මෙරට නිපද වූ කෘතිම ස්වසන ආධාරකවලට අගමැතිගේ ප්‍රසාදය | දිනමිණ

මෙරට නිපද වූ කෘතිම ස්වසන ආධාරකවලට අගමැතිගේ ප්‍රසාදය

චමීර ඇල්ලදෙණිය

උපකරණ 200ක් වහාම නිපදවන්නැයි කියයි

දේශීය නිර්මාණකරුවන් තිදෙනකු විසින් නිපදවන ලද කෘතිම ස්වසන ආධාරකයක් (Ventilation Machine) නිපැයුම්කරුවන් විසින් අග්‍රාමාත්‍ය නිල නිවසේ දී ප්‍රථම වරට ඊයේ (01) අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත හඳුන්වා දුන්හ.

මේ නව නිපැයුම පිළිබඳ සතුටට පත් අගමැතිවරයා මේ උපකරණ 200 කට ආසන්න ප්‍රමාණයක් හැකි ඉක්මණින් නිපදවා රජයේ රෝහල්වලට ලබා දීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමට තීරණය කළේය.

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ අධ්‍යක්ෂවරුන් වන තුෂාන් ගුණවර්ධන, විරාජ් පෙරේරා සහ මොරටුව විශ්වවිද්‍යාලයේ ඉලෙක්ට්‍රොනික විද්‍යාව පිළිබඳ උපාධිය ලැබූ ඉලෙක්ට්‍රොනික ඉන්ජිනේරුවරයකු වන චාමික ගමගේ මහත්වරුන් විසින් මේ කෘතිම ස්වසන ආධාරයක නිර්මාණය කර තිබේ.

කිසිදු පාර්ශ්වයක අනුග්‍රහයකින් තොරව සිය පෞද්ගලික මුදලින් මේ තරුණයන් තිදෙනා එක්ව නිර්මාණය කර ඇති මේ උපකරණ ඒකකයන් නිර්මාණය කිරීම සඳහා වැය වන මුදල රුපියල් 15000 – 18000 ත් අතර වේ.

මේ තරුණ කණ්ඩායමට දිනක දී මෙවැනි ඒකක 10- 15 ත් අතර ප්‍රමාණයක් නිර්මාණය කිරීමට හැකි අතර, මීට අමතරව පුද්ගලයන් දස දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එක් වුවහොත් දිනක දී කෘතිම ස්වසන ආධාර ඒකක 100කට ආසන්න ප්‍රමාණයක් වුව ද නිර්මාණය කිරීමේ හැකියාවක් පවතී.

තුර්කියේ නිෂ්පාදිත කෘතිම ස්වසන ආධාරකයක් මුල් ආකෘතිය ලෙස ගනිමින් නිර්මාණය කළ මේ නව කෘතිම ස්වසන ආධාරකය භාවිතය හා නඩත්තුව ඉතාමත් සරලව සිදු කළ හැකිය.

වැඩිහිටියකුට හෝ දරුවකුට වුව ද ඉතාමත් සරලව මෙය භාවිත කළ හැකි අතර ගිලන් රථයක හෝ මෝටර් රථයක් තුළ සිට වුව ද භාවිතය පහසු වේ. භාවිතයේ දී ක්ෂය වී යන කිසිදු කොටසක් නොමැති මේ උපකරණය වොට් 12ක කුඩා බැටරි කැබලි දෙකක් භාවිතයෙන් පැය 7ක් පමණ පාවිච්චි කළ හැකිය. සුළු නඩත්තු කටයුතු නිවසේ දී ම වුව ද සිදු කර ගත හැකි මේ උපකරණය භාවිත කරන්නාගේ පහසුව පිළිබඳ වඩාත් සැළකිලිමත් වෙමින් නිර්මාණය කර ඇත. මුල් ආකෘති නිර්මාණය කිරීමේ දී වෛද්‍ය පාදෙණිය මහතා ද උපකරණමය වශයෙන් සහයෝගය ලබා දී තිබේ.

නව අදහස දක්වන්න