‌සෞඛ්‍ය නිර්දේශන්ට අනුව කටයුතු කරන ලෙස හැමදෙනාගෙන්ම ඉල්ලනවා | දිනමිණ


 

‌සෞඛ්‍ය නිර්දේශන්ට අනුව කටයුතු කරන ලෙස හැමදෙනාගෙන්ම ඉල්ලනවා

සෞඛ්‍ය නියාමනය කරන්නේ ජීවිත රැක ගන්නයි

ඉදිරි සති දෙක තීරණාත්මකයි

සමෘද්ධිය නොලබන පොරොත්තු ලේඛණයේ අයටත් රු. 5000ක්

ආබාධිත සහනාධාර නිවසටම

වැඩිහිටි දීමනා අප්‍රේල් 09ට පෙර

සෑම මනුෂ්‍යයකුට ම වටිනා ජීවිතයක් තිබෙන බව හා සෑම මනුෂ්‍යයකුට ම ගෞරවාන්විත මරණයක් හිමි විය යුතු බව විශ්වාස කරමින් රජය කටයුතු කරන බවත් එබැවින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ, වෛද්‍ය සභාවේ සහ ආරක්ෂක අංශවල නියමයන්ට අනුකූලව නීතියට ගරු කරමින් කටයුතු කරන ලෙස මේ මොහොතේ සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බව සම කැබිනට් ප්‍රකාශක, තොරතුරු සහ සන්නිවේදන තාක්ෂණ, උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

කොවිඩ් 19 ආසාදනය වීමෙන් මිය ගිය පුද්ලයන් අදාහනය කිරීම සම්බන්ධයෙන් ආගමික කණ්ඩායමක් මත් කර ඇති විරුද්ධත්වය සම්බන්ධයෙන් ඊයේ (2) පැවැති කැබින‌ට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු මතු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව පැවැසීය.

ජාති, ආගම්, කුල, වර්ණ බේදයෙන් තොරව එක රටක්, එක නීතියක් ප්‍රතිපත්තිය මත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු රජය කටයුතු කරන බව කී ඇමැතිවරයා, මේ අවස්ථාවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ලෝකය පිළිගත් සම්මතයන් අනුව සහ අදාළ බලධාරීන් පවසන දේ අනුව මිස තම තමන්ට අවශ්‍ය දේ කිරීමට පුළුවන්කමක් නැති බවද පැවැසීය.

දේශපාලනඥයන් ලෙස හිතුවක්කාරී ලෙස හැසිරෙන්නේ නැති බවත් සෞඛ්‍ය බලධාරීන් යමක් කී විට අකමැති වුවද එයට අනුකූලව කටයුතු කිරීමට සිදුවන බවද කී ඇමැතිවරයා, සෞඛ්‍ය බලධාරීන් යම් නියමයන් ඉදිරිපත් කරන්නේ මනුෂ්‍ය ජීවිත බේරා ගැනීම සඳහා බවද පැවසීය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය, වෛද්‍ය සභාවේ මතය සහ සෞඛ්‍ය හා ආරක්ෂක අංශවල නියමයන්ට අනුව නීතියට ගරු කරමින් සියලුදෙනා කටයුතු කළොත් කිසිදු ප්‍රශ්නයක් මතු නොවන බවද කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගත් දූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් බොහෝ සංවර්ධිත රටවල් පසුව ගත් තීරණ කලින් ගැනීමට අප රටට හැකිවූ බවත් තාවකාලිකව වේදනාවක් දැනුනත් මේ වනවිට සෞඛ්‍ය අංශයට, හමුදාවට සහ වෙනත් අතවශ්‍ය සේවා සපයන සියලුදෙනාට පින්සිදුවන්නට මේ වනවිට කිසියම් ආකාරයකට කොවිඩ් 19 වසංගත තත්ත්වය කිසියම් ආකාරයකට පාලනය කර ගැනීමට හැකිව තිබෙන බවත් කීය. එහෙත් ඉදිරි සති දෙකක කාලය තීරණාත්මක බැවින් ජනතාව සෞඛ්‍ය අංශවල මඟ පෙන්වීම පරිදි කටයුතු කිරීමට ජනතාව පියවර ගත යුතු බවත් පැවැසීය.

විශ්‍රාමික වැටුප් අධ්‍යක්ෂ ජෙනරාල් ජගත් ඩයස් මහතා.

නව විශ්‍රාමිකයන් 2800 ක් ඇතුලු සමස්ත විශ්‍රාමිකයන් 645179 කට රුපියල් කෝටි එක්දහස් අටසිය දෙකක ප්‍රමාණයක් විශ්‍රාම වැටුප වශයෙන් අප්‍රේල් මාසය තුළ දී එනම් ඊයේ (02), අද (03) සහ සඳුදා (06) යන දින තුන තුළදී ගෙවීමට සියලු කටයුතු සූදානම් කරලා තිබෙනවා. ඒ සඳහා යුද හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය, දිසාපති කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සම්පූර්ණ සහය ලැබී තිබෙනවා. මේ වන විට ලංකා බැංකුව, මහජන බැංකුව සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව ප්‍රමුඛ සියලුම රාජ්‍ය බැංකුවලින් මාසික විශ්‍රාමික වැටුප් ගෙවීම සාර්ථක සිදුවෙමින් තිබෙනවා. එම විශ්‍රාම වැටුප් ගන්න යන විශ්‍රාමිකයන්ට විශ්‍රාම කටයුතු දෙපාර්තුමේන්තුවෙන් නිකුත් කර ඇති හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රය ලෙස භාවිතා කරන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය පහසුකම් ශ්‍රී ලංකා පොලිසිය විසින් ලබාදී තිබෙනවා. ඒ වගේම ග්‍රාමීය බැංකු සමඟ කටයුතු කිරීමේදී කෙසේ කටයුතු කරන්න ඕනේද කියන උපදෙස් එම ග්‍රාමීය බැංකුවලට අදාළ සමූපකාර දෙපාර්තුමේන්තුවේ කොමසාරිස්වරයා එම බැංකුවලට ලබා දී තිබෙනවා. එම විශ්‍රාම වැටුප් ගෙදරට හෝ එම බැංකුවලට තිබෙන පහසුකම් පරිදි නිසි ලෙස බෙදා හරින්න ඒ අනුව කටයුතු කරන්න කියලා උපදෙස් ලබා දී තිබෙනවා.මෙම විශ්‍රාමික පිරිසෙන් සියයට හැත්තෑපහක්ම වයස අවුරුදු 60 වැඩි අය. ඒ වගේම සියයට 05 කට වැඩි ප්‍රමාණයක් ඉන්නවා වයස අවුරුදු 90 වැඩි අය. ඒ අනුව බලද්දි බොහෝ දෙනෙක් වයෝවෘද්ධ අයයි ඉන්නේ. එම නිසා ඒ අයගේ ගමනා ගමන පහසුකම් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදුකරන්න කියා ඉල්ලා සිටිනවා.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් බන්දුල තිලකසිරි මහතා.

මේ රටේ වෙසෙන දාහත් ලක්ෂ අනූපන්දහසක් පමණ වන සමෘද්ධි සහනාධාරලාභීන්ටත් ඒ වගේම තවත් ලක්ෂ දෙකකට ආසන්න ප්‍රජා මූල සමිති සමාජිකයන්ටත් රුපියල් 10000අත්තිකාරමක් ගෙවීමේ කටයුතු සාර්ථකව සිදුකරමින් ඉන්නවා. එහි පළමු අදියර ලෙස රුපියල් 5000 ක අත්තිකාරම් මුදල ප්‍රජා මූල්‍ය බැංකු මගින් ඔවුන්ගේ ප්‍රතිලාභීන්ගේ නිවෙස්වලටම ගිහින් ලබාදී තිබෙනවා.

මෙහි ක්‍රමවේදයන් දෙකක් තුළ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. පළමු එක තමයි ඒ ප්‍රතිලාභීන්ගේ ඉතිරි කිරීම් මත ඉතාම ක්ෂණිකව අත්තිකාරම් මුදල ලබාගැනීම. අනෙක් ක්‍රමය තමයි අපේ සමිතියක සමාජිකත්වය ලබාගෙන තිබෙනව නම් අනිවාර්ය ඉතිරි කිරීම්, එහි ප්‍රතිශතයක් හෝ එසේ නොමැති වුණත් එම මුදල ප්‍රජා මූල සමිතියේ සභාපති, ලේකම්, භාණ්ඩාගරික යන අය සමඟ එක්ව අපේ නිලධාරීන් විසින් ලබාදීම සිදුකරනවා. මේ ක්‍රමවේදයන් දෙකම මේ වෙනකොට ක්‍රියාත්මකයි. දැනට අපිට වාර්තා වෙලා තිබෙනවා පවුල් දොලොස් ලක්ෂ පනස් හයදහසකට අධික සංඛ්‍යාවකට මෙම මුදල් ලබාදී තිබෙනවා කියලා. අනෙක් අයටත් ඒ මුදල් ලබා දෙනවා. ලංකා බැංකුව, මහජන බැංකුව හෝ අපේ රාජ්‍ය බැංකුවල ආයෝජනය කරලා තිබෙන අපේ සමෘද්ධි ලාභීන්ගේ මුදල් මඟින් තමයි මෙය ලබාදෙන්නේ. මේ කටයුත්තේදි අපි මාස 06 ක සහන කාලයක් ලබාදී තිබෙනවා. මාස 06 තුළදී කිසිදු අය කිරීමක් කරන්නේ නැහැ. ඒ වගේම ඊළග මාස 18 ක කාලයක් තුළ පොළී රහිතවයි මේ මුදල ලබා ගන්නේ. එතකොට මෙම මුදල් ලබගන්නා සියලු දෙනාට අවුරුදු දෙකක සහන කාලයක් ලැබෙනවා, නැවත මෙම මුදල් ප්‍රජා මූල බැංකු වෙත ලබාදෙන්න.

මේ මුදල් ලබාදීමේදී මෙහි ඇතැම් අය පෙර ණය ගැනීම් සිදුකර එය ගෙවා නැත්නම් ඒ ගැන සලකා බලන්න එපා කියලා අපි උපදෙස් ලබාදී තිබෙනවා. අපේ බැංකුවලින් මීට කලින් ණය ලබාගෙන තිබෙනව නම් ඒ අයටද මාස හයක් යනකම් සහන කාලයක් ලබා දී තිබෙනවා එම මුදල් අය නොකරගන්න. පසුගිය කාලයේ ගෙවීම් අතපසු වුණ කණ්ඩායම් ඉන්නව නම් ඒ අයට වුණත් පුළුවන් අභියාචනයක් ඉදිරිපත් කරලා රජය ලබාදෙන සහනය ලබාගන්න.

ඒ වගේම නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න අපිට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව සමෘද්ධි ආධාර මුදල් නොලබන පොරොත්තු ලේඛණයේ සිටින පිරිසටත් මෙම රුපියල් 5000 ක දීමනාව දෙන්න අවශ්‍ය කටයුතු සිදුකරමින් ඉන්නවා. සමෘද්ධි සංවර්ධන නිලධාරී, ග්‍රාම නිලධාරී, ආර්ථික සංවර්ධ නිලධාරී, කෘෂි පර්යේෂණ නිලධාරී වගේම එම කොට්ඨාසය නියෝජනය කරන මහජන නියෝජිතයා යන කණ්ඩායම එකතු වෙලා තමයි එම තෝරා ගැනීම සිදුකරන්නේ. ඒ අයට ගෙවීම් කරන්නෙත් අපේ සමෘද්ධි බැංකු ජාලය හරහායි. මේ සම්බන්ධව ජනාධිපති, අගමැති ලේකම්වරුන් විසින් අදාළ චක්‍ර ලේඛණ නිකුත් කර තිබෙනවා. අපි මේ හා සමානව චක්‍ර ලේඛණ නිකුත් කරන්න මේ වන විට කටයුතු යොදා තිබෙනවා.

වැඩිහිටි ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ සමන්ත උඩවත්ත මහතා.

අද වෙන කොට ශ්‍රී ලංකාවේ වැඩිහිටියන් ලක්ෂ තිස් දෙකක ආසන්න පිරිසක් ඉන්නවා. මේ වැඩිහිටියන්ගෙන් ඉතා දුප්පත් කණ්ඩායමක් ලෙස ලක්ෂ හයක් විතර අපි හඳුනාගෙන ඉන්නවා. ඒ ලක්ෂ හයෙනුත් අවුරුදු හැත්තෑවට වැඩි 416667 පිරිසකට රුපියල් දෙදහසේ දීමනාව ලබාදෙමින් යනවා. ඊට අමතරව අලුතෙන් හඳුනාගත්තා අපේ පොරොත්තු ලේඛණවල ඉන්න 142343 ක වැඩිහිටි පිරිසක්. මේ අනුව පන්ලක්ෂ හැට දාහසකට අධික සංඛ්‍යාවක් වැඩිහිටියන් ලෙස හඳුනගෙන තිබෙනවා ප්‍රතිලාභ ලබාදීමට. දැනට රුපියල් දෙදහස ගන්න වැඩිහිටියන්ට ඊට අමතරව රුපියල් තුන්දහසකුත්, පොරොත්තු ලේඛණයේ හඳුනාගෙන ඇති අයට රුපියල් 5000 ක මුදලකුත් ලබා දෙන්න කටයුතු කරනවා.

ඒ එක්කම අපිත් එක්ක ඉන්නවා අවුරුදු සියය ඉක්ම වූ හයසියකට අධික පිරිසක්. එයිනුත් හාරසියකට අධික සංඛ්‍යාවකට රුපියල් 5000 දීමනාව ලබාදෙනවා. ඊට අමතරව පොරොත්තු ලේඛණයෙත් 159 ක් ඉන්නවා. ඒ අයටත් රුපියල් 5000 දීමනාව මේ මාසයේදී ලබාදෙනවා. ඒ සමඟම අපේ වැඩිහිටි නිවාස 300 ක් ලංකාව පුරා තිබෙනවා. එහි දළ වශයෙන් වැඩිහිටියෝ අටදහස් පන්සියයක් විතර ඉන්වා. එහි යම් ආහාර හිඟයක් තිබේ යැයි දැන්නුවොත් ඒ සඳහා අවශ්‍ය ආහාර පාන ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම මෙම සියලු දීමනා අප්‍රේල් මස 09 වැනිදාට ප්‍රථම ලබාදෙන්න කටයුතු කරනවා.

අබාධිත වූවන්ගේ මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චම්පික කළුආරච්චි මහතා.

දැනට අබාධිත ලේකම් කාර්යාලය මඟින් අබාධිත සහ වකුගඩු රෝගීන් අනූ හත්දහසකට රුපියල් මිලියන හාරසිය අනූවක මුදලක් ලබාදෙනවා. මීට අමතරව මේ වෙන කොට අපේ පොරොත්තු ලේඛණවල ඉන්නවා අබාධිත සහ වකුගඩු රෝගීන් 53000 කට අධික පිරිසක්. ඒ අනුව මේ වන තෙක් හිටපු පිරිසට සහ අලුත් පිරිසටත් මේ මාසයේදී අපි රුපියල් 5000 දීමනාව ලබා දෙනවා. ඒ කියන්නේ මේ සඳහා අපි රුපියල් මිලියන 750 ක මුදලක් වැය කරනවා. වෙනද මෙම මුදල ලබාදුන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට ගෙන්වලා. නමුත් මේ ඇති වී තිබෙන තත්ත්වයත් සමඟ එම මුදල් ග්‍රාම නිලධාරීන් හරහා නිවසට ගෙනත් දෙන්න කටයුතු යොදා තිබෙනවා. එම නිසා එම දීමනාව ලබන කිසිවෙක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්ට යන්න එපා අපි ඉල්ලා සිටිනවා.

කෘෂි රක්ෂණ මණ්ඩලයේ සභාපති ඈපා මහතා.

කෘෂි රක්ෂණ මණ්ඩලය මඟින් ගොවි විශ්‍රාමවලට හිමිකම් කියන ගොවීන් 160500 ක් සහ ධීවර විශ්‍රාම වැටුපට හිමිකම් කියන 4500 ක ධීවර ජනතාවටත් මෙම මාසයට අදාළ විශ්‍රාම වැටුප රුපියල් 5000 ක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා. එම දීමනාව හිමි සියලුදෙනාටම තැපැල් දෙපාර්තුමේන්තුව සමග එකතු වී නිවසටම ගෙනත් දෙන්න අවශ්‍ය කටයුතු සකස් කර තිබෙනවා. ඒ අනුව එළැඹෙන 06, 07 සහ 08 යන තෙදින තුළදී මෙම මුදල් ගෙවා අවසන් කරන්න කටයුතු යොදා තිබෙනවා. ඊට අමතරව ඔවුන්ගේ වන්දි රක්ෂණ සියල්ලත් ගෙවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් 1918 කියන ක්ෂණික දුරකතන අංකයට කතා කිරීමෙන් හෝ දිස්ත්‍රික් නිලධාරීන් මඟින් තමන්ගේ ගැටළු විසදාගත හැකියි. මේ එක්ලක්ෂ හැට පන්දහසක පිරිසට මෙම පන්දහසේ මුදල ගෙවන්න රුපියල් ලක්ෂ අටසිය පනහකට අධික මුදලක් වැය වෙනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය.

කොවිඩ් 19 වෛරසය වලක්වා ගන්න සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙන කොට විශාල සේවාවක් සිදුකරමින් සිටිනවා. ඒ විතරක් නෙවෙයි මේ වනවිට ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් පවත්වාගෙන යන්න සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරමින් සිටිනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය නිලධාරිනියන් විශාල මෙහෙයක් මේ වෙලාවේ සිදුකරමින් සිටිනවා. අපි සාමාන්‍ය විදියට සායන පැවැත්තුවේ නැති වුණත් හැකි පරිදි ත්‍රිපෝෂ බෙදාහැරීමේ කටයුතු සිදුකර තිබෙනවා. ත්‍රිපෝෂලාභීන් වන්නේ ගර්භනී මවුවරුන් සහ පසු ප්‍රසව මව්වරුන්. මාස හයක් යන කම් ත්‍රිපෝෂ පැකට් දෙකක් ලබාදෙනවා. මන්ද පෝෂණය සහිත දරුවන්ට මෙය ලබා දෙනවා. මේ වසංගතය නිසා අපිට සායන පවත්වන්න බැහැ. එහෙත් අපිට හැකි පරිදි නිවෙස්වලට ගිහින් අවශ්‍ය උපදෙස් ලබාදෙනවා. ඒ වගේම ඕනෑම මවකටම පවුල් සෞඛ්‍ය නිලධාරී කාර්යාලවලට පැමිණ උපදෙස් ලබාගන්න එම කාර්යාල විවෘත කර තිබෙනවා. ගර්භනී මව්වරුන්ට රෝහල්වලට යන්න අවශ්‍ය නම් තමන්ගේ කාඩ් පත ඇඳිරීනීතිය බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකයි. ඒ වගේම අපේ ක්‍රමවේදයක් තිබුණා ගර්භනී මවක් රෝහලකට ඇතුළත් වෙනව නම් ඒ රෝහලේ ලියාපදිංචි වී ඉන්න ඕන කියලා. එහෙත් මේ තත්ත්වයත් එක්ක සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සමඟ සාකච්ඡා කරලා එය වෙනස් කරලා තිබෙනවා. එම නිසා ලියාපදිංචිය තිබුණත් නැතත් ඕනෑම රෝහලකට ඇතුළත් වෙන්න අවස්ථාව ලබා දී තිබෙනවා.

පරිවාස කොමසාරිස් චන්දිමා සිගේරා මහත්මිය.

මේ වෙනකොට ලංකාව පුරා පළාත් 09 යේම පරිවාස කොමසාරිස්වරු යටතේ ළමා නිවාස 39 ක දරුවන් දෙදහසකට අධික පිරිසක් ඉන්නවා. ඊට අමතරව ස්වේච්චාවෙන් පවත්වා ගෙන නිවාස තුන්සියකට අධික සංඛ්‍යාවක දරුවන් 8957 ක් ඉන්නවා. ආසන්න වශයෙන් දරුවන් 12000 කට ආසන්න ප්‍රමාණයක් නිවාසගතව ඉන්නවා. මේ සෑම නිවසක්ම පළාත් පරිවාස කොමසාරිස්වරුන් යටතේ ලියාපදිංචි වෙලා තිබෙනවා. එම කොමසාරිස්වරුන් එහි ඇති අවශ්‍යතා සොයාබලා ඊට අවශ්‍ය පහසුකම් ලබාදෙමින් ඉන්නවා. මීට අමතරව ගර්භනී මව්වරුන් වෙනුවෙන් ලබාදෙන රුපියල් 20000 ක මුදලත් අඛණ්ඩව ලබාදෙමින් තිබෙනවා.

සිතාරා සේනානි හා නුවන් කොඩිකාර 

 

නව අදහස දක්වන්න