මේක සෞඛ්‍ය ඇඳිරිනීතියක් නිසා ධීවරයන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න | දිනමිණ


 

මේක සෞඛ්‍ය ඇඳිරිනීතියක් නිසා ධීවරයන් සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න

බුද්ධිකා ඉඹුලාන

මෙම ඇඳිරිනීතිය සෞඛ්‍ය ඇඳිරිනීතියක් වන බැවින් රජයෙන් දෙන සෞඛ්‍ය උපදෙස්වලට අනුව සියලුම ධීවරයන් කටයුතු කළ යුතු බවත් ඒවාට අනුකූලව ධීවර කර්මාන්තයේ නියැළෙමින් මාළු අලෙවි කළ යුතු බවත් ධීවර හා ජලජ සම්පත් ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය.

හෙතෙම එහිදී පෙන්වා දුන්නේ ධීවර ප්‍රජාව අදාළ නිලධාරීන්ට, පොලිසියට හා විශේෂ කාර්ය බළකායට සහයෝගය දිය යුතු බවයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගිය 26 හා 27 දෙදින බේරුවල ධීවර වරාය නිරීක්ෂණය කිරීමේ කටයුතුවල නිරත වූ අවස්ථාවේ දී ය. එහි මතු වී ඇති ධිවරයන්ගේ මාළු අලෙවිය පිළිබඳ ගැටලුවට විසඳුම් ලබා දීමට ද ඒ මහතා එහිදී කටයුතු කළේය.

මෙහෙිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අමාත්‍යවරයාගෙන් හා සහභාගී වූ ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙම ප්‍රදේශයේ කොරෝනා රෝගීන් 17ක් පමණ සිටින හෙයින් එය බේරුවල හා කළුතර යන ප්‍රදේශයන්ට දැඩි ලෙස බලපාන බවත් මෙය පාලනය කිරීමට තමන් ඇතුළු නිලධාරීන්ට ජනතාවගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්ය. තව දින 10ක පමණ කාලයක් යනතුරු යම් යම් ගැටලුවලට මුහුණ දීමට සිදුවන බවත් එසේ සිදු වුවත් සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරන ලෙසත් හෙතෙම එහිදී ඉල්ලා සිටියේය.

නව අදහස දක්වන්න