අභියෝගයට මුහුණදෙන්න වරාය සූදානම් | දිනමිණ


 

අභියෝගයට මුහුණදෙන්න වරාය සූදානම්

ඉරෝ­ෂිණී දීපිකා

ජෙනරාල් දයා රත්නායක
වරාය අධිකාරියේ සභාපති

කොවිඩ් 19 ලොව පුරා පැතිර යන වසංගතයක් බවට පත් වෙමින්, ලෝකයේම ආර්ථිකයට බලපෑම් කරමින් තිබෙන සමයක, මෙරට වරාය කෙරෙහි එහි බලපෑම සහ වරාය හරහා රටට ඇතුළු වන නැව් මඟින් කොවිඩ් 19 පැතිරීමේ අවදානමක් පවතීද යන්න පිළිබඳ, වරාය අධිකාරියේ සභාපති, හිටපු යුද හමුදාපති, ජෙනරාල් දයා රත්නායක මහතා සමඟ කළ කතාබහකි මේ.

අපේ රටේ ආර්ථිකය කෙරෙහි, වරාය මඟින් අති මහත් මෙහෙයක් ඉටු වෙනවා. මුළු ලෝකයම කොවිඩ් 19 බලපෑමට නතුව, යම්තාක් දුරට අකර්මන්‍යව පවතින මේ අවස්ථාවේදී, වරාය මඟින් මෙතෙක් අපේ රටට ලැබුණු එම දායකත්වය සීමා වී තිබෙනවද?

දැනටනම් කොහෙත්ම නැහැ. සාමාන්‍ය විදිහට නැව් පැමිණෙනවා සහ පිටව යනවා. බඩුබාහිරාදිය රැගත් නැව් පැමිණෙනවා. ඒත් ඉදිරියේදී මේ තත්ත්වය යම්තාක් දුරකට වෙනස් වෙන්න පුළුවන්. මේ වෙනකොට ඉන්දියාව සති තුනකට ලොක්ඩවුන් කරලා තියෙන්නේ. ඒත්, වරාය ආශ්‍රිතව බඩුබාහිරාදිය තිබෙනවා. ඉන්දියාවෙන් කෙරෙන ආනයන කටයුතු සිදු වෙනවා. ආහාර ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ ගෙන ඒම් සිදු වෙනවා. ඒත්, ලෝකය තුළ පවත්නා මේ තත්ත්වය නිසා, ඉදිරියේදී යම් බලපෑමක් සිද්ධ වෙන්නත් පුළුවන්.

ලෝකය තුළ පවත්නා මේ තත්ත්වය, ශ්‍රී ලංකා වරාය අධිකාරියට දැනුණෙ කොහොමද?

වර්තමාන අර්බුදකාරී තත්ත්වය තවම වරායට ඒ තරමටම දැනුණෙ නෑ. කොහෙත්ම දැනිලා නෑ කියලම කියන්නත් බෑ. වරායේ කටයුතු සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනවා. විදේශ රටවලට අපනයනය කළ ඇඟලුම්, ධීවර කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන සඳහා මේ වෙද්දි යම්කිසි බලපෑමක් එල්ල වෙලා තියෙනවා. ඉදිරියේදී මොන වගේ තත්ත්වයක් ඇතිවෙයිද? බලපෑමක් ඇති වුණොත් කටයුතු කළ යුත්තේ කොහොමද? එහිදී ගතයුතු ක්‍රියාමාර්ග මොනවද? වගේ කාරණා පිළිබඳ අප නිරතුරුවම විමසිල්ලෙන් ඉන්නේ. ඒ පිළිබඳ වගකිවයුතු අය සමඟ නිරතුරුවම සාකච්ඡා කරනවා.

මේ වෙද්දි නැව් පැමිණීමේ සහ පිටවීම නිසි පරිදි ක්‍රියාත්මක වෙනවද? නැව් පැමිණීම සීමා වී නැද්ද?

නැව්වලින් බඩු බෑම, පැටවීම පර්යන්ත තුන හරහාම සාමාන්‍ය ආකාරයට සිද්ධ වෙනවා. පර්යන්ත තුනේම ඒ කටයුතු සියයට සියයක්ම නිසි ආකාරයට සිදු කෙරෙනවා. අත්‍යවශ්‍ය ආහාර, කොවිඩ් 19 ගැටලුවට මුහුණ දීම සඳහා අවශ්‍ය වන බඩුබාහිරාදිය, පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය වන දේ, කිසි ම ප්‍රමාදයකින් තොරව වරායෙන් ඇතුළු කෙරෙනවා සහ පිට කෙරෙනවා. දළ වශයෙන් වරාය අධිකාරිය තුළ, 8500ත් 9000ත් අතර සේවක ප්‍රමාණයක් සේවය කරනවා. නිවෙසේ සිට සේවය කරන වැඩපිළිවෙළ යටතේ, මේ වෙද්දි සේවා කටයුතු සඳහා පැමිණෙන ප්‍රමාණය අඩු කර තිබෙනවා. ඒ අනුව එම ප්‍රමාණය සියයට 30ක් වගේ අඩු ප්‍රමාණයක්. සාමාන්‍යයෙන් දිනකදී කොළඹ වරායේ පමණක් 7000ක පමණ සේවක පිරිසක් සේවය කරනවා. ඒත් මේ වෙද්දි සේවයට යොදවා තිබෙන්නේ 1500 - 2000 ක් වගේ පිරිසක් විතරයි. ඒ අය, වරායේ යෙදවිය යුතු අත්‍යවශ්‍ය ම ස්ථානවලට යොමු කරලා, මේ කටයුතු කරගෙන යනවා.

වරායට නැව් පැමිණීම නවතා නැත්නම්, විදේශ රටවලින් පැමිණෙන නැව්වල සිටින අයගෙන් කොවිඩ් 19 පැතිරීමේ අවදානමක් පවතින්න පුළුවන්. ඒ අවදානමට මුහුණ දීම සඳහා අරගෙන තියෙන්නේ මොන වගේ ක්‍රියාමාර්ගද?

සාමාන්‍යයෙන් නැව්වල පැමිණීම තුන් ආකාරයකට සිදු වෙනවා. සංචාරකයන්ගේ පැමිණීම එක් ක්‍රමයක්. එවැනි නැව් 22ක් මේ මාසය තුළ අපේ රටට පැමිණීමට තිබුණා. සාමාන්‍යයෙන් ඒ වගේ කුඩා නැවක 300 සිට 350 දක්වා පිරිසක් වගේ ම, විශාල නැවක් නම්, 3500 සිට 4000 දක්වා පිරිසක් දළ වශයෙන් පැමිණිය හැකියි. මේ වෙද්දි පැමිණීමට තිබුණු එම නැව් 22න් 16ක් විතරයි පැමිණ තිබෙන්නේ. බඩුබාහිරාදිය ගෙනෙන නැව් 10ක්, 15ක්, 20ක් වගේ ප්‍රමාණයක් එනවා. ඒ වගේ ම, ජාත්‍යන්තර මුහුදේ ගමන් ගන්නා නැව් මාසයකට 6000 - 7000 අතර ප්‍රමාණයක් සේවා සපයා ගැනීම සඳහා ගාල්ල සහ හම්බන්තොට වැනි වරායවලට පැමිණෙනවා. ඒත් මේ මාසෙ මුල ඉඳන්ම මේවායේ සිටින අයට ගොඩබහින්න අවසර දුන්නේ නෑ. බඩු ප්‍රවාහන නැව්වලින් පැමිණෙන අයටත් ගොඩබිමට එන්න අවසර දුන්නේ නෑ. නැව් ශුද්ධ පවිත්‍ර කිරීම් සඳහා නැවකින් බහින්න අවසර දුන්නත්, ඒ අය නැවෙන් පිටතට පැමිණීමේදී වගේ ම, නැවත නැවට ගොඩවීමේදී අවශ්‍ය ආරක්ෂිත උපක්‍රම අනුගමනය කරනවා. එසේ නැතිව කිසි ම පුද්ගලයකුට නැව්වලින් ගොඩබැසීමට ඉඩ ලැබෙන්නේ නෑ.

සාමාන්‍යයෙන් රටකට නැවක් එනකොට, ඒවා පැමිණෙන්නේ ඒ රටේ සෞඛ්‍ය අංශ සමඟ සම්බන්ධ වෙලයි. ඒකට හේතුව, එසේ පැමිණෙන අය මඟින් ලෙඩ රෝග බෝවන නිසයි. අපේ රටට වුණත් නැවක් පැමිණෙද්දි, වරාය තුළ පවතින වරාය සෞඛ්‍ය සේවා අංශය සමඟ සම්බන්ධ වෙනවා. නැවක් යම්කිසි රටකට පැමිණෙන්න පෙර, ඒ අය මීට පෙර ගියේ මොන වගේ රටවලටද? ඒ අය කවුද? කියන විස්තර ඇතුළත් පරීක්ෂණ ලැයිස්තුවක් අන්තර්ජාල සේවා හරහා කල්තියාම ලැබෙන්න සලස්වනවා. ඒ නිසා, ඒ ඒ පුද්ගලයන් සම්බන්ධ තොරතුරු වේලාසනින් ම දැනගන්න පුළුවන්. වරාය තුළ, වරාය පොලිසිය, වරාය සෞඛ්‍ය සේවා අංශය සහ නාවික හමුදාව, වරාය කටයුතුවලට නිරතුරුවම සම්බන්ධවෙලා, වගකීමෙන් වැඩ කටයුතු කරගෙන යනවා.

ජාත්‍යන්තර මුහුදෙ එන යන අය සේවා ලබා ගැනීම සඳහා මාරු වෙනකොට, ඒ අය වෙනුවෙන් වෙනමම ස්ථාන තුනක් සකස් කර තිබෙනවා. ඒ අය අතර පුද්ගල සම්බන්ධය සියයට සියයක්ම වෙන් කරලා තිබෙන්නෙ. හදිසියේවත් සම්බන්ධ වුණොත්, එහිදී අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගන්නවා. නැවක් පැමිණියහම, එහි සිටින කෙනකුට පිටතට පැමිණීමට අවසර ලැබෙන්නේ, වෛද්‍යවරයෙක් නැවට ඇතුළුවෙලා, පරීක්ෂා කරලා, නිසි ක්‍රමවේද අනුගමනය කරලා, අවසර දුන්නට පසුවයි.

වර්තමානය වනවිට පවත්නා වසංගත තත්ත්වය හමුවේ, ශ්‍රී ලංකාවට ගෙනෙන ද්‍රව්‍ය නිසි පරීක්ෂාවට ලක් වෙනවද?

අනිවාර්යයෙන් ම පරීක්ෂාවට ලක් වෙනවා. කොහොමත් රටකට ගෙන ඒමට හැකි සහ නොහැකි ද්‍රව්‍ය තිබෙනවා. වරාය, රේගුව, ගුවන්තොටුපොළ වගේ මේ හැම ආයතනයක් ම, මෙරටට ගෙනෙන ද්‍රව්‍ය පරීක්ෂාවට ලක් කරනවා. මේ හැම අංශයක් ම සාකච්ඡා කරලා, නිසි කටයුතු කරගෙන යනවා.

වර්තමානය තුළ පැනනැගී ඇති ගැටලු විසඳුණු වහාම, වරාය කටයුතු හා සම්බන්ධ ඉදිරි අපේක්ෂා පිළිබඳ කතා කළොත්?

වරාය කියන්නේ ආර්ථිකයට සුවිශේෂී වාසි ලබා දෙන, ඩොලර්වලින් ලාභ ලබා දෙන ස්ථානයක්. අපේ වරාය මඟින් ආර්ථිකයට ලැබෙන දායකත්වය සුවිශේෂයි. ඒත්, පසුගිය වසර කිහිපය තුළ වරාය විශාල පසුබෑමකට ලක් කරලා; වරාය විශාල පසුබෑමකට ලක් වෙලා කියන්න මම කැමති නෑ. ලක් කරලා කියන දේ තමයි නිවැරැදි. මේ නිසා, අපට සිදුව ඇති පාඩුව මෙපමණ යැයි පැවසීමත් අපහසුයි. එම සිදුවීම් එච්චර කනගාටුදායකයි. ඒත්, වරාය ඉතිහාසය ගත්තහම, ඒ ඉතිහාසය තුළ ස්වර්ණමය යුගය විදිහට 2006 වසරේ සිට 2015 දක්වා යුගය හඳුන්වන්න පුළුවන්. මුලදි කොළඹ වරාය තුළ එක් ජැටියක් පමණයි තිබුණෙ. ඒත් මේ කාලය තුළ, එය ජැටි තුනක් දක්වා වර්ධනය වුණා. වරාය ආදායම, බිලියන 20 සිට 50 දක්වා වර්ධනය වුණා. හම්බන්තොට වරාය ඉදිකෙරුණා. සේවක අතිරික්තය අවම කෙරුණා.

ඒත් 2015න් ඇරැඹි 2019 දක්වා පැවැති කාලය තුළ වරායේ දියුණුවක් ඇති වුණේ නෑ. ඒ කාලය මම, වරායේ අඳුරු යුගය විදිහටයි දකින්නේ. ඒ වෙනකොට අලුතින් ආරම්භ කරලා තිබුණු වැඩ පවා එතැනම නවත්වලා දාලා. නැඟෙනහිර පර්යන්තයේ වැඩ, සියයට 40ක් කෙරිලා තිබුණෙ. ඒක 2018 වෙද්දි විවෘත වෙන්න තිබුණා. ඒත්, ඒ කටයුතු සිදු කරලා නෑ. කරන්න තිබුණු වැඩ කටයුතු පහුගිය කාලය පුරාම කෙරිලා තිබුණෙ නෑ. මේ නිසා රටට ලැබෙන්න තිබුණු බිලියන ගණනක ඩොලර් ආදායම් අපට අහිමිව ගිහින් තිබෙනවා. බටහිර පර්යන්තය අලුතෙන් හදන්න ආරම්භ කෙරුණා. සංචාරක පර්යන්තය හැදෙමින් පවතිනවා. ඒ වගේ ම, ගාල්ල වරාය සම්බන්ධයෙන් සුවිශේෂී වැඩසටහනක් සකස් කර තිබුණා. පසුගිය කාලයේ ඒ වැඩසටහනුත් වැළකී තිබුණා. කන්කසන්තුරේ වරායට ඩොලර් මිලියන 42ක් වටිනා ව්‍යාපෘතියක් ක්‍රියාත්මකයි. ඉදිරියේදී මේ සියලු කටයුතු ඉෂ්ට කරලා වරාය තුළ සුවිශේෂී දියුණුවක් ඇති කිරීමට අනිවාර්යයෙන් ම කටයුතු කරනවා.

ගාලු වරාය සම්බන්ධයෙන් ක්‍රියාත්මක සුවිශේෂී වැඩසටහන පිළිබඳ කතා කළොත්?

ඉදිරියේදී මේ වරාය, දැනට පවත්නා තත්ත්වයට වඩා විසි තිස් ගුණයකින් විශාල කෙරෙනවා. මේවා සිහින නෙමෙයි. ක්‍රියාත්මක වන කටයුතු. මේවා කවදාකවත්ම සිහින බවට පත් වෙන්න කටයුතු කරන්නේ නෑ. මේ හරහා සිදු වෙන්නේ, ගාලු වරාය බඩුබාහිරාදිය රැගෙන එන වරායක් නෙමෙයි, සංචාරක මධ්‍යස්ථානයක් විදිහට සංවර්ධනය කිරීමයි. මේ වරාය මේ ආකාරයට දියුණු කළොත්, ශ්‍රී ලංකාවට සංචාරකයන් ගෙන්වාගෙන, ඒ හරහා විශාල වශයෙන් ආදායම් ඉපයීමට අවස්ථාව ලැබෙනවා. සංචාරක කර්මාන්තය තුළ ආකර්ෂණීය වෙනසක් ඇති කිරීමට ඒ මඟින් අවස්ථාව ලැබෙනවා.

මේ වරාය තුළ සිදු කෙරෙන වෙනස්කමත් සමඟ දියකඩනය දුරින් හැදෙන්නෙ. දැනට මේ වරායට අයත්ව තිබෙන්නේ හෙක්ටයාර 35ක ප්‍රමාණයක්. ඒත් වරාය තුළ සිදුවන මේ වෙනස්කමත් සමඟ, එය හෙක්ටයාර තුන්සිය ගණනකින් වැඩි වෙනවා. ඒ අනුව මේ වරාය පවත්නා තත්ත්වයට වඩා විසි තිස් ගුණයකින් විශාල වෙනවා. ලෝකයේ වෙසෙන ධනවත් පුද්ගලයන් නැව් හරහා සංචාරය කිරීමේ ප්‍රවණතාවට, ගාලු වරාය හොඳ ම තෝතැන්න කිරීම, මේ කටයුතු හරහා හැකියාව ලැබෙනවා. වර්තමානයේ ලෝකය වෙළාගෙන තිබෙන මේ වසංගත තත්ත්වය වගේ ම, ඉදිරියේදිත් විවිධ බාධක, අභියෝග ඇතිවන්න පුළුවන්. ඒත් ඒ සෑම අභියෝගයක් ම, බාධකයක් ම ජය අරගෙන, අප ඉදිරියට යා යුතුයි.

 

 

නව අදහස දක්වන්න