ආතතියෙන් තොරව නිවෙසටවී ඉන්න | දිනමිණ


 

ආතතියෙන් තොරව නිවෙසටවී ඉන්න

මනෝවෛද්‍ය මහාචාර්ය ප්‍රියන්ත ගාමිනී ජයසිංහ
 
අපගේ අත්දැකීම් සහිත මෑත ඉතිහාසයේ අපේ රටට කලක් මැලේරියාව වසංගත තත්ත්වයක් ඇති කළත් එය මර්දනය කරන්නට හැකි විය. ඉන් පසු ඩෙංගු රෝගය රට පුරා ව්‍යාප්ත වන්නට විය. ඩෙංගු මර්දන ජනධිපති කාර්ය සාධන බලකාය වැනි සංවිධාන ඇති කර ඒ සඳහා කටයුතු කරනු දක්නට ලැබිණ. එච්. අයි. වී. (HIV) වෛරසය  හා ඒඩ්ස් රෝගය ලොව ව්‍යාප්ත ව යාම සමඟ  අප රටට ද  එහි බලපෑම ගැන සෞඛ්‍ය අංශවල රජයේ හා රාජ්‍ය නොවන සංවිධානවල අවධානය  යොමු විය. පාසල්  මට්ටමින් හා වෙනත් සමිති සංවිධාන මඟින් ද පොදුවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලින් ද ඒවා ගැන දැනුවත්  කෙරිණ. දැනට අප රටේ එච්. අයි. වී. (HIV) ආසාදිතයන් සෑහෙන්න පිරිසක් සිටියත් එම වෛරසය බෝවන ක්‍රම නව කොරෝනා - 19 ට වඩා වෙනස් ය.  එනිසා ඒඩ්ස් වැනි රෝග එතරම් ශීඝ්‍රයෙන් බෝවීමක් හෝ ආසාධිතයන් ඉක්මණින් මරණයට පත් වීමක් සිදු නො වේ.
 
කොරෝන - 19 වෛරසය එසේ නොවේ. එය ඉතා වේගයෙන් ව්‍යාප්ත වේ. රෝගියා කහින විට, කිවිසුම් හරින විට, කතා කරන විට, කෙළ බිඳිති මඟින් මේ ආදී වශයෙන් අන් අයට බෝ වේ. වෛරසය දින කිහිපයක් ම මතුපිට පෘෂ්ඨයක නො නැසී පවතින බැවින් එම පෘෂ්ඨයක් ස්පර්ශ කරන පුද්ගලයකුට ද වෛරසය ආසාදනය වේ. එබැවින් මේ ගැන සමාජයේ කා තුළත් ඇත්තේ යම් බිය මුසු හැඟීමකි. පොදු වාහනයක යන විට එහි කොතැන හෝ අතින් අල්ලන්නට සිදුව ඇත්තේ එදා මෙන් නොව අමුතු බියකිනි. වෙළෙඳ සලකින් යමක් මිලදී ගත්තත් වෙළෙන්දා රෝගියකු දැයි සැක සිතෙයි. වෛද්‍ය ප්‍රතිකාර සොයා ගියත් වෛද්‍යවරයාට ද,  සාත්තු සේවිකාවට ද රෝගය වැලඳී ඇත්දැයි සැක කරයි. මේ සමාජ බිය පිළිබඳ මනෝ වෛද්‍යවරයකුගේ ඇසින් සලකා බලමු.    
 
"කොවිඩ් - 19 කියන්නෙ අලුතින් ම හැදිල, පළමුවරට ලොව පුරා වේගයෙන් පැතිර යමින් තියන වෛරසයක්. ලෝකයට ම අලුත් දෙයක් වුණු මේ වෛරසයට , ඒ අලුත්කම නිසා ම  ඖෂධ, ප්‍රතිකාර, එන්නත් සොයා⁣ගෙනත් නැහැ. වේගයෙන් පැතිර යාමත්, ඒ වගේ ම මරණ සංඛ්‍යාව ඉහළ යාමත් නිසා කාටත් බියක් ඇති වීම අපට හිතා ගන්න පුළුවන්..
 
මේ තත්ත්වය ගැන සලකන විට පුද්ගලයන් සමාජීය වශයෙන් දක්වන බියට (Public anxiety)යම්  සාධාරණ  තත්ත්වයක් දක්නට පුළුවන්. ඒ කියන්නෙ රෝගය වැලඳුණු  පුද්ගල සංඛ්‍යාව සහ පුද්ගල මරණ සංඛ්‍යාව, ඒ වගේ ම වයස්ගත අයට සහ දැනටමත් ශ්වසන පද්ධතියට සම්බන්ධ රෝග ඇති අයට එහි බලපෑම වැඩියි . තවත් කාරණයක් නම් මේ රෝගය වැලඳුන බහුතරයක් දෙනාට ඉතා සුළු රෝග ලක්ෂණ පහළ වීමත්, නිවස තුළ සිට ම ප්‍රතිකාර කළ හැකි වීම සහ යම් පිරිසකට රෝග ලක්ෂණ පහළ නො වීමත් විශේෂ කරුණක්.
 
මෙවැනි තත්ත්වයක් තුළ සාමාන්‍ය පුද්ගලයන් බිය වීම (anxious) සාමාන්‍ය තත්ත්වයක්. එය පහසුවෙන් කළමනාකරණය කර ගත නොහැකියි. මෙවැනි අවස්ථාවක පුද්ගලයන් විවිධ බඩු භාණ්ඩ ඕනැවට වඩා රැගෙන ගොඩගසා ගැනීමට උනන්දු වෙනවා. කඩසාප්පුවල බඩු භාණ්ඩ දවසට දෙකට බලා ඉද්දි ඉවර වෙනවා. මෙය එම රෝගය පිළිබඳව බිය අඩු කර ගන්න කරන උත්සාහයක්. එය රෝගය ව්‍යාප්තිය සමඟ ඇඳිරිනීතිය දික් කළොත් කන බොන දේ නැති වේවි කියා ඇති වන බියක් නිසා කරන්නක්. මෙය හැඳින්විය හැකි වන්නේ  panic buying එනම්  බිය නිසා ද්‍රව්‍ය අනවශ්‍ය තරම් මිල දී ගැනීම වශයෙන් . මේ මිල දී ගැනීම  නිසා ස්වාභාවිකව ම පුද්ගලයන්ගේ බිය අඩුවෙනවා .
 "ඇඳිරි නීතිය තව දික් කළාට අපට නම් ප්‍රශ්නයක් නෑ...... මාසෙකට ඇති වෙන්න බඩු තියනවා. " යන සිතුවිල්ල නිසා බිය පහවෙනවා.  මේ තත්ත්වය යටතේ විෂබීජ නාෂක  සබන් වර්ග මිල දී ගැනීමටත්, අලෙවියටත්, පෙලඹී සිටීම උදාහරණයක් ලෙස ගන්න පුළුවන්. ප්‍රචාරක දැන්වීමේ දුටු ආකාරයට නියමිත විෂබීජ නාශක තම නිවසේ හෝ සේවා ස්ථානයේ ඇති බවත් ඒවා තමන් පාවිච්චි කරන නිසා බිය වීමට දෙයක් නැති බවත්  සිතෙනවා. එනිසා පුද්ගලයාට මානසිකව ස්වයං ආරක්ෂාකාරී බවක් ගොඩනැඟෙනවා.
 
 රෝගය ගැන මාධ්‍ය මඟින් මතු කරන ගැටලු අසන දකින විට යළි බිය ඇති වෙන්න පුළුවන්. ඒ නිසා අන් අය ඇසුරු කිරීමට ඇති තහංචි ගැන සිතනවා. මිනිසා ස්වාභාවිකවම සමාජ සම්බන්ධතා සමඟ ජීවත් වීමට කැමති, පුරුදු කෙනෙක් බැවින්  මෙම තත්ත්වය තුළ (Social being)  අහිමි වීම ඔහුගේ ආතතියට බලපානවා.
 
තවදුරටත් අප තෙරුම් ගත යුතු දෙයක් තමයි ගැටලු සහගත තත්ත්වය සඳහා පුද්ගලයන් ගේ මුහුණ දීමේ හැකියාව එකිනෙකාට වෙනස් වන බව. සමාජයක් හැටියට ආතතික තත්ත්වයන්ට මුහුණදීමේ  හැකියාව මෙවැනි අවස්ථාවක දී ඉතා වැදගත්. ඒ නිසා මෙවැනි අවස්ථාවක දී විෂාදය වැනි තත්ත්ව ඇති වෙන්න පුළුවන්. එයට හේතුව වසංගත තත්ත්වයක් තුළ මනෝ විද්‍යාත්මක වගේ ම සමාජ විද්‍යාත්මක බලපැම් ද පුද්ගලයන්ට ඇති විය හැකි වීම.
 
කොරෝනා වෛරසයේ ක්‍රියාකාරීත්වය සමග වගේ ම එහි පැතිරීමත් සමග බොහෝ දෙනා අතර බියක් හට ගන්නවා. එහි දී එම තත්ත්වයට ශක්තිමත් ලෙස මුහුණදීමට ගත යුතු ක්‍රියා මාර්ග හඳුනා ගැනීම වැදගත්.එම ක්‍රියාමාර්ග වන්නේ ;
 
* පළමුව මෙම රෝග තත්ත්වය හඳුනා ගැනීම.
බොහෝ රෝගීන්ට පහළ වන්නේ සුළු සුළු රෝග ලක්ෂණ. රජය සහ අදාළ ක්ෂේත්‍ර මැනවින් ක්‍රියාකාරී වීම (මානව සහ භෞතික සම්පත්)  අත්‍යවශ්‍ය දෙයක්. ඒ වගේම වයස්ගත හා දුර්වල සෞඛ්‍ය තත්ත්වය සහිත අය ගැන විශේෂ අවධානය වැදගත්. ඒ අය ගැන අවබෝධයෙන් පවුල තුළ හා සමීපතමයන් ගේ ආරක්ෂාව වෙනුවෙන් ගත යුතු, ගත හැකි පියවර ගැනීම අවශ්‍ය වෙනවා.
 
*තොරතුරු දැන ගැනීම සඳහා විශ්වාසවන්ත, නිවැරැදි හා වගකීමක් සහිත මාධ්‍ය පමණක් භාවිතයට නැඹුරුව හා හුරු වීම,  සමාජ  මාධ්‍ය ජාලා ආදිය මඟින් ලැබෙන තොරතුරු ගැන මනා කල්පනාවෙන් අවශ්‍ය දේ පමණක් උකහා ගන්න ඕනෑ. අනවශ්‍ය ලෙස සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරීමෙන් වැළකීම අවශ්‍යයි. තමා අවට සිටින, ඇසුරු කරන අයට ද එම පිළිවෙත  අනුගමනය කිරීමට  උදව් කිරීම හොඳයි. අදාළ වෘත්තිකයන්ගේ අදහස් හා උපදෙස් ලබා ගැනීම සුදුසුයි. දැනට නිවෙස්වලට ම සිරවී සිටීමේ දී මානසික ආතතිය අවම කර ගැනීම සඳහා  දුරකථනය හා වෙනත් විද්‍යුත් මාධ්‍ය භාවිතා කිරීමට පුළුවන්.    
 
*ඉහත කාරණාවලට අමතරව යම් අයෙකුට, උසුලා ගත නො හැකි, දරා ගැනීමට අපහසු තරම් යැයි සිතෙන අසහනකාරී, නොසන්සුන්, භීතිය වැනි හැඟීම් ඇති යැයි සිතේ නම් අදාළ වෘත්තිකයන්ගේ සහාය හා උපදෙස් ගැනීම අවශ්‍යයි.  රජය හා සෞඛ්‍ය අංශ ඇතුළු කොරෝනා වසංගතය මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක අංශ මඟින් දී ඇති දුරකථන අංක ඇමතීමෙන් ද ඒ සඳහා උපදෙස් ගත හැකි වෙනවා.
 
නමුත් මෙහි දී අප සැලකිය  යුතු වැදගත් දෙයක් නම් මෙම  "කොරෝනා වසංගතය" ගැටලුවට පෙරත් කාංසාව, විෂාදය වැනි තත්ත්ව හෝ වෙනත් මානසික ගැටලු තත්ත්වයන්ට අදාළ තැනැත්තා  මුහුණ දී ඇති ද යන්නයි. මාධ්‍ය ඉතා සීමිතව පරිහරණය  කිරීම වැදගත්. එසේ මාධ්‍ය මඟින් උකහා ගන්නා දෙයින් අත්‍යවශ්‍ය  යැයි හැඟෙන දේ පමණක් පවුලේ අයටත්, සමීපතමයන්ටත් දීම වැදගත්. ඉදිරියට සිදුවිය හැකි හානිය, විපත පිළිබඳව වුවමනාවට වඩා අධිතක්සේරුවකට පැමිණීම (over estimate) සුදුසු නෑ. කෙනෙකුට ඊට අනුගත වීමට අපහසුතාව තියෙන්න පුළුවන්.
 
* ආතතික තත්ත්ව සමනය කර ගැනීම සඳහා පහත සඳහන් ක්‍රියාකාරකම් සුදුසුයි.
 
*සරල ශ්වසන අභ්‍යාස කරන්න. උදා : හුස්ම ඉහළට ගැනීම, හෙමින් හුස්ම ඉහළට ගැනීම, කෙටි කාලයක් හුස්ම රදවා තබා ගැනීම.
 
*හුස්ම පහළට දැමීම, මෙය කීප වාරයක් කරන්න. හුස්ම පිට කිරීමේ දී වැඩි කාලයක් රැගෙන පිට කිරීම ද   ආතතිය අඩු කිරීමට හේතු වෙනවා.
 
* හොඳ සෞඛ්‍ය පුරුදු  ඇති කර ගැනීමටත් අන් අයට ඇති කරවීමටත් මෙය කදිම අවස්ථාවක්. රජයේ සෞඛ්‍ය උපදෙස් පරිදි නිවසේ රැදී සිටීම, මනා ආහාර පුරුදු වැදගත්. හැකි උපරිම ආකාරයට දින චර්යාව ක්‍රියාත්මක කිරීම, හැකි සරල ව්‍යායාමවල යෙදීම, දුම්පානයෙන් ඈත් වීම, මත්ද්‍රව්‍යවලින් වැළකීම අවශ්‍යයි.
 
කරුණාතිලක හඳුන්පතිරණ  

නව අදහස දක්වන්න