ඇඳිරිනීති මැද ගෙවල්වලට යැවූ සේවකයන් රැසකගේ රැකියා ස්ථිර නෑ | දිනමිණ


 

ඇඳිරිනීති මැද ගෙවල්වලට යැවූ සේවකයන් රැසකගේ රැකියා ස්ථිර නෑ

නිමල් රාජපක්ෂ

මේ අස්සෙත් ජවිපෙ හැදුවෙ බොර දියේ මාළු බාන්න

ඇමති ප්‍රසන්න රණතුංග

නේවාසිකාගාරවලට සීමා වී සිටි නිදහස් වෙළෙඳ කලාප සේවක සේවිකාවන් නිවෙස්වලට පිටත්කර හැරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ වැඩි වශයෙන් නිවෙස්වලට පිටව ගොස් ඇත්තේ එම වෙළෙඳ කලාප වල ස්ථිර සේවක සේවිකාවන් නොවන බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ඇඳිරි නීතිය පැන වූ විට මෙම නිදහස් වෙළෙඳ කලාපවල ස්ථිර සේවක සේවිකාවන්ගෙන් බහුතරය නිවෙස්වලට පිටත්ව ගොස් සිටි බවයි.

නිදහස් වෙළෙඳ කලාපවල දැනට පවත්වාගෙන යනු ලබන අත්‍යවශ්‍ය කර්මාන්ත ශාලා හැර වසා දමා ඇති කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් ඇඳිරි නීතිය නිසා නිවෙස් වලට යාමට නොහැකිට අසරණ ව ඇතැයි පසුගියදා වාර්තා විය. ඒ අනුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතා එම

සේවක සේවිකාවක් ගම්බිම් වලට පිටත් කර යැවීම සදහා වැඩ පිළිවෙළක් සකස් කළේය. ඒ ආයෝජන මණ්ඩලය, හමුදාව, පොලිසිය හා සෞඛ්‍ය අංශ ඒකාබද්ධවයි. කටුනායක, බියගම, මීරිගම, මල්වතු හිරිපිටිය, මල්වත්ත,හොරණ, හා සීතාවක නිදහස් වෙළෙඳ කලාපවල ක්‍රියාත්මක වැඩ සටහනින් පුද්ගලයන් 10100ක් ගම්බිම් බලා පිටත්ව ගොස් තිබේ.

කටුනායක නිදහස් වෙළද කළාපයේ පසුගිය 27 වෙනිදා ක්‍රියාත්මක වූ වැඩ සටහනින් නිවෙස් බලා ගොස් ඇති පුද්ගලයින් සංඛ්‍යාව 5144 කි. ඉන් 986 දෙනෙකු කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ කර්මාන්ත ශාලාවල ස්ථිර සේවක සේවිකාවෝ වෙති. කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ පිටත පිහිටි කර්මාන්ත ශාලා වල සේවක සේවිකාවන් 195 දෙනෙකු මෙලෙස ගම්බිම් බලා පිටත්ව ගොස් ඇති අතර මිනිස් බල සැපයුම් සමාගම් වල සේවක සේවිකාවෝ 1520 ක් ද පිටව ගොස් ඇත. වැඩිහිටියන්, සේවා සපයන පවුල්වල සාමාජිකයන් හා පිටස්තර පුද්ගලයන් ඇතුළු 2253 ක්ද මෙලෙස පිටව ගොස් ඇති අතර මේ පිට ව ගිය පිරිස අතර කුඩා දරුවන් 190 ක් ද වූහ.ඒ අනුව බස් රථ 122 කින් පුද්ගලයන් 5144 දෙනෙකු 27 වන දින ගම්බිම් බලා ගොස් තිබේ.

පසුගිය 28 වන දින බියගම නිදහස් වෙළද කලාපයේ ක්‍රියාත්මක වූ වැඩසටහනින් ගම්බිම් වලට යැවූ පිරිස 3264 කි. ඉන් බියගම නිදහස් වෙළද කලාපයේ ස්ථිර සේවක සේවිකාවන් ගණන 600කි. කලාපයේ පිටත වෙනත් කර්මාන්ත ශාලා සේවක සේවිකාවන් 700 දෙනෙකුද මේ අතර වූහ. ඊට අමතර ව මිනිස් බල සැපයුම් ආයතනවල සේවක සේවිකාවන් 1400 ක්, සේවා සපයන පවුල්වල සාමාජිකයන් 489 ක් මෙන්ම දරුවන් 75ක්ද ඒ අතර වූහ. බස් රථ 66 ක් හා වෑන් රථ 02 කින් මෙම පිරිස ගම් බිම් වලට පිටත් කර හැරිණි. මීරිගම වතුපිටිවල, මල්වත්ත, නිදහස් වෙළද කලාප වල පිටත් කර හැරුණු සංඛ්‍යාව 450කි. ඉන් 420 මෙම කලාපයේ ස්ථීර සේවකයන් වෙති.හොරණ නිදහස් වෙළද කලාපයෙන් මෙලෙස පිටත් කර හැරුණු පිරිස 962කි. එහි සිටියේ හොරණ නිදහස් වෙළද කලාපයේ ස්ථීර සේවක සේවිකාවන් 32 දෙනෙකු පමණි. කලාපයෙන් බාහිර කර්මාන්ත ශාලාවල සේවක සේවිකාවන් 606 දෙනෙක් හා මිනිස් බල සැපයුම් සමාගමේ සේවක

සේවිකාවන් 279 ක්ද මෙමගින් ගම්බිම් බලා ගියහ. සීතාවක නිදහස් වෙළද කලාපයේ හා එම කලාපය ආශ්‍රිත ව සිටි 280 දෙනෙකුද මෙම වැඩසටහන මඟින් සිය ප්‍රවාහන පහසුකම් සලසාගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණ පවසා තිබුණේ කටුනායනක පමණක් ඇඳිරි නීතිය නිසා බෝඩිං වල සිරවී සිටින පිරිස නිදහස් වෙළද කලාප සේවක සේවිකාවන් ගණන 20000 අධික බවයි. එහෙත් මෙම වැඩ සටහනින් මේ වන විට ගම්බිම් බලා ගොස් ඇත්තේ 10100 ක පිරිසකි. ඉනුත් බහුතරය නිදහස් වෙළද කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවල ස්ථීර සේවක සේවිකාවන් නොවෙති. කෙසේ වෙතත් රජය ආයෝජන මණ්ඩලය, හමුදාව,පොලිසිය හා සෞඛ්‍ය අංශ එක්ව ගෙන ගිය වැඩපිළිවෙළ නිසා ජනතා විමුක්ති පෙරමුණ බොරදියෙන් මාළු බෑමට ගත් උත්සාහය ව්‍යර්ථ වූ බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

නව අදහස දක්වන්න