ජනතාවගේ හිසේ බර අඩු කළ රාජ්‍ය නායකත්වයේ විචක්ෂණ භාවය | දිනමිණ


 

ජනතාවගේ හිසේ බර අඩු කළ රාජ්‍ය නායකත්වයේ විචක්ෂණ භාවය

ආචාර්ය චන්දිමා ගයාත්‍රි විජේසුන්දර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
සමාජ විද්‍යා අධ්‍යනාංශය
රුහුණු විශ්වවිද්‍යාලය

කොවිඩ් - 19 නැතහොත් නව කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යෑමෙන් උද්ගත ව ඇත්තේ ගෝලීය අවදානම් තත්ත්වයකි. ඒ යටතේ රටක් ලෙස අප මුහුණ පා සිටින ජාතික ආපදාව ජනජීවිතය නොසිතූ පරිදි තරමක දුෂ්කර සහ ව්‍යාකූල භාවයකට ඇද දැමීමට සමත් ව ඇති බව පැහැදිලි ව පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් මෙවැනි ආපදා තත්ත්වයක් යටතේ ලොව සංවර්ධිත රටක වුව ද බලාපොරොත්තු විය නොහැකි අන්දමේ සහන රැසක් මෙරට  ජනපති ප්‍රමුඛ රජයෙන් රටවැසියාට ලබාදී තිබීම පක්ෂ විපක්ෂ භේදයකින් තොර ව සියලු ජාතිමාමකයින් ගේ ප්‍රශංසාවට ලක්විය යුතු ය.

කොරෝනා වෛරසය කිසිඳු භේදයක් නොසලක යි. පෙනෙන්නට ඇත්තේ උස් පහත්, උගත් නූගත්, ග්‍රාමීය නාගරික, ස්ත්‍රී පුරුෂ, දුප්පත් පොහොසත්, සංවර්ධිත අසංවර්ධිත යන සියලු භේදයන් අබිබවමින් මෙම රෝගය සමාජය පුරා එක ම ආකාරයකට පැතිර යන බවකි. සමාජය එවන් අවදානමක පවතින අවස්ථාවක රජය විසින් යම් සුබ සාධන වැඩපිළිවෙළකට අනුගත ව, සහන ලබාදිය යුතු පුද්ගල කණ්ඩායම් නිවැරැදි ව හඳුනා ගනිමින් නන් අයුරින් සහන ලබාදීම ජනජීවිතයේ රඳා පැවැත්මට රුකුලක් ව ඇති බව විශේෂයෙන් සඳහන් කළ යුතු ය. මන්ද පුද්ගලයා මානසික ව කඩා වැටී සිටින මෙවන් අවස්ථාවක ඔහුගේ ආර්ථිකයට ලබාදෙන සහනය ඔහුට යළි නැඟී සිටීමට පසුබිම සකසන බැවිනි. අමෙරිකාව වැනි රටවල් ද මෙවැනි අවස්ථාවල මහජනතාවට සහන ලබාදෙන බව සැබෑවකි.

එහෙත් ඔවුන් එලෙස සිදු කරනුයේ සංවර්ධිත රටක් ලෙස ඔවුන් සතු ව පවතින අධිසංචිත භාවිතයට ගනිමිනි. ශ්‍රී ලංකාව සංවර්ධනය වෙමින් පවතින රටක් බව අපි දනිමු. බොහෝවිට විදෙස් ණය සහ ආධාර මත ක්‍රියාත්මක වන අප වැනි රටක් ණය ගනුදෙනු පිළිබඳ ගැටලු සහ රටේ සංවර්ධන ව්‍යාපෘති මොහොතකට දෙවැනි කොට සලකමින් අවස්ථාවෝචිත ව කළ යුතු හොඳ ම දේ නිවැරදි ව හඳුනාගනිමින්, ජනතාවගේ සුබසාධනය සහ ආර්ථික අපහසුතා සලකමින් ලබා දෙන ඇතැම් සහන මේ අවස්ථාවේදී රජයට විරුද්ධ බලවේගවල සහ යම් යම් අන්තවාදී මතධාරීන්ගේ විවේචනයට ලක් වන්නේ ඔවුන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර මුල් කරගනිමිනි. සිවිල් සමාජය නියෝජනය කරන වගකීම්සහගත පුරවැසියන් ලෙස අප මේ මොහොතේ කළ යුත්තේ කොරෝනා මර්දන ක්‍රියා පිළිවෙත වෙනුවෙන් රජයට, සෞඛ්‍ය අංශවල සහ ආරක්ෂක අංශවල නිලධාරීන්ට නිවැරදි ව සහයෝගය ලබාදීම ය. රට ගොඩගැනීම වෙනුවෙන් දියත් වන සැබෑ මානුෂීය මෙහෙයුමකට වචනයෙන් හෝ අකුල් හෙළීම දුර්ජන ක්‍රියාවකි.

මෙරට ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ සපයන ඇතැම් ව්‍යාපාරික ආයතන මෙම අසීරු අවස්ථාවේ ද බොරදියේ මාළු බාමින් සිටින විට පාරිභෝගික අධිකාරි මඟින් එම ව්‍යාපාරික ස්ථාන වැටලීම තුළ ද පෙනෙන්නට ඇත්තේ රාජ්‍ය යාන්ත්‍රණය ඉතා හොඳින් ක්‍රියාත්මක වන බව ය. නොදන්න කොරෝනාවට වැඩියෙන් මේ රටේ ඇතැම් දුප්පතුන් බිය වන්නේ හොඳින් දන්නකියන බඩගින්නට ය. වැසි සමයට පෙර කෑම එක්රැස් කරන කූඹින් මෙන් පසුගිය දිනවල ඇඳිරි නීතියට පෙර අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය එක්රැස් කිරීමේ හරඹයට ඔවුන් පුළුපුළුවන් අයුරින් එක් ව සිටියේ එබැවිනි.

මෙවැනි දුෂ්කර අවස්ථාවක බිත්තරයක් රුපියල් 10කට, සැමන් ටින් එකක් රුපියල් 100කට, පරිප්පු කිලෝවක් රුපියල් 65කට ලබා දෙන්නේ ජනතාවගේ කුසගින්න නිවීම සඳහා රජයට ඇති අවංක වුවමනාව හේතුවෙන් ම ය. මෙහිදී වඩා වැදගත් වන්නේ පාලකයා ජනතාවගේ පැත්තේ සිට සිතීමට පෙළඹීම ය. එය සැබවින් ම රාජ්‍ය තන්ත්‍රයේ සුජාත භාවය පෙන්නුම් කෙරෙන සාධකයක් ම ය.

සිවිල් සමාජය නිරන්තරයෙන් ඉල්ලා සිටිනුයේ රජයේ සුජාතභාවය යි. යුක්තියුක්ත භාවය යි. මෙවැනි දුෂ්කර අවස්ථාවක මහජනයා වෙනුවෙන් කාලෝචිත ව ඉටුකරන්නාවූ සහන ලබාදීමේ ක්‍රියාදාමය තුළ ජනතාවගෙන් ගිලිහෙමින් පැවති විශ්වසනීයත්වය, සුජාතභාවය හා යුක්තියුක්ත භාවය නැවත රජය විසින් ක්‍රමක්‍රමයෙන් ග්‍රහණය කරගන්නා බවක් පෙනෙන්නට තිබේ.

මෙම වසංගත තත්ත්වයේ භයානකත්වය හා පැතිර යෑමේ අවදානම පිළිබඳ ව ජනතාව කෙතරම් දැනුවත් කළ ද ඔවුනොවුන්ගේ අන්තර් ක්‍රියා, අනවශ්‍ය ලෙස එක්රැස්වීම් මෙන් ම රෝගය පැතිර යෑමට ඉඩ සැලසෙන සේ හැසිරීම පාලනය කිරීමට ඇඳිරි නීතිය පැනවීමට ම සිදු විය. අත්‍යවශ්‍ය සේවාවල නියුක්තිකයින් පමණක් රාජකාරියට වාර්තා කරන අතර රජයේ සහ පෞද්ගලික අංශවල සේවය කරන සෙසු පිරිසට නිවසේ සිට රාජකාරී කිරීමට ඉඩ සැලසූවේ ද රෝගයේ පැතිරීම අවම කිරීම වෙනුවෙනි. ඉන් අනතුරු ව ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ ගැටලුවක් පැනනැඟුණු බව පැහැදිලි ය.

අද පවතින වාණිජවාදී සහ අධිපරිභෝජනවාදී සමාජය තුළ පුද්ගලයින්ගේ අවශ්‍යතා ඉතා ඉහළ ය. එවන් ප්‍රජාවක් අවශ්‍ය දේටත් වැඩියෙන් අනවශ්‍ය දේ මිලදී ගැනීමට නිරන්තරයෙන් නිවසින් බැහැර වේ. කෙසේ වෙතත් ඇතැම් දිස්ත්‍රික්ක අවදානම් කලාප ලෙස හඳුනාගත් පසු රජය ඉතාස්ථානෝචිතව ක්‍රියා මාර්ගයකට එළැඹිණි. එනම් ඇඳිරී නීතිය ක්‍රියාත්මක වන සේ ම ක්‍රියාත්මක නොවන අවස්ථාවල ද ජනතාව හැකිතාක් දුරට නිවෙස්වලට ම වී සිටීමේ වැදගත්කම හඳුනාගනිමින් බේකරි නිෂ්පාදන, මාළු, ඖෂධ, එළවළු ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පාරිභෝගිකයින්ගේ නිවෙස් වෙත ගොස් අලෙවි කිරීමට වෙළෙඳ ආයතනවලට ඉඩ සැලසීම ය. මෙම ක්‍රියාමාර්ගය තුළ ජනතාව කොරෝනා වෛරසයෙන් බොහෝදුරට සුරක්ෂිත වන සේ ම ආහාර හිඟයක් පිළිබඳ ඔවුන් තුළ ඇති කරගත් අනියත බිය ද තුරන් වේ.

දින දෙකතුනක් පැවැති ඇඳිරි නීතිය ඉවත් කළ අවස්ථාවක ජනයා ඉතා අනාරක්ෂිත ව, රෝගයෙන් වැළකී සිටීමට සෞඛ්‍ය අංශ කියාදුන් ආරක්ෂිත පියවර ද අනුගමනය නොකරමින්, හිතුමතේ එක පොදියට පොරකමින් ආහාර ද්‍රව්‍ය මිලදී ගනු දැකීමෙන් රජය නොපමා ව මෙම තීරණයට එළැඹ ඇත. මෙය රෝගය පැතිර යෑම වැලැක්වීම වෙනුවෙන් ගත් ඉතාමත් ප්‍රශස්ත තීරණයකි. මෙවැනි ක්‍රියාමාර්ග තුළින් ඉස්මතු වනුයේ රාජ්‍ය පාලකයාගේ බුද්ධිමත් භාවය සහ විචක්ෂණශීලී භාවය නොවේ නම් අන් කවරක් ද?

ඊට අමතර ව කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවට පත් ව සිටින ජනතාවට සහන රැසක් ප්‍රදානය කිරීමට ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගත් තීරණය අනුව විශේෂ සහන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ මාර්තු 23 වැනි දා සිට ය.

ඒ අනුව ආදායම් හා වැට් බදු, රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ ගාස්තු, රු. 15000ට අඩු ජල, විදුලි බිල්පත්, වරිපනම් බදු, බැංකු චෙක්පත් වලංගු කාල සීමා, රුපියල් 50 000 අඩු මාසික ණයපත් (Credit Card) ගෙවීම් 2020 අප්‍රේල් මස 20 වන දින දක්වා දීර්ඝ කර ඇති අතර ත්‍රීරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අයකර ගැනීම ද මාස හයකට අත්හිටුවා තිබේ. එසේ ම රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අය කිරීම 2020 මැයි 30 වන දින දක්වා අත්හිටුවා තිබේ.

බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබා දී ඇති රුපියල් ලක්ෂ 10ට අඩු පෞද්ගලික ණය අයකර ගැනීම මාස තුනකට අත්හිටුවීමට ද රැකියා සඳහා තෝරාගත් උපාධිධාරීන්ගේ මාර්තු මස අභ්‍යාසලාභී දීමනාව වන රුපියල් 20 000 ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කිරීමට ද රජය කටයුතු කිරීම විශේෂත්වයකි. කොරෝනා වෛරසය මැඬලීමේ නිරත ව සිටින සෞඛ්‍ය, පොලිස්, සිවිල් ආරක්ෂක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ ද දෙගුණයකින් වැඩි කෙරේ.

එසේ ම සංචාරක, ඇඟලුම්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා මාස 06ක ණය සහන කාලයක් ක්‍රියාත්මක කිරීමටත් මාසික ණය මුදල රුපියල් 50,000 දක්වා වන දේශීය ගනුදෙනු සඳහා භාවිත ණයපත් (Credit Card) සඳහා ණය පොලී අනුපාතය 15%ක උපරිමයකට යටත් කිරීමටත් අවම මාසික අයකිරීම 50% කින් අඩු කිරීමටත් මෙම සහන වැඩපිළි‍වෙල යටතේ රජය ක්‍රියාත්මක වී ඇත.

ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, සේවක අර්ථසාධක අරමුදල, සේවක භාරකාර අරමුදල ඒකාබද්ධ ව භාණ්ඩාගාර බැඳුම්කර හා බිල්පත්වල මුදල් ආයෝජනය කිරීමේදී එමඟින් මුදල් වෙළෙඳ පොළ 7% ක පොලී අනුපාත යටතේ ස්ථාවර කෙරේ. ඇඳිරිනීතිය ක්‍රියාත්මක නොවන අවස්ථාවල සියලු ම බැංකු ශාඛා ගනුදෙනුකරුවන්ට උපරිම සේවාවක් සැලසෙන පරිදි විවෘත ව තැබේ. ශ්‍රී ලංකා වරාය, රේගුව හා සෙසු නියාමන ආයතන අත්‍යවශ්‍ය ආහාර, පොහොර, ඖෂධ හා ඉන්ධන අඛණ්ඩ ව අදාළ පුද්ගලයින්ට නිකුත් කළ යුතු බවට රජය දන්වා ඇත.

සමෘද්ධිලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන් සඳහා රුපියල් දහදාහක පොලී රහිත අත්තිකාරම් මුදලක් සියලු ම සමෘද්ධි බැංකු සංගම් මඟින් ලබාදීමටත් ලංකා සතොස හා සමූපකාර වෙළඳ සල් ආදායම් මත බදු (වැට්) හා වෙනත් ප්‍රාදේශීය බදු හා ගාස්තුවලින් නිදහස් කිරීමටත් රජය ක්‍රියා කරන අතර අඩු ආදායම් ලාභීන් සඳහා පෝෂණ ආහාර ද්‍රව්‍ය නිකුත් කිරීම වෙනුවෙන් සමෘද්ධි අධිකාරිය, සමෘද්ධි හා අඩු ආදායම්ලාභී පවුල් සඳහා හිමිකම් සහතික පත් වහා ම නිකුත් කිරීමටත් එම පවුල්වලට, වැඩිහිටියන්ට හා අඩු ආදායම්ලාභීන්ට සහල්, පරිප්පු, ලූණු ආහාර හිමිකම් සහතිකපත් (Food Card) මගින් සතිපතා ලබාදීමටත් කටයුතු යොදා ඇත.

කොවිඩ් - 19 වෛරසය පැතිරයාම වැළැක්වීමට හා අදාළ සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ කටයුතුවලට සහන සැලසීමට ජනාධිපති අරමුදලේ විශේෂ ගිණුමක් ලංකා බැංකුවේ විවෘත කර ඇති අතර ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 100ක් තැන්පත් කර තිබේ. එසේ ම සියලු දේශීය හා විදේශීය පරිත්‍යාගශීලින්ට ඊට දායක වීම සඳහා බදු හා විදේශ විනිමය පාලන සීමා ඉවත් කර ඇත. එතෙකින් නොනැවතුණු ශ්‍රී ලංකා රජය සාක් රටවල කොරෝනා අරමුදලට ඇමෙරිකන් ඩොලර් මිලියන පහක් වෙන්කිරීමට ද කටයුතු යොදා ඇති බව සිහිපත් කළ යුතු ය. කෙසේ වෙතත් මේ සියලු තීරණ ඉතා වේගවත් ව ක්‍රියාත්මක වීම තුළ අපට තහවුරු කරගත හැකි වනුයේ පවතින රජයේ නිවැරදි පරිපාලනය, තීරණ ගැනීමේ හැකියාව, කාර්යක්ෂමතාව සහ සැලසුම් සහගත බව ය.

එසේ ම දිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයක ම ඇඳිරි නීතිය පවතින නමුත් දුරකථන පහසුකම්, ජලය, විදුලිය පවත්නා අවදානම් තත්ත්වය යටතේ වුව පෙර පරිදි ම ලබාදීමට රජය කටයුතු කරයි. ආරක්ෂිත ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ආහාර ද්‍රව්‍ය ප්‍රවාහනයටත්, වැවිලි කර්මාන්තවල නියැලීමටත් අදාළ පාර්ශ්වයන්ට ඉඩ ලබාදී තිබේ. එසේ ම විශ්වවිද්‍යාල සහ පාසල්වල අධ්‍යාපන කටයුතු ද අන්තර්ජාල පහසුකම් යටතේ බොහෝ දුරට ක්‍රියාත්මක ය. රටක් ලෙස අප නැවතී නැත. රජය, සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ සිවිල් පුරවැසියන් කොරෝනා හා සටන් කරමින් ම රට වෙනුවෙන්, රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් වැඩ කරමින් සිටී. එය සැබැවින් ම සතුටට කරුණකි.

මන්ද කුමන තත්ත්වයක් යටතේ වුවද මේ සියල්ල නැවතීමකට ලක්වුවහොත් රටේ ආර්ථිකය කඩා වැටී ජනජීවිතය ද පතුලට ම ඇද වැටෙනු නොඅනුමාන ය. ඇතැම් පිරිස් හරිහැටි කරුණු අවබෝධ කර නොගෙන lock down කරන ලෙස සමාජ ජාල ඔස්සේ ඉල්ලීම් කළ ද එවැන්නක් සිදු කළහොත් මේ සියල්ල මෙසේ ක්‍රියාත්මක කළ නොහැකි වනු ඇත. එබැවින් lock down කිරීම වෙනුවට අවශ්‍ය ප්‍රදේශවලට ඇඳිරි නීතිය පනවමින්, ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව ද සැලකිලිමත් වෙමින්, සියලු අත්‍යවශ්‍ය සේවා ද සපයමින්, රට සුරක්ෂිත කිරීමට කටයුතු යෙදීම පවත්නා රාජ්‍ය පාලනයේ ශූරත්වය යි.

කොරෝනා උවදුර අසවල් දිනයේදී දුරින්දුරු වෙතැයි කිසිඳු රටකට අනාවැකි කිව නොහැක. එසේ වුව ද මෙරට රජය ගෙන යන සැලසුම් සහගත ක්‍රමවේදය තුළ ඉතා ඉක්මනින් අස්වැසිල්ලක් ලැබිය හැකි වෙතැයි අපි අපේක්ෂා කරමු.

සටහන - කාංචනා සිරිවර්ධන

නව අදහස දක්වන්න