මේ මොහොතේ රජයට සහාය දීම ජාතික යුතුකමක් | දිනමිණ

මේ මොහොතේ රජයට සහාය දීම ජාතික යුතුකමක්

නිමල් රාජපක්ෂ

ඇමැති ප්‍රසන්න රණතුංග

කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරයාම පාලනය කිරීම සදහා රජය පූර්ණ වශයෙන් කැප වී සිටින බවත් පක්ෂ පාට සලකුණු නොබලා සියලු පාර්ශව ජනාධිපති, අගමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට සහාය පළ කිරීම ජාතික යුතුකමක් බවත් කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන සංචාරක හා ගුවන්සේවා ඇමැති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

මුහුණපා ඇති අවදානම් තත්ත්වයෙන් රට ගොඩගත හැක්කේ ජනතා සහයෝගයෙන් පමණක් බව පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා කොරෝනා වසංගතය රට තුළ ව්‍යාප්ත වීම පාලනය කිරීමට රජය ගනු ලබන සියලු ක්‍රියාමාර්ග ඇතැමුන්ගේ ක්‍රියා කලාපයන් හේතුවෙන් අපතේ යන බව ද අවධාරණය කරයි.

ඇඳිරිනීතිය අතරතුර ගම්පහ දිස්ත්‍රික්කයේ අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමේ වැඩසටහන සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඇමතිවරයා මේ බව කියා සිටියේය.

වැඩි දරටත් අදහස් දැක්වු ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද පැවසීය.

මහින්ද - ගෝඨාභය සුසංයෝගය තමයි වසර 30 ක යුද්ධය අවසන් කරන්න පෙරමුණ ගත්තේ. අද රටේ ජනතාවගේ වාසනවාකට තමයි නැවත ඒ සුසංයෝගය බලයේ ඉන්නේ. එහෙම නොවුණා නම් රට මුහුණ දෙන තත්ත්වය හිතාගන්න බෑ. කොවිඩ් 19 හෙවත් කොරෝනා වසංගතය පැතිරීම වළක්වා ගැනීම සඳහා අපි රජයක් විදියට ගත යුතු ගත හැකි සියලුම ක්‍රියාමාර්ග ගන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය පවා අපේ රටේ මේ කොරෝනා මර්දනය වැඩසටහන පිළිබදව ප්‍රසාදය පළ කරන්නේ ඒ නිසයි. ඇමරිකාව, එංගලන්තය වැනි රටවල්වලට වඩා අපේ රටේ ජනතාව මේ වසංගතයෙන් ආරක්ෂා කරගන්න පුළුවන් හැම දේම කරනවා. අපේ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ, අත්‍යවශ්‍ය ආහාර බෙදා දෙන ආයතන, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශිය ලේකම් කාර්යාල, සියලු රජයේ නිලධාරීන් සිය උපරිමයෙන් කටයුතු කරනවා.

අපේ මහජන නියෝජිතයොත් ඒ වෙනුවෙන් කැපවී ඉන්නවා. අපි මොනවා කළත් වැඩක් නෑ මහජනතාව අතර ඉන්න කිහිපදෙනෙක් සෞඛ්‍ය උපදෙස්, ආරක්ෂක අංශවල උපදෙස් අනුගමනය නොකර හිතුමතේ වැඩ කරනවා. මේ නිසා ආණ්ඩුවක් හැටියට අපි ගන්න සමහර ක්‍රියාමාර්ග අපතේ යනවා. මේක පක්ෂ, පාට, සලකුණු බලන වෙලාවක් නෙමෙයි. මුලින්ම අපි මේ වසංගතය පැතිරී යාම පාලනය කරගත යුතුයි.

එහෙම නැති වුනොත් මේ රට ඉතාලියක් බවට පත් වේවි. අපිට ඇහැ කන පියාගනෙ ඉන්න බෑ. සෞඛ්‍ය අංශයෙන්, ආගමික නායකයන්ගෙන් මේ වන විට ඉල්ලීමක් ඇවිත් තියෙනවා දිගටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කරන්න කියලා. ජනාධිපතිතුමා - අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව සෞඛ්‍ය අංශ හා ආරක්ෂක අංශ උපදෙස් අනුව ඒ පිළිබඳ ඉදිරියේදී සලකා බලාවි. නමුත් අපිට මේ රටේ ජනතාවගේ දෛනික අවශ්‍යතා නොසලකා හරින්නත් බෑ. අපි රජයක් හැටියට මොන තීන්දු ගත්තත් ප්‍රමුඛත්වය දෙන්නේ මේ රටට හා ජනතාවට. අපි මේ වන විට ජනතාවට එදිනෙදා අවශ්‍ය භාණ්ඩ ගෙවල්වලටම යවන යාන්ත්‍රණයක් සකස් කර තිබෙනවා. සමෘද්ධි අයට රුපියල් 5000ක මුදලක් ලබා දුන්නා. වැඩිහිටි, ආබාධිත, අයටත් දීමනාවක් ලබා දෙන්න කටයුතු කරගෙන යනවා. නිරෝධායන ඇඳිරිනීතියක් තමයි දැන් අපි පවත්වාගන යන්නේ. ජනතාව මේ මොහොතේ ඉවසිලිවන්තව කටයුතු කළ යුතුයි.

රජය මොන දේ කළත් රුස්සන්නේ නැති විවිධ අය රජයට එරෙහිව විවිධ මඩ අවලාද පතුරනවා. ඔවුන් මේ හරහා අනතුරට හෙළන්නේ මේ රටයි. ඒ නිසා අපි ජනතාවගෙන් ඉල්ලනවා විවිධ උසිගැන‍්වීම්වලට හසු නොවී රජයට තවදුරටත් මේ තීරණාත්මක අවස්ථාවේ සහාය දෙන්න කියලා.

නව අදහස දක්වන්න