීවර වරායන් වලින් මාළු කිලෝ 328700ක් රට පුරා බෙදා හැර ඇති බවත් මේ වන විට ධීවර සංස්ථාව හා   පෞද්ගලික අංශය විසින් ඇදිරිනීතිය බලපැවැත් වු කාලය තුල වරාය වලින් මාළු ලොරි24000ක ප්‍රමාණයක් රට පුරා බෙදා හැර ඇත. දැනට ධීවර සංස්ථාව සතුව මාළු මෙ.ටො. 75ක සතුව තිබෙන  බව සභාපතිවරයා දැන්වු අතර හැකිතාක් දුරටත් මාළු ගබඩා කර තබා ගන්නා ලෙසත් ඉදිරියේදී රට තුල මාළු හිගයක් ඇති නොවීමට කටයුතු කරන ලෙස අමාත්‍යවරයා ධීවර සංස්ථාවේ සභාපතිවරයාට උපදෙස් ලබා දී ඇත. 
 
තවද පෑලියගොඩ මත්ස්‍ය වෙළද සංකීර්ණයේ කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද අමාත්‍යවරයා අමාත්‍යාංශ ලේකම්වරිය වෙත දැනුම් දුන්නේය. 
 
දැනට මාළු ටින් කිරීමේ කර්මාන්තශාලා 05 තිබෙන අතර ඒවාට අවශය මාළු සපයා දෙන ලෙසද අමාත්‍යවරයා සංස්ථාවේ සභාපතිවරයා වෙත උපදෙස් ලබා දුන් අතර ධීවරයින්ගෙන්මාළු මිළදී ගැනිම සදහා ස්ථාවර මිලක් පසුගිය දා සංස්ථාව විසින් ලබා දුන් අතර ඒ අනුව කෙළවල්ලා කිලෝවක් රුපියල් 350කට ද ලින්නා රුපියල් 150ක මිලට ද බලයන් 220ක මිලට ධීවර සංස්ථාව විසින් මිලදී ගනු ලැබේ. 
 
ජනාධිපති කාර්ය සාධන බලකායෙන් ජනතාවට මාළු බෙදා හැරීමට ඉල්ලා සිටින්නේ නම් ඒ සදහා ද සැපයීම් කරන ලෙසද අමාත්‍යවරයා විසින් උපදෙස් ලබා දෙන ලදි. තවද විවිධ සේවා සමුපාකාර සමිති සහ ස.තො.ස මුල් කරගෙන මාළු බෙදාහැරීම සදහා අවශ්‍ය පියවර ගන්නා ලෙස තවදුරටත් උපදෙස් දුන් අමාත්‍යවරයා ධීවර සංස්ථාව හැකි පමණ සිය වාහන හා පෞද්ගලික අංශයේ වාහන ලබා ගෙන මාළු බෙදා හැරීම වඩාත් ක්‍රමවත්ව කරන ලෙස උපදෙස් ලබා දෙන ලදි. 
 
 

නව අදහස දක්වන්න