සෞඛ්‍ය-ආරක්ෂක අංශයේ සැමට නමස්කාර කර ගෞරව කරනවා | දිනමිණ


 

සෞඛ්‍ය-ආරක්ෂක අංශයේ සැමට නමස්කාර කර ගෞරව කරනවා

විශේෂයෙන්ම රටේ සිටින ජේෂ්ඨ පුරවැසියන් සහ දරු පරම්පරාව ආරක්ෂා කර ගැනීම, ඔවුන්ගේ පීඩනය සමනය කිරීම අපිට අභියෝගයක්. සුනාමියක් ඇවිත් ජීවිත 67,000ක් බිලිගත්තාම අපි එතැන ඉඳලා ගොඩනැඟුණා.

භාණ්ඩ බෙදා හැරීමේ අත්‍යාවශ්‍ය සේවා කළමනාකරණය භාර කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා දෙරණ නාලිකාවේ 360 වැඩසටහන සමඟ එක්වී කරන ලද සජීවී සාකච්ඡාව ඇසුරෙන් පහත සාකච්ඡාව සකස් වී ඇත.

ජනාධිපතිවරයා මේ කාර්යසාධක බලකායේ ප්‍රධානියා ලෙස ඔබව තෝරා පත් කර ගැනීමට හේතුව කුමක් වෙන්න ඇත්ද?

මුලින්ම අපේ රටේ සෞඛ්‍ය අංශයේ සියලුම දෙනා සහ ආරක්ෂක අංශයේ සියලුම දෙනාට මම නමස්කාර කරලා ගෞරව කරනවා. ඔවුන්ගේ කැපවීම, පරිත්‍යාගය හා සේවය නිසා තමයි අපි ඇවිත් මේ විදියට සාකච්ඡාවලට සම්බන්ධ වෙන්නේ. එදා ත්‍රිවිධ හමුදාව, සිවිල් ආරක්ෂක අංශය, පොලිසිය, බුද්ධි අංශ මානුෂික මෙහෙයුමක් කළා ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්න. ඒක නිසාම වෙනම ප්‍රශ්න ඇතිවුණා. උදාහරණයක් විදියට ඒ 9 වහලා මූදෙන් බඩු ගෙනියන්න නොදුන්නම යාපනේ අර්ධද්වීපයේ ජනතාව කොටුවුණා.

හමුදාවට එන පීඩාව අඩුකරන්න අපි වෙනම මැදිහත්වීමක් වුණා. නැඟෙනහිර මුදවාගත්තම උතුර මෙහෙයුම ආරම්භ කරද්දි නැඟෙනහිර ජනතාව නැවත පදිංචි කරලා ඔවුන්ගේ ජීවිත නැවත යථා තත්ත්වයට පත්කරන්න නැඟෙනහිර නවෝදය වැඩසටහන මෙහෙයෙව්වා. මේ කාර්යභාරය කරගෙන යද්දි ඇතිවන අතුරුඵල, නිදසුනක් විදියට ඇඳිරිනීතිය පවතින කාල සීමාවේදී ඇතිවන විවිධ අපහසුතා මඟහරවාගැනීම උදෙසා තමයි අපිව පත්කළේ. මේක පොලිස් ඇඳිරිනීතියක් නෙවෙයි. මේක සෞඛ්‍යමය ඇඳිරිනීතියක්. මගේ දේශපාලන කටයුතු සියල්ලන්ගෙන්ම ඈත්වෙලා මම මේකට යොමුවෙලා ඉන්නවා, මොකද මේක අනිත් හැම අවස්ථාවකටම වඩා බැරෑරුම් අවස්ථාවක්.

මැතිවරණයක් මෙහෙයවන අතරතුර ලැබුණු මේ ඉලක්කය ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා හිතනවද?

අපි විශ්වාස කළ යුතුව තියෙනවා. නැත්නම් අපේ සියලුම ජනතාව අනාථයි. විශේෂයෙන්ම රටේ සිටින ජේෂ්ඨ පුරවැසියන් සහ දරු පරම්පරාව ආරක්ෂා කර ගැනීම, ඔවුන්ගේ පීඩනය සමනය කිරීම අපිට අභියෝගයක්. සුනාමියක් ඇවිත් ජීවිත 67,000ක් බිලිගත්තාම අපි එතැන ඉඳලා ගොඩනැඟුණා. 71දි, 89දි, උතුරේ ත්‍රස්තවාදී කටයුතු, පාස්කු ප්‍රහාරය නිසා අපේ තරුණ ජීවිත නැතිවුණා. එදා අපි සටන් කරන්නේ කා එක්කද කියලා අඳුනගෙන හිටියා. හැබැයි මෙතන අපට සතුරා පේන්නේ නැහැ. ඒත් ජනාධිපතිතුමා, අගමැතිතුමා, ඇමති මණ්ඩලය සහ රාජ්‍ය සේවකයෝ සියලු දෙනා එකතුවෙලා මේ සටන ජයග්‍රහණය කරන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා.

කාර්යසාධක බලකායේ නිලධාරී යාන්ත්‍රණය හා එය ක්‍රියාකාරිත්වය මොන විදියද?

අපි මේකට අලුතින් කිසිම කාර්යමණ්ඩලයක් බඳවාගන්නේ නෑ. රාජ්‍ය සේවයේ නිවාඩු ගිහින් ඉන්න සේවකයන් මේ සඳහා තෝරගන්නවා. අපේ පරිපාලන ව්‍යුහයක් තියෙනවා; අමාත්‍යාංශ හා ආයතනවලට අමතරව ගම දක්වා විහිදුණු ව්‍යුහයක් තියෙනවා. ආණ්ඩුකාරවරු හා පළාත් 09 ව්‍යුහයක් අප සතුයි. දිස්ත්‍රික්ක 25ට දිස්ත්‍රික් ලේකම්වරු හරහා ව්‍යුහයක් පවතිනවා. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස තුන්සිය විසි ගානකට වෙනම ව්‍යුහයක් තියෙනවා. ප්‍රාදේශීය සභා බල කොට්ඨාස හාරදහස් නවසිය ගාණනක් තියෙනවා. ග්‍රාමසේවක වසම් 14,000ක් තියෙනවා. ගම් 36,000ක් තියෙනවා. මේ විදියට අපේ ව්‍යුහයක් හැදිලා තියෙනවා. අපි මේවා පමණක් නෙවෙයි නිවාස පවා අපිට පුළුවන් විදියට වෙන් කරලා තියෙනවා. ඒ වෙනුවෙන් අපේ රාජ්‍ය සේවකයෝ වැඩ කරනවා. නිදසුනක් විදියට තැපැල්පති හා තැපැල් සේවකයන් ඉදිරිපත් වුණා රෝහල් අධ්‍යක්ෂකගේ අනුදැනුම මත ඖෂධ බෙදාහරින්න. මොකද ඒ අය හැම නිවසක් ගැනම දන්නවා. සමහර බෙහෙත් බෙදන්න බැහැ. ඒවා ඇරෙන්න අනිත් බෙහෙත් තැපැල් දෙපාර්තමේන්තුවෙන් බෙදන්න භාර අරන් තියෙනවා.

ඖෂධ බෙදාහැරීමේදී ප්‍රායෝගික ගැටලු රාශියක් පැන නැඟිලා තියෙනවා. ඒ පිළිබඳව මොනවිදියේ යාන්ත්‍රණයක්ද තියෙන්නේ?

ඇඳිරිනීතිය තියෙන කාලවල ෆාමසිවලට යන්න අපි අවස්ථාව දුන්නත් ඒකෙන් අයුතු ප්‍රයෝජන ගත්තා සුළු පිරිසක්. අපිට ඒ නිසා ඒකට පාලනයක් යොදන්න වුණා. ඖෂධ බෙදාහැරීමේ ප්‍රධාන ක්‍රමවේද දෙකක් තියෙනවා. රජයේ රෝහල්වල ක්ලින්ක්වලින් දෙන බෙහෙත් අනිවාර්යෙන්ම ගෙදරටම ගිහින් දෙනවා. පිළිකා රෝගීන්, ළමා රෝහලේ අයට, සමාජ රෝග තියෙන අයට විශේෂ වැඩපිළිවෙළක් අපි සකස් කරනවා. මීට අමතරව පුද්ගලික ඩිස්පෙන්සරිවලින් ගන්න බෙහෙත් තියෙනවා. අපි ඒ අයට කිව්වේ තමන්ගේ ෆාමසිවලින් බෙහෙත් ගන්න අයගේ ලිපින අරගෙන ඔවුන්ට ඒ ඖෂධ සපයන්න.

අපි ප්‍රවාහන පහසුකම් දෙන්න සූදානම් කියලා. ඒක දැනටමත් ආරම්භ කරලා. දැනට පුද්ගලික ෆාමසි එක්දහස් ගාණක් ලියාපදිංචි වෙලා තියෙනවා. ඒත් අලුතින් බෙහෙත් ගන්න අයට ගැටලුවක් තියෙනවා. අපි ඒවත් විසඳනවා ඉස්සරහට. ෆාමසිවලට බෙහෙත් දෙන එකත් අපි කරන්න ඕන. ඒවා බෙදාහරින අයටත් අපි බලපත්‍ර දීලා තියෙන්නේ. මේවට සැපයුම්කරුවන් ලෙස එන අයට ඒ බෙහෙත් එන එක සමහර රටවලින් තහනම් කරලා තියෙනවා. රාජ්‍ය මට්ටමින් සාකච්ඡා කරලා ඔවුන් ඇනවුම් කරපු බෙහෙත් ටිකවත් ලබාගන්න අපි උත්සාහ කරනවා. තව මාස තුනකට සෑහෙන්න අපි ළඟ ඖෂධ තියෙන බවට අපිට ලොකු විශ්වාසයක් තියෙනවා. ඒ වගේම මේක බෙදාහැරීමේ යම් අඩුවක් තියෙනවා කියන එක අපි පිළිගන්නවා සහ ඒක හැකි ඉක්මනින් විසඳනවා.

අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදාහැරීම මේ වන විට කරන්නේ සතොස සහ සුපිරි වෙළෙඳසැල්වලින්. ඒත් ජනතාවගෙන් චෝදනාවක් තියෙනවා තමන්ට අවශ්‍ය භාණ්ඩ ලබාගන්න ඔවුන් සම්බන්ධ කරගන්න හැකියාවක් නැහැ කියලා?

අපේ කාර්යසාධක බලකායට වගකීම් කිහිපයක් පැවරුවා. එකක් තමයි අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑම. විදුලිය, ජලය, කසල කළමනාරකණය, ඉන්ධන සැපයීම, ගෑස් සැපයීම හා දුරකථන ක්‍රියාවලිය පවත්වාගෙන යෑම. ඇත්තටම වෙනදා කරන්ට් කැපෙන තරම්වත් දැන් කරන්ට් කැපෙන්නේ නෑ. ඔවුන් කාර්යාලවල නතරවෙලා, තමන්ගේ ගෙවල්වලින් වෙන්වෙලා මේ සැපයීම් කරන්න කැපවෙලා ඉන්නවා. ජලය, කසල කළමනාකරණයත් එහෙමයි. නිරෝධායන ක්‍රියාවලියට ලක් කළ නිවෙස්වල කසල පවා ඔවුන් ඉවත් කරනවා. ඉන්ධනහල් එක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට එක ගානේ ලබාදීලා තියෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රයේ සියල්ලන්ටම මේ නීතිවලින් බැහැරවෙලා ඒ කටයුතු කරන්න ඉඩදීලා තියෙනවා. වැවිලි ක්ෂේත්‍රයට, ධීවර ක්ෂේත්‍රයේ අයට පවා අපි අවසර දීලා තියෙනවා.

සමහරුන්ට අතේ සල්ලි තියෙනවා, භාණ්ඩ ගන්න තැනක් නැහැ. අපි ඒකට විසඳුම දුන්නා. තවත් අයට අතේ සල්ලි නැහැ, බැංකුවේ සල්ලි තියෙනවා. අපි බැංකුව අත්‍යාවශ්‍ය සේවාවක් කරලා තියෙනවා. ග්‍රාමසේවා වසමෙන් වසම කණ්ඩායමෙන් කණ්ඩායම බැංකුවලට ගේන්න අපි වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. ඒ වගේම බැංකුවක් විවෘත කළාම අනිත් බැංකුවල ගනුදෙනුකරුවන්ටත් වෙනත් ගෙවීමක් නොකර මුදල් ලබා ගන්න පුළුවන්. බැංකුවෙත් සල්ලි නැති අතෙත් සල්ලි නැති පිරිසක් ඉන්නවා. ඒ අයට රජයෙන් වෙනම වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා. වැඩිහිටි දීමනාව දැනට ලබන සහ පොරොත්තු ලේඛනයේ සිටින සියලු දෙනාට අපි රුපියල් 5000ක නැවත අය නොකර ගන්නා දීමනාවක් දෙනවා.

අවුරුදු 100 පැනපු සියලුම දෙනාට, දැනට සහන ලබන ආබාධිත අයට සහ සහනය ලබා ගැනීමට පොරොත්තු ලේඛනයේ සිටින ආබාධිත අයට, වකුගඩු ආධාර ලබන සහ එයට සුදුසුකම් ලබන සියලුදෙනාට අප්‍රේල් 1 වැනිදා සිට ගෙවීම් ආරම්භ කරනවා. සමෘද්ධි දීමනාව මේ වෙද්දි දෙනවා. දැනට සමෘද්ධි නොලබන එහෙත් ඊට සුදුසුකම් තියෙන හයලක්ෂ තුන්සිය තිස් නවයක් ඉන්නවා. එයාලටත් අපි ඒ ගෙවීම කරනවා. ගොවි රක්ෂණය ලබන සියලුදෙනාට එය ලබාදෙනවා. රාජ්‍ය සේවයේ සියලුදෙනාට ආදේශක හා අනියම් අයට උත්සව අත්තිකාරම් සහිතව ගිය මාසයේ වැටුප ලබා දෙනවා. විශ්‍රාමික අයගේ තැපෑලෙන් වැටුප් ගන්න අයට ඒක ගෙදරටම ලැබෙයි. බැංකුවලින් වැටුප් ගන්න අයට ආරක්ෂා සහිතව වැටුප අරගෙන ගෙදරට එන්න අපි බස්රථ තුන්දාස් පන්සීයක් යොදවලා තියෙනවා.

ආර්ථික කටයුතු සියල්ල අඩපණ වී ඇති මොහොතක මේ වැඩේ කරන්න සල්ලි කොහෙන්ද ලැබෙන්නේ?

අපි මේකෙදි ගොඩ ආවේ නැත්නම් මේ සල්ලිවලින් වැඩක් නැහැ. අපි අපේ තැන්පත් යොදවනවා. මේක පහසු වැඩක් නෙවෙයි. ජනාධිපතිතුමා මේ වෙද්දි රාජ්‍යයන් සහ සමාගම් කිහිපයකට ඉල්ලීම් කරලා තියෙනවා තියෙනවා. ධනාත්මක පිළිතුරු ඔවුන්ගෙන් ලැබිලා තියෙනවා.

දීප ව්‍යාප්තව භාණ්ඩ බෙදාහැරීම නගර ආශ්‍රිතව සිදුවෙනවා. අනිත් ප්‍රදේශවලටත් මේ යාන්ත්‍රණය සිදුවෙයිද?

දිගටම ඇඳිරිනීතිය පවතින දිස්ත්‍රික්කවලට වඩා අනෙත් දිස්ත්‍රික්කවල මේක ක්‍රමානුකූලව කෙරෙනවා කියලා මම වගකීමෙන් කියනවා. සියලුම රාජ්‍ය සේවකයන්, ස්වේච්ඡා සංවිධාන රාශියක් එකතුවෙන් මේ ක්‍රියාවලිය ගමේ හරියට සිදුවෙනවා. ඒ වගේම ගමේ භාණ්ඩ බෙදාහැරෙන පැරණි ක්‍රමවේද නිසා කොරෝනා පැතිරීම පාලනය වෙනවා. අපේ ආහාර සුරක්ෂිතතාව පැත්තෙන් මේ ව්‍යසනය යම්කිසි ආශිර්වාදයක් වේවි කියලත් හිතනවා. අපේ ගොවියගේ සහල්, පොල්, බිත්තර, කුකුළු මස්, එළවළු, මාළු ඔබ මිලදී ගත්තොත් ඒක යන්නේ අපේ අයට.

පාරිභෝගිකයන්ට එළවළු නොලැබීමත් ගොවියන්ට විකිණීමට නොහැකි වීමත් කියන ගැටලුව මේ දවස්වල අහන්න තියෙනවා. මේකට යම්කිසි ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙනවද?

අපේ කාර්යසාධන බලකාය මුලින්ම කළේ ආර්ථික මධ්‍යස්ථාන සියල්ල විවෘත කරලා ගොවියන්ගෙන් ඒවා මිලදී ගෙන වෙළෙඳපොළට එවන්න කටයුතු කිරීම. දඹුලු ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ වාර්තා වුණු වැඩිම ලොරි ගාන ආවා. ඉතිරිවෙන කිසිම එළවළුවක් විසි කරන්නේ නෑ. ඉල්ලුම අනුව ද්‍රව්‍ය එවනවා. අපි රජයක් ලෙස අනවශ්‍ය ලෙස මිල අඩු කිරීමක් හෝ මිල වැඩි කිරීමක් කරන්න ඉඩ දෙන්නේ නෑ. බඩ ඉරිඟු, සෝයා, උඳු, කව්පි, තල වැනි දේවල් ලංකාවේ නිෂ්පාදනයට ගොවීන්ට ගොවි රක්ෂණයක් සහ නොමිලේ බීජ ලබාදෙනවා. අපිට ගොවි ජනතාව ගැන අපි විශ්වාසයක් තියෙනවා. අපිට තියෙන වී අස්වැන්න ලබන අවුරුද්දේ අප්‍රේල් වෙනකම් ඇති. අපි ගොවියා රකිනවා. පාරිභෝගිකයාවත් රකිනවා. ඒ වගේම කවුරුහරි කෘත්‍රිම මිලක් හැදුවොත්, ගොවීන්ගෙන් අඩුමිලට අස්වැන්න මිලදී ගෙන විකිණීම කළොත් අපි ඒවා සියල්ල රාජසන්තක කරනවා.

සැමන්, පරිප්පු හිඟයක් තියෙනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒ වගේම වෙළෙන්දන් තමන් සතුව ඇති පරිප්පු සහන මිලට පාරිභෝගිකයන්ට නොදී සඟවා සිටින බවට චෝදනාවක් තියෙනවා?

ඉස්සර මෙහෙම සලාකයක් දෙද්දි අපිට තිබුණා සතොස සහ සමූපකාර වෙළෙඳසැල් ජාලයක්. ඒත් පහුගිය කාලයේ ඒ වෙළෙඳ ජාලය විනාශ කරලා තිබුණා. ඒ ජාලයත් සකස්කරගෙන තමයි අපිට මේ බෙදාහැරීම කරන්න වෙලා තියෙන්නේ. ඒ වගේම එකපාරටම ඉල්ලුමත් වැඩිවුණා පරිප්පුවල. තව එකවරක් සියලුම දෙනාට එකම ප්‍රමාණයකින් සහනාධාර මිලට පරිප්පු දෙන්න ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එකඟ වුණා. සැමන්වලට ඒ වගේ තීන්දුවක් අරගෙන නැහැ. මේ තත්ත්වය අපේ දේශීය නිෂ්පාදන ඉහළ නංවාගන්න යොදාගන්න පුළුවන්.

අපේ කර්මාන්ත ක්ෂේත්‍රය තුළත් මේ වෙනස ඇති කරන්න පුළුවන් නේද? අපි දැක්කා සමහරු වෙන්ටිලේටර්ස්, අත්වැසුම්, මුඛ ආවරණ ආදිය නිර්මාණයට පෙළඹිලා ඉන්නවා?

ලෝකයේ ඉල්ලුම ඇති දේවල් නිෂ්පාදනයට අපේ කර්මාන්ත ක්ෂේත්‍රය උත්සාහ ගන්න ඕනෑ. ඇමෙරිකන් තානාපතිවරිය අපට කතාකරලා කිව්වා ඇමෙරිකාවට අවශ්‍ය විශේෂ උපකරණ ලංකාවේ නිෂ්පාදනය කරලා දෙන්න කියලා. වෙළෙඳ කලාපවල හිරවෙලා පිරිසක් හිටියා; වැඩ සහ පඩි නැතිව. ගමට යන්න විදියක් නැතිව හිටියේ. හැබැයි සීමිත පිරිස් යොදවලා යම් යම් වැඩපොළවල් පවත්වාගෙන යනවා. ඔවුන්ට අවුරුදු නිවාඩුව කලින් දීලා අප්‍රේල් 16, 17 වගේ නැවත වැඩ පටන් ගමු කියලා කර්මාන්ත හිමිකරුවො කිව්වා. කෘෂිකර්ම, වැවිලි, ධීවර, පශු සම්පත් සහ කර්මාන්ත කියන සියලු ක්ෂේත්‍ර සහ සමහර ඉදිකිරීම් ක්ෂේත්‍ර පටන් ගන්න උත්සාහ කරනවා. සමහර කර්මාන්තවල රිස්ක් එක වැඩියි. සමහර ඒවායේ රිස්ක් එක අඩුයි. ජාත්‍යන්තර ප්‍රමිතිකරණයට අනුව තමයි අපි ඒ තීරණ ගන්නේ. වෛද්‍ය අංශයත් එක්කත් අපි කතා කරනවා ඒ ගැන.

බස්රථ, ට්‍රක්රථ රියැදුරන්, ත්‍රිරෝද රථ රියදුරන්, පෙරපාසල් ගුරුවරුන් වැනි පිරිස් ගැන කතාකරනවා අඩුයි?

අලුතින් සමෘද්ධි දීමනාව ලබන පිරිස අතරේ ඔය කියන සියලුම දෙනා වගේ අහුවෙනවා. එහෙමත් නැති අය ඉන්නවනම් අපි ඒ අයට විශේෂ වැඩපිළිවෙළක් සකස් කරනවා. ජනතාවට මේ වෙලාවේ ගෙදර ඉඳලා සෞඛ්‍ය සම්පන්න ආහාරවේලක් ගන්න පුළුවන් විදියට අතට මුදලක් දීලා සැනසිල්ලක් ලබාදෙන්න අපි රජය විදියට කටයුතු කරනවා.

මේ විදියට පටි තද කරගෙන අපිට කොයිතරම් කාලයක් ඉන්න වෙයිද?

මගේ බිරිඳ, දරුවන්, මුනුපුරන් සියලුදෙනා මේ වෙලාවේ ඉන්නේ ඇමෙරිකාවේ. ජනාධිපතිතුමාගේ පුතා සහ දියණිය ජීවත්වෙන්නේ ඇමෙරිකාවේ. මගේ සහෝදරයෙක් ඉන්නේ ඒ රටේ. මට ඒ නිසා මේක බොහොම ළඟයි. මට ඒකට කාලයක් කියන්න බැහැ. අපිට කියනවට වැඩිය දරුණු තත්ත්වයක් සමහර රටවල තියෙනවා. අපිට ලොකු විශ්වාසයක් තියෙනවා සෞඛ්‍ය ක්ෂේත්‍රය ගැන.

ඉන්දියාවේ ඉඳලා ආව අයගෙන් කොටසක් නිරෝධායනය නොවී නිවෙස්වලට ගියපු එක අපෙන් වුණු අතපසුවීමක් නේද?

අපේ මානුෂික හැඟීමෙන් ප්‍රයෝජන ගන්නෙපා කියලා මම බොහොම බැගෑපත්ව ඉල්ලන්නේ ඒකයි. අපේම පවුල්වල අය විවිධ තැන්වල, විවිධ රටවල ඉන්නවා. ඒ අය ගෙන්නවගන්න අපි වෙත දැඩි පීඩනයක් එල්ලකරනවා. සීමාව ඉක්මවලා අපෙන් ඉල්ලීම්කරන්න එපා. මේක මරණීය තත්ත්වයට යන්නේ අපි හැංගිලා හිටියොත්. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මිනිස්සු කරන සේවයට නමස්කාර කරලා අපි අපේ යුතුකම ඉටු කරමු.

මිනිස්සු තමන්ගේ රෝගය සඟවාගෙන ඉන්නවා; ගම්මාන පිටින් නිරෝධායනය කරන්න වෙලා තියෙනවා. අපිට මේ විදියට කොයිතරම් දුර යන්න පුළුවන්ද?

ලෝකයේ අනිත් රටවල් සමඟ සංසන්දනය කරද්දි අපේ රට රෝගය යම්කිසි මට්ටමකින් පාලනය කරලා තියෙනවා. ඒකට සෞඛ්‍ය අංශය, ජනතාව දැනුවත් කරපු සියලුම අංශ සහ ජනතාවගේ සහයත් ලැබුණා. ඉතිරි වගකීමෙන් තොරව කටයුතු කරන අයත් පරිස්සම්වෙලා අපට ඒ සහයෝගය දුන්නොත් මේක මහා දෙයක් නෙවෙයි. සති දෙකයි අපි පරිස්සම්වෙන්න ඕනෑ. ගෙදරක ළමයි දින ගාණක් තියාගෙන ඉද්දි ළමයින්ගේ හැසිරීම වෙනස් වෙනවා. ඒ මානසික පීඩනය ගැන වැඩිහිටියන් සැලකිලිමත් වෙන්න ඕනෑ. රජයක් විදියට අපි සියලුම සහන ලබා දෙනවා.

සමහරුන්ගේ චෝදනාවක් තියෙනවා බැංකු ගිනුම්වලින් තවමත් මුදල් කැපෙනවා. රජයෙන් සහන කාලයක් දෙන්න කිව්වට ඒක ක්‍රියාත්මක වෙන්නේ නෑ කියලා?

බැංකුවල සේප්පුවල තියෙන්නේ ටයිම්ලොක් එකක්. මේවා පරිගණක කරලා තියෙන්නේ. බැංකුවලට රජය ගත්තු තීරණ යද්දි ඒකට යම්කිසි කාලයක් යනවා. අපි බැංකුවල ප්‍රධාන වෘත්තිය සමිති දෙකක් එක්ක කතා කළා. එයාලත් ඒවට එකඟවුණා. බැංකු වුණත් තියෙන්නේ බැංකුවල ගනුදෙනුකරුවන්ගේ ජීවිත රැකුණොත්. බැංකුත් ඒ යුතුකම ඉටු කරාවි. ටික කාලයක් අපිට දෙන්න. අපිටත් තියෙනවා ප්‍රමුඛතාවක්. ලෙඩාට ඉන්සියුලින් දෙන ක්‍රමවේදය අපි මේ ක්‍රමවේදයට වඩා ඉක්මන් කරනවා. ඒත් අපි මේ සහන සියල්ල දෙනවා. සුළු ව්‍යාපාරිකයන්ට පඩිය ගෙවන්න බැහැ. අපි එයාලට ඒකට සහනයක් දෙන්න උත්සාහ කරනවා. පාරවල් හදන කොන්ත්‍රාත්කරුවන්ගේ වැඩ නතර වෙලා. එයාලට රජයෙන් වන්දියක් ලැබෙනවා. අපි කියනවා ඒ වන්දියෙන් කොටසක් සේවකයන්ටත් දෙන්න කියලා.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් කුමන වැඩපිළිවෙළක්ද සකස්වෙලා තියෙන්නේ?

ආර්ථික අපහසුතා නිසා සේවක වැටුප් ගෙවීමට නොහැකි පුද්ගලික ව්‍යාපාරවලට සහන හිමිවෙනවා. කෘෂිකර්ම ක්ෂේත්‍රය, වැවිලි ක්ෂේත්‍රය ආදිය පටන් ගත්තා. දැන් රබර් කිරි කැපුවට වැඩක් නැහැ ඒ ආශ්‍රිත කර්මාන්තශාලා වහලා තියෙනවනම්. මේ වෙද්දි සර්ජිකල් ග්ලව්ස් මාකට් එකට හොඳ ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා අපි ඒ දේවල් ගැන අවධානය යොමු කළ යුතුයි. බියගම වෙළෙඳ කලාපයේ දැනටමත් ආරක්ෂක ඇඳුම් කට්ටල නිෂ්පාදනය කරනවා. අපේ රෝහල්වලට යවන්න සහ පිටරටට ඒවා යවන්න සැලසුම් කරලා තියෙනවා. වෙනත් රටවල තානාපතිවරු සමඟ කතා කරලා එයාලගේ අවශ්‍යතාවලට අනුව අපිට වාසිසහගත වෙළෙඳපොළක් නිර්මාණය කරගන්න පුළුවන් වෙයි.

පවතින තත්ත්වයට වඩා බරපතල ලෙස රෝගීන් ප්‍රමාණය ඉදිරියේදී වැඩිවුණොත් එය දරාගැනීමට රජයට හැකියාව තියෙනවද? ඒ වෙනුවෙන් සකස් කර ඇති වැඩපිළිවෙළ මොනවගේද?

ඉතාලිය මේ සටනින් ඉවත්වෙලා. ඔවුන්ට මේ තත්ත්වය පාලනය කරගන්න බැරිවෙලා තියෙනවා. එසේ නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපි උත්සාහ කරන්නේ ඊට මෙහායින් මෙය නවත්තගන්න. දැඩි නීති යටතේ හෝ රෝගය පැතිරීම වැළැක්වීම තමයි ගතයුතු පියවර වෙන්නේ. එහෙම නැතිව අග කොනට ආවම එතනින් අයිසීයූ බෙඩ් වැඩි කිරීමෙන් වැඩක් නැහැ. එතරම් බැරෑරුම් තත්ත්වයට අපි මේක ගේනවනම් මේ වැඩපිළිවෙළින් වැඩකුත් නැහැ. ප්‍රතිකාර සඳහා යොදාගන්න රෝහල් ගණන 27 වෙනකම් වැඩිකරලා තියෙනවා. අයිසීයූ පහසුකම් වැඩිකරලා තියෙනවා.

අපි බොහොම මානුෂික මුහුණුවරකින් මේක කරගෙන යනවා. අඩු වියදමකින් වැඩි පිරිසක් පරික්ෂා කිරීමේ කට්ටල දැන් ලෝකයේ හඳුනාගෙන යනවා. මේ වෛරසය අලුත් වෛරසයක්. විදේශවලින්, දේශීය වශයෙන් තියෙන තොරතුරු එක්රැස් කරන වෙනම කණ්ඩායමක් අපිට ඉන්නවා. අපි තීන්දු තීරණ ගන්නේ ඒ තොරතුරුවලට අනුව සෞඛ්‍ය නිලධාරීන්ගේ නිර්දේශය අවසන් තීන්දුව ලෙස ගන්නවා. ජනතාවට පිළිපැදිය යුතු සෞඛ්‍ය ක්‍රමවේදයක් කියලා තියෙනවා. ඔබේ තියෙන ආර්ථික ප්‍රශ්න, බේත්හේත් ප්‍රශ්න අපිට දෙන්න. අපි ඒවා හැකි උපරිමයෙන් ඉටු කරන්නම්. ඔබ සෞඛ්‍යාරක්ෂිතව ඉඳලා, පරිස්සම්වෙලා පුරවැසි යුතුකම ඉටුකරන්න කියලා තමයි මට අවසාන වශයෙන් ඉල්ලන්න තියෙන්නේ.

නදී මාණික්කගේ

 

නව අදහස දක්වන්න