එතෙර සිටින ලාංකිකයන්ගේ සුරක්ෂිතතාවය රජයෙන් තහවුරු කරනවා | දිනමිණ


 

එතෙර සිටින ලාංකිකයන්ගේ සුරක්ෂිතතාවය රජයෙන් තහවුරු කරනවා

මහින්ද අලුත්ගෙදර

විදේශ සබඳතා අමාත්‍යාංශය

දකුණු ආසියාතික කලාපයේ රටවල සිටින ශිෂ්‍ය ප්‍රජාව ඇතුළු ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ සුරක්ෂිතතාවය තහවුරු කරලීම උදෙසා එම රටවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල සමඟ එක්ව කටයුතු කරන බව විදේශ සබඳතා අමාත්‍යාංශය පවසයි.

කොවිඩ් -19 ගෝලීය වසංගතය හමුවේ ඔවුන් සමඟ නිරතුරු සබඳතා පවත්වා ගනිමින් ඔවුන්ගේ සුබසාධනය උදෙසා කටයුතු කරන බව ද එම අමාත්‍යාංශය පෙන්වා දෙයි. ඔවුන් කියා සිටින්නේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන්ට මෙරට කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කරන තුරු එම රටවලම රැඳී සිටින ලෙස ලක් රජය පසුගිය දා ඉල්ලීමක් කළ බවත් වෛරසයේ ව්‍යාප්තිය පාලනය කළ පසු නැවත ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරන බවට රජය සහතික වී තිබෙන බවත්ය.

නවදිල්ලිය, චෙන්නායි, මුම්බායි යන ඉන්දීය නගරවල මෙන්ම කත්මණ්ඩු, ඉස්ලාමාබාද්, ඩකා, කාබුල් සහ මාලේ යන අනෙක් දකුණු ආසියාතික අගනගරවල ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික කාර්යාල මඟින් එම රටවල සිටින ශ්‍රී ලාංකික ප්‍රජාව පිළිබදව අවධානයෙන් පසුවන අතර ඔවුන්ට මෙරට රාජ්‍ය තාන්ත්‍රික අංශ ඇමතිය හැකි දුරකථන අංක ද හඳුන්වා දී ඇත.

කොවිඩ් 19 වසංගතය හමුවේ ඔවුන් සිටින ස්ථානවල සුරක්ෂිතව සිටීම සඳහා සහාය වන බව ද විදේශ සබඳතා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

නව අදහස දක්වන්න