කොරෝනා මර්දනයට භේද නැතිව සහාය වෙමු | දිනමිණ


 

කොරෝනා මර්දනයට භේද නැතිව සහාය වෙමු

ධනුෂ්ක ගොඩකුඹුර

රජය වැඩ කරන්නේත් සෞඛ්‍ය උපදෙස්වලටයි

කොරෝනා වසංගතය මර්දනය කිරීමට පක්ෂ, පාට, ආගම්, කුල බේදයකින් තොරව සෞඛ්‍ය අංශ උපදෙස් අනුව ක්‍රියාත්මක විය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

සෑම අවස්ථාවකම රජය ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අංශයේ උපදෙස් මත බව පැවසූ අගමැතිවරයා ඇඳිරිනීතිය පවා පනවා ඇත්තේ ඒ අනුව බවත් අවධාරණය කළේය. අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් අරලියගහ මන්දිරයේ දී ඊයේ (02) පැවැති සර්ව පාක්ෂික හමුවට සහභාගී වෙමිනි. සමස්ථ සමාජයේ උන්නතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු මේ අවස්ථාවේ සියලු දෙනා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් පිළිබඳ වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය. සමාජයීය සහ ආගමික වශයෙන් සියලු දෙනාට අපහසුතා ඇති විය හැකි නමුත් මේ කාල සීමාවේ දී සමාජයේ සහ ජනතාවගේ ජීවිත පිළිබඳ සැලකිලිමත් වෙමින් එම අපහසුතා විඳ දරාගෙන කටයුතු කිරීමට සියලු දෙනා කටයුතු කළ යුතු බවත් අගමැතිවරයා එහිදී පැවසීය.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු කතානායක කරු ජයසූරිය, හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ඇමැතිවරුන් වන දිනේෂ් ගුණවර්ධන, පවිත්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, එම්.ඒ. සුමන්තිරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, රාවුෆ් හකීම්, රිෂාඩ් බදියුදීන්, ඒ.එච්.එම්. ෆවුසි ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නව අදහස දක්වන්න