කොරෝනා සටනට සහයට බට්ලර්ගේ ජර්සිය වෙන්දේසියේ | දිනමිණ

කොරෝනා සටනට සහයට බට්ලර්ගේ ජර්සිය වෙන්දේසියේ

නිරෝෂන් ප්‍රියංකර

කොරෝනා වෛරසයට එරෙහි සටනට ලොව පුරා සියල්ලන් හැකි අයුරින් දායක වෙද්දී ක්‍රීඩා පිටියට ලද විරාමය හේතුවෙන් ක්‍රීඩකයන්ද සිය දායකත්වය ලබාදීමට කටයුතු කරමින් සිටී. මේ සටනට සහය වීම සඳහා එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ කඩුලු රකින ක්‍රීඩක ජොස් බට්ලර් සිය ක්‍රීඩා ජර්සියක් වෙන්දේසි කිරීමට කටයුතු කර තිබේ.

පසුගිය වසරේ පැවැති එක්දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ශූරතාව දිනාගත් කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයකු වු බට්ලර් එහි අවසන් මහ තරගයේදී ඇඳ සිටි ක්‍රීඩා ජර්සිය මෙලෙස වෙන්දේසියේ දමා ඇත.

29 හැවිරිදි බට්ලර් මේ අවසන් තරගයේදී අර්ධ ශතකයක් රුස්කළ අතර සුපිරි පන්දු වාරය දක්වා ඇදී ගිය තරගයේ අවසන් පන්දුවෙන් නවසීලන්ත පිතිකරු මාර්ටින් ගප්ටිල් දුවද්දී දවා ගනිමින් එංගලන්තයට ශූරතාව අත්කරදීමට දායක විය.

ලෝක කුසලානය ජයගත් එංගලන්ත සංචිතයේ සියලුම සාමාජිකයන් විසින් අත්සන් තබා ඇති මේ ක්‍රීඩා ජර්සිය වෙන්දේසියෙන් ලැබෙන සියලුම මුදල් රාජකීය බ්‍රොම්ප්ටන් සහ හෙයර්ෆීල්ඩ් රෝහල්වලට ආධාර ලෙස ලබා දෙන බව විඩියෝවක් නිකුත් කරමින් බට්ලර් කියා සිටී.

'පසුගිය සතියේ එම රෝහල් දොකෙන් හදිසි ආයාචනයක් කළා කොරෝනා රෝගීන්ට පෙණහැලි සහ හදවත් ප්‍රතිකාර සඳහා අවශ්‍ය වන ජීවිතාරක්ෂක උපකරණ ලබා දෙන ලෙසට. ඉදිරි සති කිහිපය හා මාසවල දී ඔවුන්ට ඊටත් වඩා අපේ සහාය අවශ්‍ය වේවි.' බට්ලර් පවසයි.

 

නව අදහස දක්වන්න