ඉස්සරහට එන ආර්ථික ප්‍රශ්නවලින් ගැලවෙන්න කැත්ත-උදැල්ල අතට ගන්න | දිනමිණ


 

ඉස්සරහට එන ආර්ථික ප්‍රශ්නවලින් ගැලවෙන්න කැත්ත-උදැල්ල අතට ගන්න

රට තුළ වර්තමානයේ ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ආර්ථික ගැටලු රාශියක් ඇති විය හැකි බැවින් මේ දිනවල නිවෙස්වලට වී සිටින ජනතාව කැත්ත උදැල්ල ගෙන කඩිනමින් තම ගෙවත්තේ වගා සංග්‍රාමයක් ඇරඹිය යුතු බව කොළඹ-07 බෞද්ධාලෝක මාවතේ ධර්මායතනාධිපති ඇල්ලේ ගුණවංශ හිමියෝ ‘දිනමිණ’ ට පැවසූහ.

තමන් වහන්සේ ගේ මැදිහත් වීමෙන් කොළඹ නගරයේ හිස් ඉඩම්වල වගා කටයුතු ඇරඹීමට සූදානම් කර ඇති බවත් ඒ සඳහා ස්ථාන ගණනාවක් හඳුනාගෙන පිරිස් සූදානමින් සිටින බවත් පැවසූ ගුණවංශ හිමියෝ පවතින තත්ත්වය සලකා බලමින් එම කටයුතු ඉදිරියේ දී අරම්භ කරන බවද ප්‍රකාශ කළහ. උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද කීහ.

“මම රටේ පවතින තත්ත්වය පිළිබඳව නිරන්තරව විමසිල්ලෙන් සිටිනවා. මේ වන විට අපට පෙනී යනවා ඉදිරියේ දී රටට ගැටලුකාරී තත්ත්වයක් ඇති විය හැකි බව. කොවිඩ්-19 ගැටලුව තව ටික කාලයක් පැවැතියහොත් අර්බුද රාශියකට මුහුණපාන්න සිදු ‌වෙනවා. මැදපෙරදිග කොවිඩ් වෛරසය පැතිරෙනවා. එම රටවල සිටින ශ්‍රමිකයන්ට නැවත මවු රටට ඒමට සිදු වුවහොත් මොකද වෙන්නෙ? ආයෝජන කලාපයන්ගේ කටයුතු අඩපණ වුණොත් ඇතිවන තත්ත්වය කුමක්ද? අපට විදේශ විනිමය නැති වෙනවා.

“මේ තත්ත්වය පිළිබඳව ජාතික සංවිධාන ගණනාවක් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කළා. එහිදී අප තීරණය කළා මෙම අවස්ථාවේ දී මේ රටේ සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරන්න තමන්ගෙ ගෙවත්තෙ මඤ්ඤොක්කා, බතල, එළවළු කිහිපයක් හෝ වගා කරන ලෙස. වැඩිහිටි නිවාස ගණනාවකින් මට පසුගිය දිනවල කතා කළා. ඔවුන්ගේ ආහාර ගැටලු විසඳීමට මම වැඩපිළිවෙලක් යෙදුවා. ආරණ්‍ය සේනාසන ස්වාමීන් වහන්සේලා ගේ දානමය ගැටලු විසඳීමට ද අප කටයුතු කරන්න ඕනෙ.

“කොවිඩ්-19 ගැටලුව පිළිබඳව රටේ නිලධාරීන් වගකීමෙන් මේ අවස්ථාවේ කටයුතු කරන්න ඕනෙ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම ගැටලුව විසඳන්න දැඩි කැපවීමෙන් ක්‍රියා කරනවා. ඔහුට අවශ්‍යයි කඩිනමින් මෙම ගැටලුව විසඳන්න.”

උපාලි කරුණාරත්න

නව අදහස දක්වන්න