අම්බලන්ගොඩ හිමිනමක් කොරෝනාවලින් බේරෙන්න ඇඳුමක් හදලා | දිනමිණ


 

අම්බලන්ගොඩ හිමිනමක් කොරෝනාවලින් බේරෙන්න ඇඳුමක් හදලා

කොරෝනා වෛරසය ආසාදනය නොවී සිටිය හැකි ඉතාමත්ම පැරණි දේශීය ආයුර්වේද බෙහෙත්වලින් සෑදූ නව ඇඳුමක් අම්බලන්ගොඩ තිලකපුර ශ්‍රී භද්දිය ආශ්‍රමාධිපති දේශීය වෛද්‍ය ලෙල්ලෝපිටියේ භද්දිය හිමියන් විසින් නිර්මාණය කර ඇත.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ භද්දිය හිමියෝ මෙසේද පැවසූහ.

“කොරෝනා රෝගයට ප්‍රතිශක්තිය වර්ධනය කළ හැකි බෙහෙත් කියලා දැන් හොයාගෙන තියෙන හෙළ ඔසු වුණු කොත්තමල්ලි, වෙනිවැල්ගැට, ඉඟුරු දිහා කවුරුත් බැලුවෙවත් නැහැ. නමුත් දැන් මේ වසංගතය පැතිරුණාට පස්සේ කොත්තමල්ලි, ඉඟුරු, වෙනිවැල්ගැටවල වටිනා ඖෂධ ගුණය මිනිස්සු තේරුම් අරන්. ඒ අනුව මේ ඕනෑම රෝගයක් සුවකරන්න අපේ හෙළ වෙදකමට පුළුවන්.“

“මම මේ කොරෝනා රෝග ආසාදනය වීම වැළැක්වීමට හැකි ඇඳුම නිර්මාණය කිරීමට මෙරට ඖෂධීය ශාකවල පොතු හා කොළ වර්ග හැත්තැපහක් විතර ප්‍රයෝජනයට ගත්තා. ඒවා අරගෙන ඖෂධීය තෙලක් හැදුවා. ඒ තෙලේ සුදු අමු රෙද්දක් පොඟවලා අරගෙන තමයි මේ ඇඳුම හැදුවේ. මේ රෙද්දේ පොඟවලා තියෙන තෙලට කොරෝනා වෛරසය එන්නේ නැහැ.“

“කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්ට, හෙදහෙදියන් අතුළු කාර්ය මණ්ඩලයට, කොරෝනා රෝගීන් සොය සොයා යන මහජන සෞඛ්‍ය පරීක්ෂක මහත්වරුන්ට ඒ රෝගය ආසාදනය නොවීමේ හැකියාවක් මේ ඇඳුම ඇඟලාගෙන සිටීමෙන් තියෙනවා. මේ ගැන පරීක්ෂණ පවත්වලා එය හරිනම් මට පුළුවන් ඒ සඳහා අවශ්‍ය රෙදි සපයලා දෙනවානම් මේ ඇඳුම අවශ්‍ය කරන අයට නොමිලේ මහලා දෙන්න. මම ඒක කරන්නේ රටට අපෙන් විය යුතු සේවයක් යයි හිතලා.“

ඒ සඳහා අවශ්‍ය කෙනකු හෝ ආයතනයක් වේ නම් තමාගේ දුරකථන අංකය වන 077-5831491 අමතා වැඩි විස්තර ලබාගත හැකි බව භද්දිය හිමියෝ පැවසූහ.

කරන්දෙණිය සමූහ අනුරාධ ප්‍රියදර්ශන

නව අදහස දක්වන්න