වරාය මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ගණයට | දිනමිණ

වරාය මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය සේවා ගණයට

නුවන් කොඩිකාර

ආයතන හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක්

ශ්‍රී ලංකා වරාය අධිකාරි පරිශ්‍රයේ ක්‍රියාත්මක මෙහෙයුම් සේවා අත්‍යවශ්‍ය ස්වාවන් සේ සළකා කටයුතු කරන්නැයි වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

රටේත් ජනතාවගේත් පරිභෝජන අවශ්‍යතාත් සෞඛ්‍ය ආරක්ෂක හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සඳහාත් වන භාණ්ඩ රට තුළට බාධාවකින් තොරව ගෙන්වීමේ අරමුණෙන් මෙම තීරණයට එළැඹි බව ඇමැතිවරයා පැවසීය. ඒ අනුව කොළඹ වරායේ ජයබහලු පර්යන්තය, SAGT පර්යන්තය, CICT පර්යන්තය හා කලම්බු ලොජිස්ටික් යන ආයතනයන් හි මෙහෙයුම් හා සේවා අත්‍යවශ්‍ය රාජකාරී ලෙස සලකා කටයුතු කෙරේ.

වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, එම අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ. මායාදුන්න, සභාපති ජෙනරාල් දයා රත්නායක මහත්වරුන්ගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ මෙම තීරණයට එළැඹ තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හා SAGT ,CICT යන පර්යන්තයන්හි සහ කලම්බු ලොජිස්ටික් සමාගමේ කළමනාකාරීත්වය විසින් තීරණය කරනු ලබන සේවාවන් හි අවශ්‍යතාවන් අනුව ඊට අත්‍යවශ්‍ය සේවකයන් කැඳවීමට අවස්ථාව ලබා දී ඇත.

එලෙස පැමිණෙන සේවකයන්ට තමන්ගේ පුද්ගලික වාහනවලින් වරාය දොරටුවෙන් ඇතුළු වීමට අවසර දී ඇති අතර ජාතික හැඳුනුම්පත හා ආයතනික හැඳුනුම්පත පෙන්වා වරායට ඇතුළු වීමට ද අවසර ලබා දී තිබේ. එමෙන්ම ආයතන හැඳුනුම්පත ඇඳිරීනීති බලපත්‍රයක් සේ ඉදිරිපත් කළ හැකි අතර සේවකයන්ගේ පහසුව සඳහා නුවර පාර කෑගල්ල දක්වා, ගාලු පාර අලුත්ගම දක්වා, හයිලෙවල් පාර හෝමාගම මීපේ දක්වා, මිනුවන්ගොඩ පාර දිවුලපිටිය දක්වා ජා-ඇළ හරහා, හොරණ පාර හොරණ දක්වා, පරණ පාර හංවැල්ල අවිස්සාවේල්ල දක්වා හා කැළණි විහාර පාර කිරිල්ලවෙල දක්වා පිවිසුම් මාර්ග 07ක බස් රථ යොදා ඇත.

නව අදහස දක්වන්න