පිහිනුම් ශූරියට කොරෝනා | දිනමිණ


 

පිහිනුම් ශූරියට කොරෝනා

ෆවුස් මොහොමඩ්

වසර 2016 රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර් 800 නිදහස් ආර පිහිනුම් තරගයෙන් ලෝකඩ පදක්කම් දිනූ හංගේරියානු ක්‍රීඩිකා බොග්ලාකා කේපස් කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. පසුගිය වසරේ දකුණු කොරියාවේ පැවැති ලෝක ශූරතාවලියේදිත් මීටර් 200 සමනල ආර පිහිනුම් ඉසව්වේ ලෝකඩ පදක්කම් දිනූ මේ ක්‍රීඩිකාව ‘ඉන්ස්ටර්ග්‍රෑම්‘ සමාජ වෙබ් අඩවියේ සිය පිටුවේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කළාය.

‘පසුගිය සඳුදා මගේ පරීක්ෂණයේ ප්‍රතිඵල ලැබුණා. මේ වසංගතයට මාවත් ගොදුරු වුණු බව දැනගත් විගස පුදුමාකාර වේදනාවක් දැනුණා. ඇත්තෙන්ම මට කිසිම රෝග ලක්ෂණයක් පෙනෙන්නට තිබුණේ නෑ. මගේ ක්‍රීඩාලෝලින්ට කියන්නේ මා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්න කියලයි.‘ ඇය ඉතා හැඟුම්බර අයුරින් එම සටහන තබා තිබිණ.

‘මේ මාරක වසංගතය දැන් ලොව පුරා වේගයෙන් පැතිරී යනවා. මම සියළුදෙනාගෙන් ඉල්ලා සිටින්නේ තම නිවසට වී ආරක්ෂාකාරිවන ලෙසයි.‘ ඇය එසේ කීවාය.

හංගේරියානු පිහිනුම් සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලය ද කොවිඩ් - 19 පරික්ෂණයට භාජනය කිරීමට එරට බලධාරීන් කටයුතු කළ අතර එහිදී බොග්ලාකා ඇතුළු තවත් පුද්ගලයන් 9ක්ම කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගෙන ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්තවීමත් සමග එවකට තායිලන්තයේ පැවැති පුහුණු කඳවුරකට සහභාගි වෙමින් සිටි හංගේරියානු පිහිනුම් ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම පුහුණු කාර්ය මණ්ඩලය යළි සිය රට බලා පැමිණි අතර ඔවුන් පරීක්ෂණයට ලක් කරනු ලැබුවේ ඉන් අනතුරුවය.

වසර 2019 ලෝක ශූරතාවලියේදී මීටර් 200 නිදහස් ආර තරග ඉසව්වේ 7 වැනි ස්ථානය ලැබූ ඩොමිනික් කොස්මා, මීටර් 100 සහ මීටර් 50 පසුපස ආර තරග ඉසව්වලින් 10 වැනි සහ 15 වැනි ස්ථාන ලැබූ රිචඩ් බෝහස් සහ ඩේවිඩ් හොවාර්ත් ද කොරෝනා ආසාදිතයන් බවට පත්වී ඇති අතර වෛරසය ආසාදනය වී ඇති සෙසු පුද්ගලයන් පුහුණු කාර්ය මණ්ඩලයේ අය වෙති. බොග්ලාකා මෙන්ම හොවාර්ත් සහ බෝහස් ද මෙතෙක් කිසිදු රෝග ලක්ෂණයක් පෙන්නුම් නොකිරීම විශේෂත්වයකි. මේ අතර තායිලන්තයේ පුහුණු කඳවුරට සහභාගි නොවූ තවත් පිහිනුම් ක්‍රීඩිකාවක වන කටින්කා හොසූ කොරෝනා ආසාදිතයකු බවට මෙතෙක් තහවුරු වී නොමැත. වසර 2012 ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මීටර් 100 ළය ආර තරග ඉසව්වෙන් රිදී පදක්කම් දිනූ කැමරොන් වැන් ඩර් බර්ග් මීට පෙර කොරෝනා වෛරසයට ගොදුරුවී තිබිණ.

නව අදහස දක්වන්න