නායකයන්‍‍ගේ එකඟතාව! | දිනමිණ

නායකයන්‍‍ගේ එකඟතාව!

අගමැතිවරයා‍ගේ ප්‍රධානත්ව‍යෙන් පැවැති පක්ෂ නායකයන්ගේ සාකච්ඡාව සාර්ථක ‍ලෙස අවසන් විය. සාර්ථක යන්‍‍නෙන් අදහස් වන්නේ සාධනීය පියවර ගණනාවක් ඒ තුළ සටහන් වී තිබීම ය. ‍දේශපාලන පරස්පරතාවකින් ‍තොර ව ජාතික අර්බුදයකට මුහුණදීම සඳහා පක්ෂ නායකයන් එකඟවීම පළමු සාධනීය ලක්ෂණය ‍ලෙස සැලකිය හැකි ය. නායකයන් වරින් වර සම්මුඛ වී අවශ්‍ය ‍පොදු තීරණ ගැනීමට කතිකා වීම ‍දෙවන සාධනීය ලක්ෂණය ‍සේ ‍පෙන්වා දිය හැකි ය. රජය ‍කො‍රෝනා මර්දනය සඳහා ‍‍ගෙන යන වැඩසටහන සියල්ලන්‍‍ගේ ම පැසසුමට ලක්වීමත්, ඊට කිසිදු ‍‍භේදයකින් ‍තොරව සහ‍යෝගය පළ කිරීමත් ‍තෙවන සාධනීය ලක්ෂණය බව කිව හැකි ය. නායකයන්‍‍ගේ හමුවක් පැවැත්වීමට තීන්දු කිරීම පවා වැදගත් බව ‍පෙන්වා දිය යුතු ය.

ශ්‍රී ලංකා‍වේ සාම්ප්‍රදායික ‍දේශපාලනයට අනුව ද, එකි‍නෙක පක්ෂ අතර පවත්නා උග්‍ර තරගයට අනුව ද සලකා බලන විට පක්ෂ නායකයන් එක ‍මේසයකට ගැනීම ද ජයග්‍රහණයකි. ආණ්ඩු‍වේ සදාකාලික සතුරා විපක්ෂය ‍ලෙසත්, විපක්ෂ‍යේ සදාකාලික සතුරා ආණ්ඩුව ‍ලෙසත් සටහන් වී ති‍බේ. ඇතැම් ජාතික අර්බුදවල දී පවා පක්ෂ විපක්ෂ ‍පොදු එකඟතාවකට පැමිණි‍යේ නැත. ආණ්ඩුව ‍හොඳින් කළත්, නරකක් කළත් එය දැඩි ‍සේ වි‍වේචනය කිරීම විපක්ෂ‍යේ කාර්යභාරය විය. ‍කො‍රෝනා වසංගතය හමු‍වේ එම තත්ත්වය තරමක් ‍හෝ ‍වෙනස් වී තිබීම ‍දේශපාලන‍යේ වැදගත් ප්‍රවණතාවක් හැටියට ගත හැකි ය. ‍මේ තත්ත්වය ඉදිරියටත් පවත්වා ගැනීම පක්ෂ නායකයන්ගේ වගකීමක් ‍ලෙස සටහන් කර තැබිය යුතු ය.

‍ලෝක තත්ත්වය විමසන විට ‍පෙනී යන්‍‍නේ බරපතළ අර්බුදයක් අප ඉදිරි‍යෙහි පවතින බව ය. ‍ලෝක බලවතා වූ ‍‍අ‍මෙරිකාව ‍දෙස බැලී‍මෙන් ද තත්ත්වය වටහාගත හැකි ය. ‍මේ වන වි‍‍ට අ‍මෙරිකා‍වේ මුළු ජනගහන‍යෙන් සියයට 90ක් නිවාස අඩස්සි‍යේ සිටින්නේ යැයි කීම අති‍ශයෝක්තියක් ‍නො‍වේ. ‍කො‍රෝනා මරණ වැඩිම රට බවට ද අ‍මෙරිකාව පත් වී ඇත. ‍මේ වන විටත් ර‍ටේ බිලියන 6.6කට රැකියා අහිමි වී ඇත. ‍ආර්ථිකය එක තැන පල්වීමට පටන් ‍ගෙන ඇත. ජන ජවිතය නගා සිටුවීම සඳහා ද ව්‍යාපාර පවත්වා ගැනීම සඳහා ද ආධාර හා සහන ලබාදීමට අ‍මෙරිකානු රජය සිදුව ති‍බේ. ‍සෞඛ්‍ය ක්‍ෂේත්‍ර‍යේ අඩුපාඩු රැසක් ද අ‍මෙරිකාවට දැ‍නෙන්නට පටන් ‍ගෙන ඇත. රුසියා‍වේ වි‍ශේෂඥයන්ගේ සහාය පවා ලබාගන්නට ජනාධිපති ට්‍රම්ප් තීරණය කර ති‍බේ.

අ‍මෙරිකාව ඇතුළු යු‍රෝප‍යේ ධනවත් රටවල් ගණනාවක්ම කම්පනයට පත් වී ඇතැයි කීම ඉතා නිවැරැදි ය. ‍මෙබඳු තත්ත්වයක් යට‍තේ ශ්‍රී ලංකාව වැනි කුඩා රාජ්‍යයන් ක්‍රියාකරන ආකාරය ‍කෙ‍නෙකු‍ගේ විස්මයට ‍හේතු වන්නට පුළුවන. එ‍හෙත් ‍මේ ක්‍රියාවලිය පහසු නැත. එක අතකින් වසංගත තත්ත්වය පාලන කළ යුතු ය. තව අ‍තකින් ජනතාව‍ගේ ‍දෛනික ජීවිතය යථා තත්ත්වයට පත් කළ යුතු ය. තවත් අ‍තකින් ඉදිරි‍යේ මතුවිය හැකි ආර්ථික අර්බුදයට මුහුණදීම සඳහා ‍පෙර සූදානමකින් ක්‍රියා කළ යුතු ය. ‍මේ සෑම එකක්ම අතිශය බරපතළ අභි‍යෝග ‍ලෙස පවතී. අභි‍යෝගවලට මුහුණදී‍‍‍මේ දී සාමූහිකව ක්‍රියා කිරීම අවශ්‍ය ම සාධයක් බව එක්සත් ජාතින්‍‍ගේ සංවිධානය පවා ‍‍‍පෙන්වා දී ති‍බේ. ආණ්ඩුව ක්‍රියා කරන ආකාරය අනුව සාමූහිකත්වය ‍ගොඩනැ‍ගෙන බව ‍පෙ‍නෙන්නට ති‍බේ.

ඇඳිරි නීතිය කවදා ඉවත්වේ ද යන්න ජනතාවගේ මූලික ප්‍රශ්නයකි. එහෙත් ඊට නිශ්චිත පිළිතුරක් ලබාදීම මේ මොහොතේ කළ නොහැකි ය. ඇතැම් පුරෝකථනවලට අනුව තව මාස කිහිපයක් ඇඳිරි නීතිය අල්ලා සිටින්නට පුළුවන. අමෙරිකාවේ පර්යේෂණ ආයතනයක් පෙන්වා දෙන අන්දමට කොවිඩ් 19 ‍වයිරසය මුළුමනින්ම පරාජය කිරීම සඳහා වසරකට වැඩි කාලයක් ගතවනු ඇත. සුප්‍රකට විචාරක නොම් චොම්ස්කිගේ කියමනකට අනුව නව ලිබරල්වාදය තුළ අර්බුදවලට කෙටි කාලීන විසැඳුම් ඇත්තේම නැත. එම විග්‍රහයට අනුව ලෝකයේ විශාල ප්‍රමාණයක් කොරෝනා වසංගතයෙන් මරණයට පත් වනු ඇත. එම මතවාදය පිළිගත්ත ද නොපිළිගත්ත ද රෝගය නිසා විශාල විනාශයක් සිදුවන බව සත්‍යයකි.

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පවතින පුරෝකථනවලට අනුව සති කිහිපයකින් අර්බුදය අවසන් වන්නේ නැත. මෙහි අර්බුදය යන්නෙන් අදහස් වන්නේ රෝග පාලනය පමණි. කොරෝනා වයිරසය වට කිහිපයකින් රෝග ව්‍යාප්තිය ඇති කරන බව විශේෂඥයන්ගේ මතය වෙයි. අප දැන් පසු වන්නේ දෙවන වටයේ ආරම්භක අවස්ථාවේ යැයි සිතන්නට පුළුවන. අද පවතින තත්ත්වයට අනුව රෝග වාහකයන් සුළු ප්‍රමාණයක් සමාජය තුළ සංචරණයේ යෙදෙන්නට පුළුවන. මේ පිරිසගේ චර්යා රටාවලට අනුව රෝග ව්‍යාප්තිය හෝ නිවාරණය හෝ පිළිබඳ සාධක මතු වනු ඇත. රජයේ වගකීම සේම ජනතාවගේ යුතුකම ද මෙහිලා අතිශය වැදගත් බව සියල්ලන් ම වටහා ගත යුතු ව තිබේ.

ජාතික විපත්තියක දී සහන සැලසීම හෝ ආධාර ලබාදීම හෝ සියයට සියයක් නිවැරැදි ව කළ හැකි නොවේ. ඒවා තුළ විවිධ අඩුපාඩු තිබෙන්නට පුළුවන. ප්‍රමාදවීම් තිබෙන්නට පුළුවන.ඒ ගැන පැමිණිලි කිරීම වැරැදි නැත එහෙත් විරෝධතා දැක්වීම හා වැඩසටහන් කඩාකප්පල් කිරීමට ක්‍රියාකිරීම බරපතළ වැරැද්දකි. ජනතාව මේ මොහොතේ යම් යම් දේවල් දරා ගැනීමට ද පුරුදු විය යුත්තේ සියල්ල ජනතාවගේ ම යහපත වෙනුවෙන් සිදුවන නිසා ය. රජය, ආරක්ෂක අංශ, සෞඛ්‍ය සේවාව, ජන මාධ්‍ය කොරෝනා වසංගතය පිටුදැකීම සඳහා බලවත් පරිශ්‍රමයකින් ක්‍රියාකරන බව පෙනෙන්නට ඇති යථාර්ථය වෙයි. ජනතාව ඉහත කී අංශවල කැපවීම ආදර්ශයට ගනිමින් හෝ තමන්ගේ චර්යා රටාවන් යහපත් තැනකට ගෙන යා යුතුව තිබේ.

දේශපාලනඥයින් සේම රජයේ නිලධාරීන් ද සාධනීය තත්ත්වයක සිට අර්බුදය පිටු දැකීමට ක්‍රියාකරන බව පැහැදිලි ය. ජනතාව ද සිය යුතුකම් ඉටු කරන තැනකට ප්‍රවේශ වුවහොත් වැඩි කල් නොයාම සටන ජයගත හැකි ය.

නව අදහස දක්වන්න