වගා සංග්‍රාමය ! | දිනමිණ


 

වගා සංග්‍රාමය !

කො‍රෝනා අර්බුද‍යේ ඊළඟ පියවර ආහාර අ‍හේනියක් විය හැකිය ය. ‍ලෝක තත්ත්වය විශ්‍‍ලේෂණය කරන විට අංශ ගණනාවක් ‍වෙතින් අවදානම් සහගත සාධක මතු වි ඇත. යුරෝප‍යේ ආර්ථිකය නැවතී ඇත. ‍ලෝක ‍සෞඛ්‍ය සංවිධානය ද තත්ත්වය ‍පෙන්වා දී ති‍බේ. ඉතිහාස‍යේ ‍ලෝක වසංගත පැවැති සෑම අවස්ථාවකම පා‍හේ එහි ‍දෙවන පියවරක් ‍‍ලෙස සාගතයක් පැතිර ‍ගොස් ති‍බේ. ‍මේ පසුබිම වටහා ‍ගෙන ‍පෙර සූදානමකින් ක්‍රියා කළ‍හොත් සාගතය වළක්වාගත හැකි උපාය මාර්ග අපට ති‍බේ. ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රාජ්‍යයකට ‍මේ තත්ත්වය ‍හොඳින් ම ජයගත හැකි ය. එය කළ හැක්‍‍කේ ‍ගෙදර සිට සෑම බිම් අඟලක ම වගා කිරී‍මෙන් ය.

1970 සමගි ‍පෙරමුණ ආණ්ඩුව මහා වගා සංග්‍රාමයක් ක්‍රියාත්මක ක‍ළේ ය. එහි ඉලක්කය වූ‍යේ ස්වයං‍පෝෂිත ආර්ථිකයක් ‍ගොඩනැඟීම ය. එය ‍කොතරම් සාර්ථක වූ‍යේ ද යත්, සෑම ගමකම ආහාර නිෂ්පාදනය ඉහළ ගි‍යේ ය. ‍ගෙවතු අතර වගා තරග පැවැත්විණි. ගමක ‍හොඳම ‍ගෙවත්ත හිමි තැනැත්තාට ත්‍යාග හා සහතික ලැබිණි. පාසල් දරුවන් පවා වගාවට ‍යොමු කැරිණි. ඒ ක්‍රමය අඛණ්ඩ ව ඉදිරියට ‍ගෙන ගි‍යේ නම් ආහාර අතින් ස්වයං‍පෝෂිත තත්ත්වයකට යා හැකිව තිබිණි. එ‍හෙත් 1977 ආණ්ඩු ‍පෙරැළියත් සමඟ සියල්ල කණපිට ‍පෙරැළිණි. ‍‍ජේ ආර් ජයවර්ධන මහතා විවෘත ආර්ථිකය හඳුන්වාදීමත් සමඟ ආනයනය ඉහළ ගි‍යේ යමින් පිටරට භාණ්ඩවලින් ‍වෙළඳ ‍‍‍‍පොළ පිරී ගි‍යේ ය.

ස්වයං‍පෝෂිත ආර්ථිකයක ඇති වටිනාකම යළි යළිත් තහවුරු වන කාලයක් පැමිණ ති‍බේ. ‍ලෝක ආහාර සංවිධානය මීට වසර කිහිපයකට ‍පෙර උප‍දේශන තුනක් ලබා දුන්‍‍නේ ය. පළමු උප‍දේශනය වූ‍යේ සෑම රාජ්‍යයක්ම ආහාර සුරක්ෂිතතාවට පුමුඛ තැනක් ලබා දිය යුතු බව ය. ‍දෙවැනි උප‍දේශනය වූ‍යේ සෑම වගාවකින්ම උපරිම අස්වැන්නක් ලබා ගැනීමට උත්සුක විය යතු බව ය. ශ්‍රී ලංකාව වැනි රටවල අස්වැන්‍‍නෙන් විශාල ප්‍රමාණයක් අප‍තේ යයි. ‍තෙවන උප‍දේශනය වන්‍‍නේ ‍කෙටි කාලීන ‍භෝග වගාව ‍කෙ‍රෙහි වැඩි නැඹුරුතාවයක් දැක්විය යුතු බව ය. ‍කෙටි කාලීන භෝග වගාව යන්‍‍‍නෙන් අදහස් වන්නේ ඉතා ‍කෙටි කාලයකින් අස්වැන්න ලබා ගත හැකි බීජ හා පැළ වර්ග ‍‍සොයා ගැනීම ය.

වසර ‍දොළහකටත් අධික කාලයක් දරුණු නියඟයකට හා සාගතයකට මුහුණ දුන් ඉති‍යෝපියාව අද වන විට එම අභි‍යෝග ජය‍ගෙන ති‍බේ. ඉති‍යෝපියාව සැළකිය යුතු කාලයක් රට පවත්වා‍ගෙන ගි‍‍‍යේ ‍ලෝක ආධාර මත ය. අද තත්ත්වය ‍වෙනස් වී ඇත. ඉති‍යෝපියාව ‍කෙ‍‍මෙන් සිය ආර්ථික ඉලක්ක ජයගනිමින් සිටී. මීට දසක ‍දෙකකට පමණ ‍පෙර ලිබියාව ආහාර හිඟයක් ඇති විය. එවකට ලිබියාව පාලනය කළ ගඩාෆි රට තුළ ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමට කඩිනම් වැඩසටහනක් හඳුන්වා දුන්‍‍නේ ය. එම වැඩසටහනට අනුව තට්ටු නිවාසවල ද සත්ත්ව පාලනයට ඉඩක් ලැබිණි. ර‍ටේ කුකුළු මස් නිෂ්පාදනය සීඝ්‍ර‍යෙන් ඉහළ ගි‍යේ ය. උපාය මාර්ග භාවිතා කළ‍හොත් ආහාර සටන ජය ගත හැකි ය.

ඇඳිරි නීතිය අඛණ්ඩ ව පවතින්‍‍නේ වුව කෘෂිකාර්මික කටයුතුවලට සීමාවන් පනවා නැත. ‍තේ දළු ‍නෙළීම, කුඹුරු අස්වැද්දීම හා තවත් වගා කටයුතුවලට අවසර ලබා දී ති‍බේ. ‍පො‍හොර ‍බෙදා හැරී‍මේ වැඩසටහන ද ක්‍රියාත්මක ‍වෙයි. එය රජය විසින් ගන්නා ලද වැදගත් තීරණයක් ‍සේ සැලකිය හැකි ය. සමහර පළාත්වල කුඹුරුවල අස්වැන්න කපන අතර තව සමහර පළාත්වල වැපිරීම සිදු ‍කෙ‍රේ. ‍මේ කාර්යයන් ‍දෙකම නිශ්චිත කාල පරාසයක් තුළ අවසන් කළ යුතු ය. දින ගණන පිරුණු විට ‍‍තේ දළු ‍නෙළිම ද අනිවාර්යයෙන් ම කළ යුතු ය. ‍මේ හැ‍රෙන්නට ‍ගෙවතු වගාව ‍කෙ‍රෙහි ජනතාව උනන්දු කරවන සැලසුම් ‍කිහිපයක් ක්‍රියාත්මක කිරීමට යයි. අගමැතිවරයා ‍පෙන්වා ‍‍දෙන අන්දමට රට තුළ යළිත් වගා සංග්‍රාමයක් ඇති කළ යුතු ය.

මීට දශක ‍එක හමාරකට පමණ ‍පෙර දී ‍ලෝකය පුරා සහල් හිඟයක් පැතිර ‍‍ගි‍යේ ය. ‍මෙහි දී සහල් අපනයනය කරන ප්‍රධාන රටවල් ගත් පළමු තීරණය වූ‍යේ අපනයනය වහාම නවතා දැමීම ය. ‍මේ අනුව ඉන්දියාව, වියට්නාමය, තායිලන්තය වැනි රටවල් අපනයන නවතා දැමී ය. චීනය වැනි රටවල් අපනයනය සීමා ක‍ළේ ය. ‍මෙබදු අවස්ථාවල දී සෑම රටකම අවධානය ‍යොමු වන්‍‍‍‍නේ ‍දේශීය අවශ්‍යතා ගැනය. ශ්‍රී ලංකාව ද ඉහත අර්බුදයේ දී යම් අසීරුවකට පත් විය. ‍කො‍‍‍රෝනා අර්බුද‍යෙන් පසු ද ‍මෙබදු තත්ත්වයක් ඇතිවිමට ඉඩ ති‍බේ. ර‍ටේ ප්‍රධාන ආහාරය බත් වන බැවින් සහල් නිෂ්පාදනය සඳහා උපරිම දායකත්වය දැක්වීම හැම අතකින් ම වැදගත් ය.

වියට්නාම යුද්ධ‍යේ දී සිය මව්බිම ‍බේරා ගැනීම සඳහා වියට්නාම ‍සෙබළු පමණක් ‍නොව, සියලුම ජනතාව එකට ක්‍රියා කළහ. බිහිරන්, ‍කොරුන්, ‍ගොළුවන්, මහල්ලන්, දරුවන් පවා යුද්ධ‍යේ කිසියම් වැඩ‍‍ ‍කොටසක් ඉටු කළ යුතු ව තිබිණි. ඒ සාමූහිකත්වය නිසා ම අ‍මෙරිකාවට වියට්නාමය හැර යන්නට සිදු විණි. සාමූහිකත්වය ඉතා වැදගත් සාධකයකි. ‍ලෝක ‍සෞඛ්‍ය සංවිධාන‍යේ ප්‍රධානියා කියා සිටින්‍‍නේ ද ‍කො‍රෝනා යුද්ධය ජය ගැනීම සඳහා ද සාමූහිකත්වය අත්‍යවශ්‍ය බව ය. ‍කෙ‍රෝනා අර්බුද‍යෙන් පසුව ඇති විය හැකි ආහාර අ‍හේනිය ජය ගැනීම සඳහා ද සමූහිකත්වය අත්‍යවශ්‍ය ‍වේ. එකි‍නෙක පුද්ගලයා තමන් සතු වපසරියට අනුව කුමක් ‍හෝ වගාවක නිරත විය යුතු ව ති‍බේ. මල් ‍පෝච්චි මිරිස් වගාව සඳහා ‍වෙන් කළ හැකි ය. හිස් වූ සහල් කවර එළවළු වගාව සදහා ‍යොදා ගත හැකි ය.

නව අදහස දක්වන්න