ජගත් ක්‍රිකට් පිටිය මාස තුනකට වසා දමයි | දිනමිණ

ජගත් ක්‍රිකට් පිටිය මාස තුනකට වසා දමයි

ෆවුස් මොහොමඩ්

ලොව පුරා කොරෝනා වසංගතය පැතිරී යාම හේතුවෙන් ජූනි මස අග දක්වා සියළු තරගාවලි කල් දැමීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) පියවර ගත්තේය. ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග සහ වසර 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ සුදුසුකම් ලැබීමේ තරග ද ඊට ඇතුළත්ය. වසර 2021 විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සහ 2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර ඒ සඳහා සුදුසුකම් ලබන තරගාවලි 8ක් මෙසේ කල් දමා තිබේ.

කුවේට් දේශයේ සත්කාරකත්වයෙන් අප්‍රේල් මස 16 සිට 21 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු විස්සයි20 ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ආසියානු කලාපයීය ‘ඒ‘ කොටසේ තරගාවලිය, ජූනි මස 26 සිට ජූලි 2 දක්වා මැලේසියාවේ පැවැත්වීමට සූදානම් කළ ආසියානු කලාපයීය ‘බී‘ කොටසේ තරගාවලිය සමග දකුණු අප්‍රිකාවේ සත්කාරකත්වයෙන් අප්‍රේල් මස 27 සිට මැයි මස 3 දක්වා පැවැත්වීමට නියමිතව තිබුණු අප්‍රිකානු කලාපයීය තරගාවලියත්, ස්පාඤ්ඤයේ සත්කාරකත්වයෙන් මැයි මස 16 සිට 22 දක්වා පැවැත්වීමට නියමිත වූ යුරෝපා කලාපයීය ‘ඒ‘ කොටසේ තරගාවලියත්, ජූනි මස 10 සිට 16 දක්වා බෙල්ජියමේ පැවැත්වීමට නියමිත වූ යුරෝපා කලාපයේ ‘සී‘ කොටසේ තරගාවලියත්, ෆින්ලන්තයේදී ජූනි මස 24 සිට 30 දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබුණු යුරෝපා කලාපයීය ‘බී‘ කොටසේ සුදුසුකම් ලැබිමේ තරගාවලියත් මෙසේ කල් ගියේය.

මීට අමතරව 2023 එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම සඳහා පැවැත්වීමට නියමිතව තිබුණු නැමීබියානු සහ පැපුවා නිව්ගිනියා කලාපයීය තරගාවලි ද කල් දැමීමට අයි.සී.සී.ය තීරණය කළේය. නැමීබියානු තරගාවලිය අප්‍රේල් මස 20 සිට 27 දක්වාත්, පැපුවා නිව්ගිනියා තරගාවලිය ජූනි මස 9 සිට 16 දක්වාත් පැවැත්වීමට නියමිතව තිබිණි.

 

නව අදහස දක්වන්න