ආපදා‍දවේදී අතදෙන සමාජ මාධ්‍ය සත්කාර | දිනමිණ


 

ආපදා‍දවේදී අතදෙන සමාජ මාධ්‍ය සත්කාර

සමාජ මාධ්‍යයට යක් මුහුණක් පලන්දා හැකිතරම් ඉන් ඈත්වී සිටීම යෙහෙකැයි කී කාලයක් තිබුණි. ඒ සමානවම අන්තර්ජාලය ද යකකු සේ හුවා දක්වමින් කාලයකට පෙරාතුව භය භීතවී සිටියා මතකය. රූපවාහිනිය හඳුන්වාදුන් කාලයේද මේ යක් මුහුණ ඊට පලඳවා තිබුණි. එහෙත් කාලයාගේ ඇවෑමෙන් මේ සියලු නවමු දෑ යකුන් නොව ප්‍රයෝජනවත් මෙවලම් බව පොදු සමාජයට වැටහුණි.

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරීමත් සමඟ සමාජ මාධ්‍ය වෙත කාගෙත් අවධානය යොමුව ඇත. ප්‍රධාන ධාරාවේ ජාතික පුවත්පත් මුද්‍රණය කරගත නොහැකි, ඊපුවත්පත් පමණක් අන්තර්ජාලයට මුදා හරින කාලයක සමාජ මාධ්‍ය වෙත බොහෝ දෙනෙකුට හැරෙන්නට සිදුව ඇති සැටියකි. අතිශය වැදගත් තොරතුරු සේම ව්‍යාජ පුවත් බෙදා හැරීම වෙනුවෙන්ද සමාජ මාධ්‍ය ප්‍රකටය. ව්‍යාජ පුවත් බෙදාහැරීම වෙනුවෙන් කුප්‍රකට වුවද සමාජ සත්කාර වෙනුවෙන් සුප්‍රකට ඉඩක් සමාජ මාධ්‍යයේ ඇත. මේ එකී සමාජ සත්කාර පිළිබඳය.

'දවසෙම ඔය ෆෝන් එක ඔබ-ඔබ ඉන්නෙපා.' යන අනතුරු ඇඟවීම මවුපියන් වෙතින් නොලද අයකු නැති තරම්ය. එහෙත් ඇඳිරි නීතිය පනවා තිබූ කාලයේ මොබයිල් ෆෝනය ඔබ-ඔබා සිටීමෙන් නිවසට ගෑස් ගෙනැවිත් දෙන ස්වේච්ඡා සේවකයකු සොයා ගැනීමට මට හැකි විය. ඒ වචන 15 ට නො අඩු ට්වීට් පණිවිඩයක් මුදා හැරීමෙනි. එපමණක් නොව බොහෝ ප්‍රදේශවල අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීමේ සිට, බෙහෙත්, පිසූ ආහාර, එළවළු, පළතුරු, කිරි ආශ්‍රිත ආහාර ආදිය බෙදා හැරීමේ ක්‍රියාන්විතයේ යෙදෙන්නෝ බහුලයහ.

කෝසල ඉන්ද්‍රසිරි හමුවන්නේ ද ට්වීටයක් පසුපස හඹා යාමෙන් අනතුරුවය. ඔහු අම්බලන්ගොඩ, බටපොල ප්‍රදේශයේ තරුණයෙකි.

"අපේ ගමේ පිරිමි ළමයි 10 දෙනෙක් වගේ එක්කහු වෙලා මුලින්ම මේ වැඩේ පටන් ගත්තේ. කොරෝනා වසංගත තත්ත්වය නිසා පළාත් කීපයක ඇඳිරි නීතිය දැම්මට පස්සේ එදිනෙදා රස්සා කරලා ජීවත්වෙන මිනිස්සුන්ට කෑම-බීමවල ලොකු හිඟයක් එන්න පටන් ගත්තා. අපි මුලින්ම කළේ එහෙම පවුල් 50ක් විතර අඳුනගෙන ඒ අයට අත්‍යවශ්‍ය ආහාර, වියළි ආහාර තියෙන බඩු මල්ලක් දීපු එක. මේ බඩු මල්ලෙ සතියකට වගේ සෑහෙන්න කෑම-බීම ජාති තිබ්බා.

නමුත් ‍තෝරගත්ත 50 දෙනෙකුට විතරක් මෙහෙම අත්‍යවශ්‍ය දුව්‍ය අරන් දීලා සෑහෙන්න නැති බවත්, තරමක් ලොකුවට මේ වැඩේ කරන්න නම් අඩුම තරමෙ එෆ්.බී පේජ් එකක්වත් ඕනා බවත් තේරුණා. බටපොල අපි කියන ෆේස්බුක් පේජ් එක හැදුවෙ ඊට පස්සේ. පේජ් එක හැදුවට පස්සේ උදව් දෙන්න කැමති අයට අපිව අමතන්න කියලා දාපු පෝස්ට් එකට හිතුවෙ නැති තරම් ප්‍රතිචාර ලැබුණා. ඒ හරහා උදව් ඉල්ලන අය වගේම උදව් දෙන්න කැමති අයත් එක සමානව අඳුනගන්න පුළුවන් වුණා. උත්තර දීලා ඉවර කරන්න බැරි තරම් කෝල් ආවා. ඒ වගේම මෙන්න මේ තැන්වල කන්න-බොන්න නැතිව මිනිස්සු ඉන්නවා කියන පණිවුඩත් අපිට ලැබුණා. ප්‍රාදේශීය සභාව හරහා පොලිසියෙන් අවසර පත්‍රයක් අරගන්න එකයි මුලින්ම කරන්න සිද්ධ වුණේ.

මේ අවදානම් වෙලාවේ බඩු භාණ්ඩ ගන්න කඩවලට මිනිස්සු එක්රොක් වෙන එක වළක්වලා, පුළුවන් තරම් මිනිස්සුන්ව ගෙවල්වල තියාගන්නයි අපිට වුවමණා වෙලා තිබ්බේ. අපේ එෆ්.බී පේජ් එක හරහා අපි කිව්වා ඕනෑ දේවල් කියන්න, අපි ඒවා ගෙවල්වලටම ගෙනැත් දෙන්නම් කියලා. බෙහෙත්, ගෑස් ඕන වුණ අයව අපි අදාළ ෆාමසි එක්ක ගෑස් සමාගම් එක්ක සම්බන්ධ කළා. ෆාමසි සහ ගෑස් සමාගම් ඒවා ලැබෙන්න සැලැස්සුවා. සමහර දේවල් අපි ගිහින් දුන්නා. ප්‍රවාහන පහසුකම් තිබ්බෙ නෑ. අපි කීප දෙනාගෙ මෝටර් බයිසිකල්වලිනුයි මේ දේවල් ගෙනිච්චේ. තෙල් ගැහුවෙත් අපේ සල්ලිවලින්.

ලැබෙන කෝල් ආන්සර් කරලා ඒවා හරියට කළමනාකරණය කළේ හිරාන් සහ දුලාජ්. ඒක අපි හිතුවටත් වඩා සංකීර්ණ වැඩක් වුණා. සංවිධාන වැඩවලට උදව් කළේ ජීවන්ත. ෆේස්බුක් පේජ් එක හදලා අදාළ සෝෂල් මීඩියා වැඩ ඔක්කොම කළේ ගයාන් තාරක. ප්‍රාදේශීය සභාව එක්ක සම්බන්ධ වෙලා ඇඳිරි නීති අවසර පත්‍ර අරගෙන දුන්නෙ සුරංග. ඒ වගේම එයා මූලික වෙලා ප්‍රාදේශීය සභාවෙන් අපේ බයික්වලට තෙල් ගහලා දුන්නා. මොකද මුල් දවස් ටිකේම අපේ සල්ලිවලින් මෝටර් බයිසිකල්වලට තෙල් ගැහුවේ. ඉතිං ප්‍රාදේශීය සභාවෙන් තෙල් ගහලා දුන්න එක අපිට ලොකු සහනයක් වුණා.

ඩිලිවරි වැඩ කළේ කසුන් , චමිත්, සම්පත්, උදාර, චමින්ද, අමිල. තවත් දෙන්නෙක් ස්ටෑන්ඩ්බයි තියාගෙන හිටියා කට්ටිය මදි වුණොත් කියලා. ඒ වගේම කියන්න ඕනා අපේ ගමේ ගොඩ දෙනෙක් මේ වැඩේට තමන්ට කරන්න පුළුවන් තරමෙන් උදව් කළා. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවෙ වැඩ බල සභාපතිතුමා, ඉන්ද්‍රජිත් සමන් කුමාර අපිට ගොඩක් උදව් කළා. ඒ වගේම හිටපු සභාපතිතුමා, පුෂ්පලාල් මහත්මයත් අපිට ගොඩක් උදව් කළා. ඊට අමතරව බටපොල පදිංචි වෙලා ඉදලා දැනට ඉතාලියේ රස්සා කරන අයගෙනුත් සල්ලිවලින් ආධාර ලැබුණා. ඒ හැම දෙයක්ම එක්කහු කරගෙනයි අපිට මේ වෙලාවෙ මිනිස්සුන්ට උදව් කරන්න ලැබුණේ."

ජනනි සේනානායක හමුවන්නේ ෆේස්බුක් පණිවුඩ කිහිපයක් හුවමාරු කරගැනීමෙන් පසුවය. ඈ ඇතුළු පිරිස රත්නපුරය ප්‍රදේශයේ විශාල වැඩකොටසක් ඉ‍ටුකරමින් සිටිති. ඒ ඔවුන්ගේ රත්නපුර රොටරි සමාජයේ සාමාජික, සාමාජිකාවන් සමඟය.

"රත්නපුරේ රොටරි ක්ලබ් එකත් එක්ක එක්කහු වෙලයි අපි මේ වෙලාවෙ මිනිස්සුන්ට උදව් කරන්නෙ. මුළු රොටරි ක්ලබ් එකම මේ වැඩේට සහයෝගය දෙනවා. ඒත් ගොඩක් දෙනෙකුට එළියෙ ඇවිදින එක මේ වෙලාවෙ කරන්න අමාරු නිසා මේ වැඩේ දැනට කරගෙන යන්නෙ හය දෙනෙක්. ඒ අතරේ රොටරි සමාජයේ සභාපති රවී එම්. චාල්ස්, විරාජිත් ලක්ෂිත, අචින්ත සදීශ්, දිනුක පෙරමුණ , තිලිණි ජයසිංහ, තවීශ් ජයවර්ධන, චතුරංග කොඩිතුවක්කු සහ මමත් ඉන්නවා. චෙක් පොයින්ට්වල රාජකාරි කරන පොලිසියේ, හමුදාවේ සෙබළුන්ට දවසෙ ගාණෙ අපි කෑම ගිහින් දෙනවා. ඊට අමතරව යාචකයන්ට, එදාවේලට වැඩ කරලා ජීවත් වෙන අයට වියළි ආහාර පාර්සල් ගිහිල්ලා දෙනවා.

මේ වැඩවලට රත්නපුර පොලිසියෙන්, පී.එච්.අයිගෙන් අවසර අරගෙනයි තියෙන්නේ. ඒ වගේම හොස්පිට්ල්වල වැඩ කරන වෛද්‍යවරු, හෙදියෝ ඇතුළු සෞඛ්‍ය සේවකයන්ට වුවමණා වියළි ආහාර, එළවළු ගන්න නිතර එළියට එන්න බැරි නිසා ඒ අයට වුවමණා දේවල් හොස්පිට්ල් එක ළඟට යොමුකරන එකත් කරනවා. අදාළ දොස්තර මහත්වරු හෝ හෙදියෝ තමන්ට වුවමණා දේවල් අපිට දැනුම් දුන්නාම අපි කරන්නේ ඒ දේවල් විකුණන අයව එතැනට යොමු කරන එක. එතකොට කිසි කරදරයක් නැතිව ඒ අයට වුවමණා දේවල් සල්ලි දීලා ගන්න පුළුවන්. කාලය නාස්ති වෙන්නෙත් නෑ.

(28) වෙනිදා වෙද්දි මේ වැඩේ කරන්න අරන් සතියක් වෙනවා. සම්පූර්ණ වියදම අපිට තනියෙම දරන්න අමාරු නිසා ඒ ගොඩක් අය අපිට සල්ලි එවනවා. ආධාර එවනවා. මිනිස්සු මේ වෙලාවෙ තමන්ට කරන්න පුළුවන් උපරිම උදව් කරනවා. මෙච්චර මහන්සි වෙලා කරන්න හදන්නෙ වසංගතය පැතිරෙන එක නවත්තගන්නයි. ඒ වෙනුවෙන් අනිත් අයට කරන්න පුළුවන් ලොකුම දේ ගෙදරට වෙලා ඉන්න එකයි."

ප්‍රමිත සිල්වා කළුතර ප්‍රදේශයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත් ආදිය ස්වේච්ඡාවෙන් බෙදා හරින්නෙකි.

"කළුතර නගරාධිපතිතුමා එක්ක කතා කරලයි අපි මේ වැඩේ පටන් ගත්තේ. එතකොට ඇඳිරි නීතිය දාන්න පටන් ගත්ත මුල්ම දවස්. කළුතර නගර සීමාව ඇතුළේ අත්‍යවශ්‍ය ආහාර, ගෑස්, බෙහෙත් බෙදන්න අපිට එතුමා අවසර අරගෙන දුන්නා. මුලින්ම ප්‍රසාද්ගෙයි මගෙයි, අසංකගෙයි ෆෝන් නම්බර්ස්වලට ආපු කෝල්වලින් ඉල්ලපු දේවල් අපි ගිහින් දුන්නා. ඒත් ආරංචිය පැතිරෙන්න ගත්තට පස්සේ අපේ ෆෝන් දෙකට එන කෝල් ගාණ පාලනය කරගන්න බැරි වුණා. ගෑස් බෙදන්න අපිට නගර සභාවෙනුයි ෆයර් බ්‍රිගේඩ් එකෙනුයි වාහන දුන්නා. මේ වෙනකොට අපි ලක්ෂ 2 1/2ක3ක ක විතර බඩු ගිහිල්ලා දීලා තියෙනවා. අපි කීප දෙනෙක් ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වෙලයි මේ වැඩේ කරන්නෙ.

පටන් ගන්නකොට හිතපු තරම් ලේසි නැති බව කල් යනකොට තේරුණා. දුප්පත් පවුල් 25 ක ට විතර අපි මුලින්ම 2800ක් වගේ වටින අත්‍යවශ්‍ය ආහාර තියෙන බඩු මල්ලක් නිකන් දුන්නා. බණ්ඩාරගම, කළුතර දකුණ රෝසවත්ත, කළුතර උතුර,බෝම්බුවල, ක‍ටුකුරුන්ද හන්දිය, ජාවත්ත වගේ පැතිවල අයටයි මේ බඩු මල්ල දුන්නේ.

ෆෝන් කෝල්වලින් මේ වැඩේ දිගටම කරගෙන යන්න බැරි නිසා අපි අන්තිමට quickshop.lk කියලා වෙබ් එකක් හැදුවා. ඒක හරහා මිනිස්සුන්ට තමන්ට ඕන දේවල් ඕඩර් කරන්න කිව්වා. මේ බඩු භාණ්ඩ ගිහින් දෙන්න අපි පාවිච්චි කළේත් අපේ වාහන. ඒවට තෙල් ගැහුවෙත් අපේ සල්ලිවලින්. මේ වෙලාවෙ මිනිස්සු අමාරුවෙ වැටිලා ඉන්න නිසා උදව්වක් වෙන්නයි අපිට ඕන වුණේ. මේ වෙද්දි තොග කඩවල, ආර්පිකෝ එකේ, සතොසෙ අත්‍යවශ්‍ය බඩු ගන්න නැති නිසා ඉල්ලන දේවල් ගිහින් දෙන්න විදිහක් නෑ. ඒත් අපි දිගටම මේ වැඩේ කරනවා."

ධනික පෙරේරා හෙළකුරු යතුරු පුවරුවේ නිර්මාතෘය. ඔහු මේ අවස්ථාවේ අන්තර්ජාලගත සේවා කිහිපයක්ම නොමිලේ සපයමින් සිටියි. හෙළකුරු ඇප් එක හරහා කොරෝනා පිළිබඳ උණුසුම් පුවත් ලබා දීම, හෙළකුරු හරහා රීලෝඩ් දමා ගැනීමේ පහසුකම ලබා දී ඇත. ඊට අමතරව ඔන්ලයින් සේවා සපයන පුද්ගලයන්ට, ෆාමසි, සිල්ලර වෙළෙඳ සල්, මස්-මාළු වෙළෙඳ සල් ආදියට තමන්ටම වෙන්වුණ ඔන්ලයින් වෙළෙඳසැලක් තනාගැනීමට www.shophere.lk භාවිත කළ හැකිය. මේ සේවාව සපයනු ලබන්නේ නොමිලේය.

අම්පාරේ අඩ්ඩාලච්චේනෙයි සිටින රිසාත් පවසන්නේ මෙවැන්නකි.

"අපි වැඩ කරන්නෙ අඩ්ඩාලච්චේනෙයින් ප්‍රාදේශීය අන්තර් ආගමික කමි‍ටුවේ සාමාජිකයෝ විදිහට. හාෂිම්, ඉක්‍රම්, සම්ශුදීන්, ජව්ෆර් සහ ෆසීල් කියන අයයි අපිත් එක්ක වැඩ කරන්නේ. කොරෝනා වසංගතය පැතිරුණාට පස්සේ අපේ ගම්වල මිනිස්සුන්ට මූණ දෙන්න වුණ ප්‍රශ්නවලට හැකි ප්‍රමාණයෙන් උත්තර ලබලා දෙන්න අපි මහන්සි වෙනවා. අඩ්ඩාලච්චේනෙයි ප්‍රාදේශීය ලේකම් මුණගැහිලා අපි ආපදා කළමනාකරණ වැඩසටහනේ සැලැස්ම හදන්න සාකච්ඡා කළා. ඒ ප්‍රදේශයේ සිවිල් සංවිධානයක් වුණ රුහුණු ලංකා ආයතනයත් එක්ක එක්කහු වෙලා අසරණ වෙලා හිටපු පවුල්වලට වියළි සලාක බෙදලා දුන්නා. මේ වෙලාවෙ පිළිපදින්න ඕනා සෞඛ්‍ය උපදෙස් මොනවද කියලා කියලා තරුණ කණ්ඩායමක් දැනුවත් කරලා ඒ අයව ගම්වලට පිටත් කළා."

යාපනය නගරයේ සිටින ජස්ටින් ද වින්මීන්ගල් නම් තරුණ සංවිධානයක ස්වේච්ඡා සේවකයෙකි.

"යාපනය ටවුමේමත් කන්න-බොන්න නැති මිනිස්සු ඉන්නවා. අපි එයාලට ඕන කරන කෑම-බීම ගෙනැත් දෙනවා. ඉස්සර අපි මංගල උත්සව ආදිය තිබ්බම ඒවායේ වැඩිපුර තියෙන කෑම කන්න නැති අයට බෙදලා දෙන වැඩසටහනක් කළා. මේ වෙලාවෙත් අපි කෑම වැඩිපුර තියෙන අයගෙන් ලබාගෙන නැති අයට ගෙනිහින් දෙනවා. හාල්, පරිප්පු, සැමන්, සීනි, තේ කොළ වගේ දේවල් තමයි වැඩිපුරම ගිහින් දෙන්නෙ. හෙට උදේටත් කිළිනොච්චියට යනවා එහේ අයට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදලා දෙන්න"

මෙවන් සුබාරංචි බොහෝය. මිනිස්සු තමන්ට හැකි සෑම ආකාරයකින්ම අනෙකාට උදව් කරමින් සිටිති . ආත්මාර්ථකාමී යැයි හංවඩු ගැසූ මිනිසාම අනෙකාගේ ආපදාවකදී පරාර්ථකාමී වීම කෙතරම් විස්මයක්ද? ජීවිතය පිළිබඳ බලාපොරොත්තු අත්හැර නොගත යුතු බව නොවේද මොවුන් මේ පවසන්නේ!!

කාංචනා අමිලානි

 

 

නව අදහස දක්වන්න