LECO පාරිෙභා්ගිකයන්ට දිගටම සේවා | දිනමිණ


 

LECO පාරිෙභා්ගිකයන්ට දිගටම සේවා

leco සමාගමේ සභාපති නීතීඥ අතුල ප්‍රියදර්ශන ද සිල්වාගේ අදහස් දැක්වීමක් ඇසුරින්

ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් පහෙන් එකක් සම්පූර්ණ කරන්නට බැඳී සිටින්නේ LECO හෙවත් ලංකා විදුලි පෞද්ගලික සමාගමයි. ගාල්ලේ සිට මීගමුව දක්වා වෙරළබඩ තීරය සහ කෝට්ටේ මහ නගර සභාව ඇතුළු අවට ප්‍රදේශ කිහිපයකම විදුලි සැපයුම සහ නඩත්තු කටයුතු භාරව සිටින ලංකා විදුලි පෞද්ගලික සමාගම වර්තමානයේ ලංකාව මුහුණ දී සිටින කොවිඩ් 19 අර්බුදය හමුවේ සිය පාරිභෝගික ජනතාව වෙනුවෙන් දිගින් දිගටම සේවා සපයන්නට සූදානමින් සිටී.

මේ කාල සීමාව තුළ යම්කිසි ආකාරයකින් විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත් කිසිදු ප්‍රමාදයකින් තොරව එය නැවත යථා තත්ත්වයට පත් කිරීමේ කටයුත්ත සුපුරුදු පරිදි දිගින් දිගටම සිදුවන අතර සමාගම විසින් මෙතෙක් කාලයක් සේවකයන් අරබයා පවත්වාගෙන පැමිණි පැය අටේ සේවාමුරය වෙනස්කොට එය පැය 24ක සේවා මුරයක් ලෙස පවත්වාගෙන යන්නට කටයුතු යොදා තිබේ. සේවකයන් තිදෙනෙක් යොදා ගනිමින් මෙතෙක් සේවා මුර සැකසී තිබූ නමුත් දැනට පවතින සේවාමුර ක්‍රමය සඳහා සේවකයින් පස්දෙනෙක් අනුයුක්ත කර තිබේ.

ලංකා විදුලි පෞද්ගලික සමාගම සතුව පාරිභෝගික සේවා මධ්‍යස්ථාන 23 ක් පවතින අතර ඒ සියල්ල මේ වනවිට ක්‍රියාකාරීව පවතී. සේවක පිරිස් සාමාන්‍ය සමාජය සමග මුහු වීම වැළැක්වීම සඳහා ඔවුන් ක්‍රියා මාර්ග බොහෝමයක් ගෙන තිබේ. සේවකයන් ආහාරපාන සකස්කර ගැනීම අදාල පාරිභෝගික සේවා මධ්‍යස්ථානය තුළදීම සිදු කරන අතර රජයේ දැනුම් දීම් සහ උපදෙස් අනුව ක්‍රියාත්මක වෙමින් ආයතනික සේවකයන් පිටතට යාමෙන් රෝගයට ගොදුරු වීමට ඇති අවදානම අඩු කිරීම සහ බාහිර පරිසරය තුළ මහජනතාව ගේ තදබද වීම් අවම කිරීම සඳහා සේවක නිවෙස් සඳහා අවශ්‍ය කරන ආහාරපාන වියළි ආහාර ද්‍රව්‍ය සැපයීම ආයතනයක ක්‍රියාවලියක් ලෙස දිගින් දිගටම සිදු කරන්නට ලංකා විදුලි පෞද්ගලික සමාගම පියවර ගෙන තිබේ.

රට තුළ විදුලි පරිභෝජනය පිළිබඳ ගැටලුවක් ඇති නොවන්නට විදුලිබල මණ්ඩලය සමඟ එකට අත්වැල් බැඳ ගනිමින් මේ ක්‍රියාපටිපාටිය දිගින් දිගටම ගෙන යන්නට ලංකා විදුලි පෞද්ගලික සමාගම කැපවී සිටින අතර පසු ගිය කාලයට වඩා විදුලි බිඳ වැටීම් ආදිය අඩු වී ඇති ආකාරයක් දක්නට ලැබෙන බව ඔවුන් ප්‍රකාශ කරයි . පවතින ඇදිරිනීතිය තත්ත්වය යටතේ ජනතාව නිවෙස්වලට වී සිටීම හේතුවෙන් හදිසි බිඳවැටීමක් වැනි අවස්ථාවක අදාළ ස්ථානයට ළඟාවීම වෙනදාට වඩා කාර්යක්ෂමව සිදු කරන්නට හැකි අතර ඉතා ඉක්මනින් බිඳ වැටීම් යථා තත්ත්වයට පත් කරන්නට මේ වෙනවිට හැකියාව ලැබී තිබේ.

පාරිභෝගිකයන් සමග සෘජුවම සම්බන්ධ වී වැඩ කරන්නට සිදුවන නිසා නව විදුලි සැපයුම් ලබා දීම මේ වන විට සම්පූර්ණයෙන්ම පාහේ නවත්වා ඇත. නඩත්තු කටයුතු සිදු කිරීම දිගින් දිගටම නවත්වා තබන්නට නොහැකි වන්නේ ඒ තුළින් විදුලි පද්ධතියට යම් යම් බාධක ඇතිවන්නට ඉඩ තිබෙන නිසා ය. විදුලි රැහැන් ගමන් කරන මාර්ගවල ශාකවල අතු වර්ධනය වීම ආදී දේවල් නිසා ඇතිවන බාධා අවම කරන්නට අත්‍යාවශ්‍යම ස්ථානවල ඒවා ඉවත් කිරීම වැනි කටයුතු ඉදිරි සතියේ දී සිදු කරන්නට බලාපොරොත්තුවෙන් සිටින අතර විදුලි බිල් අයකිරීම මඳක් පමා කරමින් එළැඹෙන මාසයේදී හැකි පුද්ගලයින්ට පමණක් විදුලි බිල් ගෙවන ලෙස දැනුම් දෙන සූදානමක් පවතී.

පවතින වතාවරණය යටතේ විදුලි බිල ගෙවන්නට නොහැකිවීම හේතුවෙන් විදුලිය විසන්ධි කිරීමද සිදු නොවේ.

විදුලි සේවකයින් සාමාන්‍ය සමාජයේ පුරවැසියන් සමඟ මුසුවීම සම්පූර්ණයෙන්ම පාහේ නවතා දැමීම සඳහා යම්කිසි බිඳවැටීමක් වාර්තා කළ අවස්ථාවකදී එම වාර්තා කළ පුද්ගලයාගෙන් අත්සනක් ලබා ගැනීමට තිබූ ක්‍රමවේදය වෙනස් කරමින් අදාළ බිඳවැටීම පිළිසකර කර ඒ පිළිබඳව සටහන් තබා අත්සන් කර ගැනීමද සේවකයන් වෙතම පවරා තිබේ.

ජනතාවට අත්‍යවශ්‍යම දෙයක් බවට පත් වී ඇති විදුලිය පවතින අර්බුදකාරී තත්වය හමුවේ වුවද කිසිදු ගැටලුවකින් තොරව පරිභෝජනය කිරීම සඳහා අවස්ථාව සලසා දෙන්නට අවශ්‍ය සියල්ල සිදු කරන්නටත්, පාරිභෝගිකයන් සමග සමීපව කටයුතු කිරීමකින් තොරව ආරක්ෂිතව එම කටයුතු සිදු කරන්නටත් ලංකා විදුලි පෞද්ගලික සමාගම ඇතුළු සමස්ත විදුලිබල මණ්ඩලයම වගකීමකින් යුතුව ක්‍රියාත්මක වේ.

දිල්රූ ජයසේකර

 

නව අදහස දක්වන්න