දුවන ලෝකයට නතරවන්නට බල කර මිහිතලය සොබා දහමේ රිද්මයට ඉඩදී තිබේ | දිනමිණ


 

දුවන ලෝකයට නතරවන්නට බල කර මිහිතලය සොබා දහමේ රිද්මයට ඉඩදී තිබේ

මේ වන විට රටවල් අතලොස්සක් හරුණු විට ලෝකයම කොරෝනා වසංගතයෙන් පීඩාවට පත්ව සිටී. වෛරසය ව්‍යාප්තියේ කේන්ද්‍රය වූ චීනයේ වූහාන් ප‍්‍රදේශයෙන් පළමු ආසාධිතයා වාර්තා වූ තැන් සිට තෙමසකට පසුව චීනය ”පශ්චාත් කොරොනා රාජ්‍යයක්” ලෙස අද හෙටම ප‍්‍රකාශයට පත් වනු ඇත. ඒ එරටින් සතියක් පමණ තිස්සේ නව ආසාධිතයින් වාර්තා නොවූ පසුබිමකය. මේ වනවිට වසංගතයේ ව්‍යාප්තියේ කේන්ද්‍රය චීනයෙන් යුරෝපය හා ඇමෙරිකාව දෙසට මාරු වී තිබේ. චීනයට පසුව දරුණුතම තත්වයක් දිස්වන්නේ ඉතාලියේය. එරටින් වාර්තා වූ මරණ සංඛ්‍යාව චීනයට වඩා දෙගුණයක් පමණ වෙමින් තිබියදී සහ දිනයක් තුළ වාර්තා වූ මරණ සංඛ්‍යාව 750ක් පමණ වන තත්වයක ඉතාලිය මුහුණ දී සිටින්නේ චීනයටත් වඩා දරුණු ඛේදවාචකයකටය. වෛරසයේ ව්‍යාප්තිය අනුව තෙවැනි තැන සිටින්නේ ලෝක බලවතා බව ඇමෙරිකාවය. කොරෝනා හෙවත් කොවිඞ් 19 වෛරසය යක්ෂයෙක් ලෙස හැඳින්වූ චීනය එය මර්දනය කිරීමට දියත් කළ ක‍්‍රියාමාර්ග දෙස විවේචනාත්මකව බැලූ අයට අද සිදුව ඇත්තේ චීනයෙන් පාඩම් ඉගෙන ගැනීමටය. තමන් ලැබූ අත්දැකීම් ඔස්සේ එක්සත් රාජධානිය වැනි රටවලට අනතුරු ඇඟවූ වූහාන් වෛද්‍යවරු, රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී නිසි ආරක්ෂක ක‍්‍රියාමාර්ග අනුගමනය කර ලෙසට උපදෙස් දුන්හ. වසංගතය දරුණු අතට හැරී ඇති ඉතාලියට චීන වෛද්‍ය කණ්ඩායම් පිටත් කර යැවීමට තරම් මානුෂිය විය. කියුබාවද මේ වන විට රටවල් කිහිපයකටම සිය වෛද්‍යවරු යොමු කර ඇත. චීනයේ වාර්තා වූ ආසාධිතයින් ගණන 80,000 ඉක්මවීය. ඉන් 75,000කට ආසන්න පිරිසක් සුවය ලබා තිබීම අවධානයට ලක්විය යුතුය. එරට මරණ සංඛ්‍යාව 3300කට ආසන්න විය.

වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීමේදී දකුණු කොරියාව හා සිංගප්පූරුව සාර්ථක ප‍්‍රථිපල පෙන්වීම ආසියාකරයටම සුබ පණිවිඩයක් ගෙන ඒමක් බව පෙනෙයි. කෙසේ වුවද මේ රටවල් තුනෙන්ම විදේශයන්හි සිට එම රටවලට පැමිණෙන අයගෙන් වෛරසය ආසාදනය වූවන් හඳුනා ගැනීමත් සමඟ ”කොරෝනා දෙවැනි රැුල්ලක්” නැගෙනු ඇතිදැයි බිය පලවිය. නමුත් දැනට පෙනෙන්නට ඇත්තේ එවැනි තත්වයක් ඇති වීමට ඉඩ නොදෙමින් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඔවුන් සමත්වී ඇති බවය. මේ වන විට වූහාන් ප‍්‍රදේශයේ පනවා තිබූ තහංචි ලිහිල් වෙමින් තිබේ. යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසුවන අයට ඉන් පිටතට ගමන් කිරීමේ අවසරය ලැබී ඇත.

වෛරසය ව්‍යාප්තිය වැලැක්වීමට එක්සත් රාජධානිය නව ක‍්‍රියාමාර්ග හඳුන්වා දී ඇත. දෙදෙනෙකුට වැඩි පිරිසක් එකතු වන පොදු හමුවීම් තහනම් කිරීම, අත්‍යව්‍ය භාණ්ඩ නොවන දෑ අලෙවි කරන වෙළදසල් වසා දැමීම ආදිය ඒ අතර වේ. ඇමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් ද පසුගිය දිනක කියා තිබුනේ දස දෙනෙකුට වැඩියෙන් එක්වන පොදු හමුවීම් වැලැක්විය යුතු බවය. මේ වන විට වෛරසයේ ව්‍යාප්තිය පෙන්වන ඕස්ට‍්‍රේලියාවේ ද අවමංගල්‍යයක් සඳහා සහභාගීවන පිරිස දෙනෙකු දක්වාත්, මංගල උත්සවයක් සඳහා එක්වන පිරිස පස් දෙනෙකුට සීමා කිරීමටත් එරට අගමැති ස්කොට් මොරිසස් පියවර ගෙන ඇත. එසේම කෞතුකාගාර හා පූජනීය ස්ථාන ආදී පොදු ස්ථාන වසා දමා තිබේ.

නමුත් සෞඛ්‍ය අංශ පෙන්වා දෙන පරිදි ඇමෙරිකාව තවදුරටත් මෙම සමාජීය අන්තර් ක‍්‍රියාකාරකම් සීමා කළ යුතු බවය. ඇමෙරිකාවේ ප‍්‍රාන්ත සියල්ලෙම මේ වන විට ආසාධිතයින් වාර්තා වී ඇත.ඉන් දරුණුතම බලපෑම ඇති නිව්යෝක් නගරයේ ආසාධිතයින් සංඛ්‍යාව 25,000 ඉක්මවා ගොස් ඇති අතර එය ලොව පුරා සමස්ථ ආසාධිත සංඛ්‍යාවන් 6%කි. නිව්යෝක් නගරාධිපතිවරයා පවන පරිදි එහි වෛරසය ව්‍යාප්ත වන්නේ බුලට් දුම්රිය බඳු වේගයකිනි. ප‍්‍රමාණවත් මැදිහත්වීමක් නොකිරීම ගැන මධ්‍යම රජයද ඔහුගේ විවේචනයට ලක්ව තිබේ. එරට සෞඛ්‍ය අංශද යම් අර්බුදයකට මුහුණ දෙන ලකුණු පලව ඇත.

වසංගතයට මුහුණ දී සිටින රටවල්වලින් බොහෝමයක මේ වන විට සිය දෛනික රටාව අකර්මණ්‍යය කර ඇති අතර වසා දමා (Lock down) ඇත. කෝටි 130ක ජනගහනයක් සහිත ලොව විශාලතම ප‍්‍රජාතන්ත‍්‍රවාදී රාජ්‍ය වන ඉන්දියාව ද මුළුමනින් වසා දමා ඇත. එසේම අසාධිතයින් සංඛ්‍යාව 8000 ඉක්මවා සහ මරණ සංඛ්‍යාව 400 ඉක්මවා තිබියදී එක්සත් රාජධානියේද ඇත්තේ එවැනි තත්වයකි. එසේ තිබියදී වෛරසය ආසාදනය වූ ලොව ප‍්‍රකට චරිත අතරට බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමාරයාද එක් විය. බකිම්හැම් මාලිගාවේ සේවිකාවකට වෛරසය ආසාදනය වී ඇතැයි සැළවීමත් සමගම දෙවෙනි එළිසබත් මහ රැුජිනද ස්වයං නිරෝධායනයට ලක්ව සිටී.

වෛරසය ව්‍යාප්තිය අතින් සිව්වැනි තැන සිටින ස්පාඤ්ඤය මෙන්ම ආසාධිතයින් සංඛ්‍යාව 22,000 ඉක්මවා ඇති ප‍්‍රංශයද 32,000 ඉක්මවා ඇති ජර්මනියද දැඩි ලෙස වසා දැමීමේ පියවර ගෙන ඇත. මැදපෙරදිග වසංගත ව්‍යාප්තියේ කේන්ද්‍රය බවට පත්ව ඇති ඉරානයේ ආසාධිතයින් ගණන 25,000ක් පමණ වේ. මරණ සංඛ්‍යාව 2000ක් පමණ වන බව ද වාර්තා වී ඇත. ඉතාලිය වැනි රටවල මරණ වැඩිවීමත් සමඟම කොරෝනා වෛරස ආසාදනයෙන් මියයන ප‍්‍රතිශතය 3.4% ක් දක්වා ඉහළ ගියේය. ඊට පෙර එය පැවතියේ 2.3% ක් ලෙසය. ඉදිරියේදී මෙම ප‍්‍රතිශතය අඩු වැඩි වීමට ඉඩ ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

අමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව ලොව සෑම රටතටම බලපාන පරිදි සංචරණය සම්බන්ධයෙන් අනතුරු ඇගවීම් කර තිබේ. අමෙරිකාව දැනටමත් යුරෝපයෙන් පැමිණෙන ගුවන් ගමන්වලට තහංචි පනවා ඇත. අත්‍යවශ්‍ය නොවන යාම් ඊම් සම්බන්ධයෙන් කැනඩා සහ මෙක්සිකෝ දේශ සීමා වසා දැමීමටද පියවර ගෙන තිබේ. යුරෝපා සංගමයච අත්‍යවශ්‍ය නොවන ගුවන් ගමන් අවහිර කර ඇත. කොරෝනා වසංගතය ගුවන් සේවා කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල කර තිබියදී සංචාරක කර්මාන්තයද දැඩි අර්බුද සමයක් පසුකරමින් සිටී. දැනටමත් ලෝක ආර්ථිකයට විශාල බලපෑමක් කරන බව පැහැදිලි වෙමින් තිබේ.

කොටස්වෙළඳ පොල රාශියක් වසා දමා ඇත. කොටස්වෙළඳ පොළ පිළිබඳ පුරෝකතන කල නොහැකි තත්වයක් පවතී. ඉදිරි වකවානුව තුළදී ගෝලීය ආර්ථිකය දැඩි අභියෝගයකට මුහුණ දෙනු ඇති බව පැහැදිලි කාරණයකි. අමෙරිකාවේ විරැුකියාව 20%ක් පමණ වනු ඇතැයි මත පලවේ.

කොරෝනා බොවීමේ වසංගත තත්වයක් ප‍්‍රකාශයට පත්ව තිබියදී රටවල් සියල්ලේම පාහේ පාසල් බසා දමා තිබේ. යුනෙස්කෝව පවසන පරිදි මෙය ලොව පුරා බිලියන 1.4ක පාසැලි දරුවන්ගේ අධ්‍යාපනයට බාධා ඇතිවීමකි. මෙම සතිය මුලවන විට රටවල් 156ක පාසැල් වසා දමා ඇති අතර අධ්‍යාපනය ලබන දරුවන්ගේන් 80%කට පමණ එය බලපා ඇත බව යුනෙස්කෝවේ ගණන් බැලීමය. පාසැල් පමණක් නොව විශ්ව විද්‍යාලද වසා දමා ඇත. සමස්ථ ආධ්‍යපන පද්ධතියම පසුබෑමකට ලක්වී තිබේ.

වසංගත තත්වය හේතුවෙන් කුඩා දරුවන්ට ඇතිවී තිබෙන සෞඛ්‍යමය බලපෑම ගැනද ලෝක සෞඛ්‍ය සංවිධානය අවධානය යොමු කර ඇත. ආසාධිතයන් අතරින් 10%ක් වයස අවුරුද්දට අඩු ළදරුවන්ය. 7%ක් අවුරුදු 5ට අඩු දරුවන්ය.

ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජාතීන්ගේ ජනගහන අංශයද වාර්තා කළ පරිදි මෙතෙක් කොරෝනා වසංගතය හේතුවෙන් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වුන දිනය ඉකුත් 23 වැනිදාය. එය 1873කි. සෞඛ්‍ය අංශ දක්වන පිරිසද ආසාදියින් අතරින් වැඩිම ජීවිත අවධානමක් ඇත්තේ වයස අවු 80ට වැඩි අයටය. ප‍්‍රතිශතයක් ලෙස එය 15%කි.

වසංගත තත්වය පිළිබඳ සාවද්‍ය තොරතුරු සමාජගත වෙමින් තිබීමද ලොව පුරා අවධානයට ලක්ව ඇති තත්වයකි. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය තොරතුරු සංසරණය වෙමින් පවතී. දැනට වාර්තා වී ඇති සංඛ්‍යා ලේඛන මගින් වුවද වසංගතය පිළිබඳ නිවැරදි දත්ත පිළිඹිබු විය නොහැකි බව විශ්ලේශකයන්ගේ අදහසය. අමෙරිකාව වැනි රටවල පවා පරීක්ෂණ පහසුකම් ධාරිතාව ප‍්‍රමාණවත් නොවීම, ඉරානය වැනි රටවලින් සමස්ථ දත්ත ලබා ගැනීමට ඇති අපහසුතාව ආදිය ඊට හේතු වශයෙන් ඉදිරිපත් වේ. කේසේ වුවද දැනට වාර්තා වී ඇති සංඛ්‍යා ලේඛණ මෙම වසංගතය පිළිබඳ නිවැරදි චිත‍්‍රයක් ඇඳ ගැනීමට හොඳටම ප‍්‍රමාණවත්ය. දිනෙන් දින වාර්තාවන තොරතුරුවලින් පෙනෙන්නේ කොරෝනා වෛරසය පිළිබඳ ලෝකය වැඩියෙන් අවබෝධ කර ගනිමින් ඇති බවය. වසංගතය පරාජය කිරීම සඳහා එය බෙහෙවින් උපකාරීවනු ඇත. වෛරසය මර්ධනය කිරීම සඳහා භාවිත කළ හැකි ඖෂධ පිළිබඳ තවමත් පර්යේෂණ සිදුවේ.

එතෙක් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙන්ම වෛරසයෙන් ගැලවීම සඳහා ගත හැකි හොඳම ක‍්‍රියාමාර්ග ලෙස ලෝකයම අනුගමනය කරමින් සිටින්නේ රෝගී තැනැත්තතන්ගෙන් දුරස්ථව සිටීම, සබන් යොදා නිතර හොඳින් දෑත් සේදීම, සංචරණයෙන් වැලකී නිවෙසට සීමා වී සිටීම වැනි පියවරයන්ය. අමෙරිකාවේ නම් නිරෝගී අය මුව ආවරණ භාවිත කිරීම අවශ්‍ය නොවේ. එහෙත් ආසාධිතයන් ඒවා භාවිතය අත්‍යවශ්‍යය. ඒ හැරුණුවිට විවිධ රෝගවලින් පෙලෙන අයද මුව ආවරණ භාවිතය සෞඛ්‍යමය වශයෙන් ආරක්ෂිත පියවරකි. මුව ආවරණ සම්බන්ධයෙන් ලොව රටවල් මෙවනි නොයෙක් ක‍්‍රියාමාර්ග ගෙන ඇත්තේ, ඒවා අත්‍යවශයෙන්ම ලැබිය යුතු වෛද්‍යවරු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට හිඟයකින් තොරව සැපයීම ද සැලකිල්ලට ගනිමිනි.

කොරෝනා වසංගත තත්වය ජාතික, කලාපීය හා ජාත්‍යන්තර සමුළු, සම්මන්ත‍්‍රණ, සංදර්ශන, ක‍්‍රීඩා උළෙල ආදී සෑම අංගයකම පාහේ කල් දැමීමට හේතුවී තිබේ. ඒ අතරින් වැඩිම අවධානයට ලක්ව ඇත්තේ මෙම වසරේදී ජපානයේ පැවත්වීමට නියමිත ව තිබූ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙල කල් යාමය. එරට අගමැති ෂින්ෂෝ අබේ ඒ බව ප‍්‍රකාශයට පත් කළේ මීට දින කීපයකට කලිනි. ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලක් මෙලෙස කල් දැමීමට සිදුවූයේ වසර 124කට පසුවය.

ලෝකටම කොරෝනා වෛරසයට එරෙහිව සටනක යෙදි සිටියදී චීනයෙන් වාර්තා වූ පුවතක් යම් තිගැස්මත් ඇති කර තිබේ. ඒ හැන්ටා (Hanta)වෛරස ආසාදනයකින් පුද්ගලයෙකු මිය යාම හේතුවෙනි. කෙසේ වුවද මෙය වසංගත තත්වයක් පිළිබඳ බිය ඇති කර ගැනීමට කාරණයක් නොවන බව සෞඛ්‍ය අංශවල අදහසය. එය වන වෛරසයක්ද නොවන අතර මීයන් වැනි සතුන් මගින් බෝවන වෛරසය රෝග කාණ්ඩයටම අයත් වන්නකි.

දුවන ලෝකයට නතරවන්නට බල කර මිහිතලය සොබා දහමේ රිද්මයට ඉඩ දී තිබේ. කොරෝනා වසංගතය අනාගත ලෝකයේ ගමන් මග තීරණය කරන හැරවුමක් වනු ඇති බව පැහැදිලිය. කෙසේ වුවද වසංගතය පරාජය කළ යුතුය. අභියෝගය ජය ගත යුතුය. එය කිරීමට නම් සංචරණයට විරාමයක් දී අප නිවසේ සිටිය යුතුය.

ධම්මික සෙනෙවිරත්න

 

 

 

 

 

 

 

 

 

 

 

නව අදහස දක්වන්න