සියලු ප්‍රශ්නවල වගකීම රජය භාර ගැනීමට සූදානම් | දිනමිණ

සියලු ප්‍රශ්නවල වගකීම රජය භාර ගැනීමට සූදානම්

ජනතාවගේ සියලු ප්‍රශ්නවල වගකීම රජය භාර ගැනීමට සූදානම් බවත් ජනතාව නිවෙස්වල සෞඛ්‍යාරක්ෂිතව සිට තම පුරවැසි වගකීම ඉටු කරන ලෙස ඉල්ලා සිටින බවත් භාණ්ඩ බෙදා හැරීමේ අත්‍යාවශ්‍ය සේවා කළමනාකරණය භාර කාර්යසාධක බලකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මෙවැනි ලෙඩක් පිළිබඳ ආරංචි වූ විගසම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් විශේෂ කාර්ය සාධන බලකායක් පිහිටවූ බව පැවසූ ඒ මහතා මෙතෙක් දුරට මේ තත්ත්වය පාලනය කරගන්න හැකි වීමට එයින් විශාල පිටිවහලක් වූ බව කීවේය.

ජනතාවට පිළිපැදිය යුතු නීතිරීතී සහ ක්‍රමවේද කිහිපයක් ගැන පවසා ඇති බවත් ඒ ක්‍රමවේදයන් අනුගමනය කළහොත් තුන්වැනි අදියරට නොපැමිණ මෙම තත්ත්වය පාලනය කරගත හැකි බව තමා විශ්වාස කරනවායැයි ඔහු පැවසීය.

ප්‍රතිකාර සඳහා යොදාගන්නා රෝහල් ගණන 27 දක්වා වැඩිකර ඇති අතර අයිසීයූ පහසුකම්ද ප්‍රමාණවත් පරිදි සකස් කරන බව සහ මෙම තත්ත්වය වඩාත් මානුෂික මුහුණුවරකින් තරගෙන යන බවත් මෙම වෛරසය පිළිබඳ හා ප්‍රතිකාර පිළිබඳ අවසන් තීරණ සෞඛ්‍ය නිලධාරීන්ගේ නිර්දේශය අනුව ගනු ලබන බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

මම නැවතත් ඉල්ලන්නේ ඔබේ තියෙන අනිත් ප්‍රශ්න ටික අපට දෙන්න. ආර්ථික ප්‍රශ්න, කෑම බීම හොයලා දෙන එක, බේත් ටික වෙලාවට දෙන එක වගේ ප්‍රශ්න අපි රජයක් විදියට වගකීම භාරගන්නම්. හැබැයි ඔබ පුරවැසියෝ විදියට පරිස්සම් වෙලා සෞඛ්‍ය සම්පන්නව වෛද්‍යවරු කියන විදියට ඉන්න. අන්න ඒ යුතුකම ඉෂ්ඨ කළොත් අපිට පුළුවන් දෙගොල්ලන්ගේ යුතුකම් ඉෂ්ඨ කරලා මේ රට ගොඩගන්න යැයි ඒ මහතා ජනතාවට පැවසා සිටියේය.

 නදී මාණික්කගේ

නව අදහස දක්වන්න