අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියෙන් කොරෝනා හඳුනාගන්නා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් | දිනමිණ


 

අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියෙන් කොරෝනා හඳුනාගන්නා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක්

සන්ධ්‍යා කරුණාරත්න

කොවිඩ් - 19 වෛරස ආසාදිතයන් හඳුනා ගැනීමට රුපියල් මිලියන 23 ක වටිනාකමින් යුක්ත PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දීම ඊයේ (01) සිදුකෙරිණ.

විදුලිබල අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයක් වන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ ඉල්ලීම පරිදි අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය විසින් මෙම නව උපකරණ ලබාදුන් අතර මෙම උපකරණ පද්ධතියට අදාළ සියලුම උපාංග ද ලබාදී ඇත.

විදුලිබල හා බලශක්ති ඇමැති මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත මෙම පරීක්ෂණ යන්ත්‍ර බාරදීම සිදු කෙරිණ.

රුපියල් මිලියන 23 ක් වටිනා නව PCR පරීක්ෂණ යන්ත්‍ර දෙක පරීක්ෂණ සේවා අවශ්‍යතාවය සැළකිල්ලට ගෙන අදාළ රෝහල් වෙත ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇත.

කොරෝනා ආසාදිත රෝගීන් හඳුනා ගැනීමේ කටයුතු කඩිනම් කිරීම මෙම පරිත්‍යාගයේ අරමුණ බව ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

කොවිඩ්-19 වෛරසයට අදාළව ප්‍රතිකාර සේවාවන් ශක්තිමත් කිරීමේ අදිටනින් අන්තර්ජාතික පරමාණුක බලශක්ති ඒජන්සිය කළ මෙම පරිත්‍යාගයට සිය ස්තූතිය පුද කරන බවත් මෙම උපකරණ කඩිනමින් ස්ථාපිත කර පරීක්ෂණ කටයුතු ආරම්භකරන බවත් සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවැසුවාය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් භද්‍රානි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, විදුලිබල අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා මහත්ම මහත්මීන් ද ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලයේ සභාපතිවරයා ද සහභාගි වූහ.

 

නව අදහස දක්වන්න