දෙවියෝ හා යක්ෂයෝ! | දිනමිණ


 

දෙවියෝ හා යක්ෂයෝ!

ඇඳිරි නීතිය ලිහිල් කරන්න එපා, යැයි රජයෙන් වෛද්‍ය සංගමය ආණ්ඩුවෙන් ඉල්ලා සිටී. ඉදිරි සති දෙකක කාලය තුළ කොරෝනා ව්‍යාප්තිය වැඩිවිය හැකි යැයි අනතුරු හැඟවීමක් ද තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදේශනය දමීට සමාන ය. සමාජ දුරස්ථභාවය හොඳින් පවත්වා ගත යුතු බව ද එම වචනය වෙනුවට ශාරීරික දුරස්ථභාවය යන්න භාවිතා කිරීම වඩාත් සුදුසු යැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඉන් හැඟී යන්නේ මනසින් හා සන්නිවේදනයෙන් මිනිසා සමීප විය යුතු අතර රෝග ව්‍යාප්තිය වැළැක්වීම සඳහා එකිනෙක පුද්ගලයන් ශරීරික වශයෙන් දුරස්වීම පවත්වා ගත යුතු බව ය.

කොරෝනා ව්‍යාප්තිය, එහි බලපෑම හා ඛේදවාචකය පදනම් වී ඇත්තේ මිනිස් චර්යාවන් මත බව පැහැදිලි ය. යුරෝපයේ නායකයන් සේම එහි ප්‍රජාව ද මුල් අදියරේ කොවිඩ් 19 ගැන තැකීමක් කළේ නැත. ඔවුන් එය සැහැල්ලුවෙන් ගත් අතර, නිදහස් චර්යා රටා එලෙසම පවත්වාගෙන ගිය බව පෙනෙයි. පා පන්දු තරග, ආගමික උත්සව, සාද පැවැත්වීම පෙර පරිදිම සිදු විය. බටහිර රටවල් සිය ගුවන් තොටුපළවල් හි අවන්හල් වසා දැමුවේ රෝග ව්‍යාප්තිය උත්සන්න වූ අවස්ථාවේ ය. මුල් කාර්තුවේ ‍අමෙරිකන් ජනාධිපතිවරයා චිනයට දොස් නගමින් සිටියා මිස රෝග මර්දනයට ක්‍රියා කළේ නැත. අද එහි ප්‍රතිවිපාක විඳින්නට ධනවත් රටවල සිදු වී තිබේ.

අප හැමදාම පෙන්වා දෙන අන්දමට සමාජය විවිධ ය. විසම ය. කෙ‍නකු‍ දෙවියන්ගේ හැසිරීමට සමාන ලෙස තමන්ගේ චර්යා රටා පවත්වාගෙන යන අතර තව කෙනෙකු යක්ෂයන්ගේ හැසිරීම් ප්‍රදර්ශනය කරන බව පෙනෙයි. අර්බුදකාරී අවස්ථාවක යක්ෂයන්ගේ සමාජ කණ්ඩායම වර්ධනය වුවහොත් බලවත් ඛේදවාචකයකට මුහුණදීමට ලෝකයට සිදු වනු ඇත. කොවිඩ් 19 වසංගතය පැතිර යමින් ලෝක ප්‍රජාව ජීවිතයත් මරණයත් අතර තීරණාත්මක සටනක නියැලෙන අතර ත්‍රස්ත කණ්ඩායම් ප්‍රහාර එල්ල කරන තැනෙක සිටිති. බොකෝහරම් ත්‍රස්තයන් නියිජීරියාවේ දී එල්ල කළ ප්‍රහාරයකින් රජයේ හමුදා සෙබළු සිය දෙනෙක් මරණයට පත් වූහ. ඉරාක තුර්කි තෙල් නළ මාර්ගයට පෙරේදා ප්‍රහාරයක් එල්ල විය.

ත්‍රස්ත කණ්ඩායම්වල හැසිරීම පමණක් නොව, ඇතැම් රටවල සාමාන්‍ය ජනතාවගේ හැසිරීම ද අතිශය කනගාටුදායක ය. අපේ රටම මීට නිදසුනක් ලෙස ගත හැකි ය. ශ්‍රී ලංකාවෙන් කොරෝනා මරණ දෙකක් වාර්තා වී ඇත. මරණයට පත් වූ දෙදෙනාම සිය ජීවිතය කෙළවර කරගෙන ඇත්තේ සමාජයට විශාල විනාශයක් ද ළඟා කර දෙමින් ය.දෙනො ම රජයේ උප‍දේශනය පිළිගෙන නැත. දෙවන රෝගියා තව රෝගී තත්ත්වය වසන් කරගෙන පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ගෙන ඇත්තේ ව්‍යාජ තොරතුරු ලබාදෙමින් ය. මේ පසුබිම මත රෝහල් වාට්ටු කිහිපයක් වසා දමන්නට සිදු විණි. රෝහල් කාර්ය මණ්ඩල නිරෝධානයට ලක් කරන්නට සිදු විණි. පෞද්ගලික රෝහල්වලට සීල් තබන්නට ද සිදු විණි.

එක්තරා ප්‍රදේශයක තරුණ මහතකුට ද ඔහුටග් පවුලේ සාමාජිකන්ට ද ස්වයං නිරෝධායනයක යෙදෙන ලෙසට උපදෙස් ලැබී තිබිණි. හේතුව වුයේ අදාළ තරුණ පුද්ගලයා විදේශ සංචාරයක නිරත ව සිට යළි ශ්‍රී ලංකාවට පැමිණි නිරෝධායනය මඟ හැර සිටීම ය. එහෙත් එම පුද්ගලයා උපදේශන පිළිගෙන නැත. ඔහු දින ගණනාවක් පුරාවට විවිධ තැන්වල ඇවිදිමින් විවිධ කටයුතුවල යෙදී තිබේ. අවසන් ලෙස ඔහු අත්අඩංගුවට ගෙන බූස්ස කඳවුරෙහි නිරෝධායනයට ලක් කිරීමට රජයට සිදු විය. ගැටලුව එතැනින් නිමාවට පත් වන්නේ නැත. අදාළ පුද්ගලයා සංචාරය කළ සෑම ස්ථානයක් ම නිරීක්ෂණය කරමින් ඇසුරු කළ සියලුදෙනා නිරෝධායනයට ලක් කිරීමට සිදු වී ඇත.

පෙරේ දා වන විට ශ්‍රී ලංකාවේ කොරෝනා අසාධියන්ගේ ගණන 143 ලෙස සටහන් වී තිබිණි. එම දිනය තුළ කොරෝනා ආසාධිත අලුත් රෝගීන් 21ක් හඳුනාගෙන තිබිණි. පුත්තලමෙන් 11ක්, බේරුවලින් 06ක්, අටුලුගමින් 03ක් ආදී වශයෙන් ය. මෙලෙස නව රෝගීන් සොයා ගැනීමට හැකි වී ඇත්තේ සැක සහිත පුද්ගලයන් හඹායමින් නිරෝධායන ක්‍රියාවලිය සිදුවන නිසා ය. රජයේ බුද්ධි අංශ මේ සම්බන්ධයේ ඉතා වැදගත් වැඩ කොටසක් ඉටු කරමින් සිටී. බුද්ධි අංශවල තොරතුරු සම්පාදනය නොවන්නට රෝග වාහකයන් හඳුනා ගැනීම අපහසු ය. ඔවුන් තො‍රතුරු වසන් කරමින් හා සැඟවෙමින් රෝග ව්‍යාප්තියට හේතු සාධක සපයන බැවින් ය.

රටේ ඇතැම් ආයතන, ස්වෙච්ඡා සංවිධාන හා සුවිශේෂ පුද්ගලයෝ ද කොරෝනා මර්දන වැඩසටහනට විශාල සහයෝගයක් ලබා දෙති. ඇතැම් ආයතන මුදල් ආධාර ලබාදෙති. තව ආයතන ද්‍රව්‍යමය ආධාර ලබා‍ දෙන්නේ ජන ජීවිතය යථා තත්ත්වයට ගැනීම සඳහා ය. ආගමික ආයතන වෙතින් ප්‍රජාවගේ අධ්‍යාත්මික ශක්තිය පවත්වා ගැනීම සඳහා තවත් සුවිශේෂී වැඩ කොටසක් ඉටු වෙමින් පවතී. මේ සියල්ලෙන් ම පෙනී යන්නේ අර්බුදය ජයගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් රට තුළ පවතින බව යත එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ ද අර්බුදය ජය ගැනීම සඳහා සාමූහික ප්‍රයත්නයක් අවශ්‍ය බව ය. සාමූහිකත්වය බිඳි යන්නේ සුළු පිරිසකගේ පුද්ගලවාදී හැසිරීම් නිසා ය. යක්ෂයන් ලෙස හඳුන්වන්නේ පුද්ගලවාදී සමාජ කණ්ඩායම් යත ඔවුහු හිතුවක්කාරී ලෙස හැසිරෙති.

ඇතැම් පුද්ලලයන්ගේ යක්ෂ හැසිරීමට හේතුව කුමක්දැයි පැහැදිලි නැත. ඔවුන් සමාජයට වෛර කරනවා විය හැකි ය. ඇතැම් විට ඔවුන් මානසික රෝගීන් වන්නටත් පුළුවන. කෙසේ වුව මේ මොහොතේ යක්ෂයන්ට නිදැල්ලේ හැසිරීමට ඉඩ තැබිම ඉතා භයානයක ය. ඔවුන් අල්ලා කූඩු කළ යුතු ය. අ‍පගේ ප්‍රාර්ථනය විය යුත්තේ දෙවියන් බඳු මිනිසුන් වැඩිවේවා! යන්න ය. එහි අනෙක් පැත්ත යක්ෂයන් බඳු මිනිසුන් අඩු වේවා! යන්න ය.

නව අදහස දක්වන්න