ක්‍රීඩා - තරුණ සේවා සේවක සේවිකාවන් 1800ක් කොරෝනා මර්දන අරමුදලට දිනක වැටුප පිරිනමයි | දිනමිණ


 

ක්‍රීඩා - තරුණ සේවා සේවක සේවිකාවන් 1800ක් කොරෝනා මර්දන අරමුදලට දිනක වැටුප පිරිනමයි

ප්‍රින්ස් ගුණසේකර

රජය මඟින් ආරම්භ කළ කොරෝනා වෛරසය මර්දනය සඳහා පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ක්‍රීඩා අමාත්‍යාංශයේ හා ජාතික තරුණ සේවා සභාවේ සේවක සේවිකාවන් 1800ක් පමණ පිරිස තම දිනක වැටුප පිරිනමයි. ක්‍රීඩා ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගේ යෝජනාවක් පරිදි අමාත්‍ය කාර්ය මණ්ඩලය ඇතුලු සියලු දෙනා මෙම පරිත්‍යාග සදහා කැමැත්තෙන්ම එක්ව සිටින බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා පැවැසීය. මෙම මුදල් පරිත්‍යාග ඉතාම ඉක්මණින් කොරෝනා වෛරසය මර්දනය සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට ලබාදීමට කටයුතු කරන බවද ඒ මහතා පැවැසීය.

ක්‍රීඩා අමාතයාංශය අනුගමණය කරමින් ක්‍රීඩා සංගම් ද කොරෝනා වෛරසය මර්දනය සඳහා සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට යම් මූල්‍ය පරිත්‍යාගයක් සිදුකරනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද ඒ මහතා පැවැසීය. මෙම උවදුරෙන් ඉක්මණින් ගැලවීමට අවශ්‍ය සහය රජයට ලබාදිය යුතු බවත්, එසේ නොවුණහොත් ක්‍රීඩා ඇතුලු අනෙකුත් සියලු කටයුතු ඉදිරියට පවත්වාගෙන යෑමේ ප්‍රශ්න මතුවන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය. එබැවින් සියලු දෙනා තමන්ට කළ හැකි උපරිම සහයෝගය රජයට ලබාදීම මෙම අවස්ථාවේ ප්‍රමුඛ කාර්යයක් බවද රුවන්චන්ද්‍ර මහතා පැවැසීය.

දැනට සියලුම ක්‍රීඩා කටයුතු තාවකාලිකව නැවැතී ඇතත් මෙම පීඩාකාරී තත්ත්වය නිමා වූ වහාම යළිත් ක්‍රීඩක ක්‍රීඩිකාවෙන්ගේ සංචිත ආරම්භ කිරීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානමින් සිටී. එම සංචිත සදහා මූල්‍ය ප්‍රතිපාදන වෙන්කොට තිබූ හෙයින් සංචිත පවත්වාගෙන යෑමේ ගැටලුවක් පැන නොනගින බව ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම්වරයා සදහන් කලේය.

ජාතික අර්බුදයක් බවට පත්ව ඇති ඇති කොරෝනා වසංගතය තුරන් කිරීමට ශ්‍රී ලංකා රජය ගන්නා උත්සහායට සහාය පළකිරීම උදෙසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය රුපියල් මිලියන 25 ක මුදලක් රජයට ලබා දීමට මෙයට පෙර තීරණය කළ අතර එම මුදල මේවන විටත් ලබාදී ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් අරමුදලින් මෙම ප්‍රදානය කිරීමට විධායක සභාවේ පූර්ණ සහය පළවී තිබුණි. ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ඇතුලු ක්‍රිකට් ක්‍රීඩකයෝ රෝහල්වලට අවශ්‍ය සෞඛ්‍ය ආම්පන්න පරිත්‍යාගයක් ද කර තිබිණි. එමෙන්ම 96 ලෝක කුසලානය දිනාගත් කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් හා හිටපු ප්‍රවීණ ක්‍රීඩකයෝ එක්ව කොරෝනා හේතුවෙන් ප්‍රශ්න ඇතිවී තිබෙන ජනතාව වෙත සහන සැලසීමට කටයුතු කළහ.

කොරෝනා වෛරසය මර්දනය සඳහා පිහිටුවා ඇති සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල සදහා විවිධ දානපතියන්ට මුදල් තැන්පත්කළ හැකි පරිදි ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ ගිණුමක් ආරම්භ කර ඇත.

නව අදහස දක්වන්න