ශ්‍රී ලාංකීය ජාතිය ව්‍යසනයට නො බියව මුහුණ දෙනවා | දිනමිණ


 

ශ්‍රී ලාංකීය ජාතිය ව්‍යසනයට නො බියව මුහුණ දෙනවා

දුමින්ද අලුත්ගෙදර

ලොව පුරා බිහිසුණු වසංගතයක්ව පැතිර යන කොරෝනා (Covid - 19) වෛරසය මිනිස් මරණ හතළිස් දහසද ඉක්මවා ගොස් තිබීම ඛේදයකි. ධනවත් රටවල් පවා වෛරසයට පරාජය වෙත්දී ශ්‍රී ලාංකීය ජාතිය ව්‍යසනයට නො බියව මුහුණ දෙන බව දක්නට ලැබීම සතුටට කරුණකි. වත්මන් රජය ද විටින් විට මහජනතාව ආරක්ෂා කර ගැනීමේ ක්‍රියාදායමයන්ට යොමු වෙත්දී ලාංකීය ධනපතියන් තම නිවෙස් පවා නිරෝධායන කටයුතුවලට පරිත්‍යාග කරන්නට උත්සුක වූ බව පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය.

තිස් වසරක යුද්ධයකට මුහුණ දුන් ශ්‍රී ලාංකිකයන් අභිමානයෙන් තම රටට එන කවර ව්‍යසනයකදී වුව මුහුණ දුන් සේම පරිත්‍යාගශීලීන් බව ඔප්පු කළ අවස්ථාද අපමණ ය. ලෝකයට කුඩා රටක් වුව ලෝකයට ම ආදර්ශ සපයන උතුම් ජාතියක් වෙසෙන රටක් බව ඔප්පු කරන්නට ශ්‍රී ලාංකිකයන්ට හැකි වූයේ පළමු කොරෝනා රෝගියා වූ චීන කතට ප්‍රතිකාර කර මෙරටින් පිටමන් කරන්නට සෞඛ්‍ය අමාත්‍යවරිය ගත් උත්සාහය නිසාවෙනි.

කෙසේ නමුත් අද වන විට ශ්‍රී ලංකාව පුරා වෛරසය ව්‍යාප්ත වීම වැළැක්වීමට ගෙන ඇති පියවරයන් සාධනීය බව ජනතා හඬින් ම ඇසෙන්නට වීම සතුටට කරුණකි. බොහෝ දෙනෙක් තම ධන දේපළ පරිත්‍යාග කළ බව දක්නට ලැබෙන විට හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති නීතිඥ නිශාන්ත සඳබරණ මහතා තමාට අයත් මහල් තුනකින් යුත් නිවසක් නිරෝධායන කටයුතු සඳහා රජයට පරිත්‍යාග කොට තිබේ.

ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කර ගැනීමට වත්මන් රජය ගන්නා උත්සාහයට අත්වැළක් වෙමින් තමන් තම නිවස පරිත්‍යාග කළ බව දිනමිණට අදහස් පළ කළ ලංකා ලුණු සමාගමේ සභාපති නීතීඥ නිශාන්ත සඳබරණ මහතා පෙන්වා දුන්නේ රටේ පවතින වත්මන් තත්ත්වය තමන්ට හොඳින් තේරුම් ගත හැකි බවයි. “මේ රට යුද්ධයක් අවසන් කරපු රටක්. එදා රාජපක්ෂවරු ඒ ව්‍යසනය වැළැක්වුවා. ඒ නිසා මට රජය ගැන විශ්වාසයි. යුතුකම් කියන ඒවා ඉටු කරන්න තමන්ගෙ ළඟට ම අනතුර එනකල් බලා ඉන්න අවශ්‍ය නැහැ“ සභාපතිවරයා පෙන්වා දෙන්නේ වත්මන් ජනපතිවරයා ඇතුළු පිරිස කොරෝනා වෛරසය මැඩ පැවැත්වීමට ගන්නා උත්සාහයට තමන්ගේ දායකත්වය ලබා දිය යුතු බව ය.

රජයේ වගකිව යුතු ආයතනයක ප්‍රධානියෙක් ලෙස තමන් අන් අයට ආදර්ශමත් විය යුතු බව ද පෙන්වා දෙන ලුණු සංස්ථාවේ සභාපතිවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ තමන්ට සිදුවන ආර්ථික අලාභය පිළිබඳ කිසිසේත් සැලකිල්ලක් නොදක්වන බව යි. සෞඛ්‍ය අමාත්‍යාංශය ගන්නා සෑම පියවරක් ම තමන් අගය කරන බව ද ඔහු පවසන්නේ ය. තමන්ට අයත් කොළඹ - කතරගම පරණ පාරේ රන්න නගරය පසුකර හුංගම දෙසට ඇදෙන විට කහදමෝදර හංදියත් අගුණුකොළේ හංදියත් අතර පිහිටි මහල් තුනකින් යුත් නිවස පරිත්‍යාග කොට තිබීම යහපත් ය. නිදන කාමර 8ක් සහ නානකාමර 5ක් ද ඇතුළුව ජල විදුලි පහසුකම් සහිත මේ නිවස අද වන විට නිරෝධායන කටයුතු සඳහා පරිත්‍යාග කිරීම බෙහෙවින් ආදර්ශමත් ක්‍රියාවක් ලෙස සැලකිය හැකිය.

මේ වන විට රජය ගෙන ඇති සෑම පියවරක් අනුව ම ජනතාව පෙළ ගැසෙන්නේ නම් කොරෝනා වෛරසය ඉතා පහසුවෙන් මැඩ පැවැත්විය හැකි බව පෙන්වා දෙන ඉහත කී සභාපතිවරයා පෙන්වා දෙන්නේ ඉතාලියේ සිට මෙරටට ආ අපේ ම ජනතාව රෝගය වසන් කරන්නට උත්සාහ කිරීම අමනෝඥ ක්‍රියාවක් බව යි. “තමන්ට හැදිලා තියෙන්නේ HIV නෙවෙයි. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. විශ්ව ශක්තිය ගැන අපි කතා කරනවා. අපි බුදුන් විශ්වාස කරනවා. ඒ නිසා අපි රජය, සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් හරිහැටි පිළිපඳිනවා නම් වෛරසය පැතිරීම වළක්වා ගන්න ලෙහෙසියෙන් පුළුවන්“ නිශාන්ත සඳබරණ මහතා අතට අත දීම ගැන රජයක් ලෙස කතා නො කිරීම ගැන කනගාටුවන බව ද සඳහන් කරන්නේ හෙළ සංස්කෘතිකාංගයක් වන ආයුබෝවන් කීම කොතරම් ප්‍රියමනාප ද යන්නත්, ආරක්ෂිත ද යන්නත් ගැන නැවත හැරි බලන්නට කාලය උදා වී ඇති බව පෙන්වා දෙමිනි. කොරෝනා වෛරස ව්‍යාප්තියෙන් පසු ශ්‍රී ලාංකික සංස්කෘතිකාංග ඉස්මතු වීම ද දෛවෝපගත ය.

පවතින ව්‍යසනය නිසා ම බ්‍රිතාන්‍ය චාල්ස් කුමරු පවා අද වන විට දෑත් එකතු කොට ආචාර කරන තැනට පත්වීම ලාංකීය ජනතාව ලෙස අපට ආඩම්බර විය යුතුය. අපගේ පැවැති හෙළ වෙදකම් සහ ආචාර විධි ක්‍රම ලෝකය වැළඳ ගන්නා තැනට පත්වී තිබීම ජාතියක් ලෙස අප ආඩම්බර විය යුතු ය. දේශීය වෛද්‍ය ක්‍රමය ගැන පවා සැලකිය යුතු අවධානයක් යොමු කිරීමේ කාලය එළැඹ තිබෙන බව පසක් වී තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් පළ කරන නිශාන්ත සඳබරණ මහතා පෙන්වා දෙන්නේ මේ ව්‍යසනය අපගේ හෙළ සංස්කෘතිකාංග මෙන්ම හෙළ වෙදකම් ලෝකයට ගෙන යන මඟ විවර කරන අවස්ථාවක් බව ය. සිංහල අලුත් අවුරුද්දක් ළඟ එන සතුට අහිමි වූයේ අද ඊයේ නොවන බව ද පෙන්වාදුන් සභාපතිවරයා දේශීයත්වය අහිමි වූදා සිට සිහල ජාතිය සතුටින් ජීවත් නොවූ බව පෙන්වා දෙන්නේ ය. අප සියල්ලෝ ම එකාවන්ව එකට එකතු වී හෙළ සිරිත් විරිත් ඉදිරියට ගැනීමෙන් ඕනෑ ම ව්‍යසනයකට ශ්‍රී ලාංකිකයන්ට හොඳින් මුහුණ දිය හැකි බව නැවත සිතා බැලීමට කාලය එළඹ ඇත.

කෙසේ නමුත්, ලාංකිකයන්ගේ පරිත්‍යාගශීලී බව ඉතා යහපත් බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පෙන්වා දෙනවා. ඒ මහතා ට අනුව බොහෝ දෙනෙක් මේ වන විටත් කොරෝනා වෛරස ආසාදනය වැළැක්වීම වෙනුවෙන් නිරෝධායන කටයුතු සඳහා තමන්ගේ නිවෙස් සහ ගොඩනැඟිලි පරිත්‍යාග කොට ඇත. “ලුණු සංස්ථාවේ සභාපතිවරයා කරපු සද්ක්‍රියාව ඉතාමත් අගේකොට සලකනවා. මේ වෙලාවේ අපිට ඕනෑ කරලා තියෙන්නේ ඒ වගේ ආදර්ශමත් පුද්ගලයන්. අපි හැමෝට ම ජාතික වගකීමක් මේ වෙලාවේ තියෙනවා.

මේ වෙලාවේ මට කුමක් කළ හැකිද යන්න ගැන හැමෝම හිතන්නට ඕනෑ“ වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ මේ මොහොතේ සැමට ම ජාතික වගකීමක් ඇති බව ය. ජනතාව වුව මේ මොහොතේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් අනුව කටයුතු කළ යුතු ය. මෙවැනි ව්‍යසනයක දී අදුරු පැතිකඩ සේම යහපත් පැතිකඩයන් ද ඉස්මතු වීම ස්වභාවික යි. ‘‘ ශ්‍රී ලාංකික අපි තවමත් ආකල්පමය වශයෙන් පොහොසත්. GMOA එක විදිහට අපි මේ දේවල් බොහොම ඉහළින් අගය කරනවා‘‘යැයි පවසන වෛද්‍යවරයා පෙන්වා දෙන්නේ වෛද්‍යවරුන් ප්‍රතිකාරවලට එහා යමින් ඇඳුමක් පවා නිර්මාණය කිරීමට පෙළඹීම පෙන්නුම් කරනුයේ ශ්‍රී ලාංකිකයන් කොතරම් ධෛර්යසම්පන්න ජාතියක් ද යන වග ය.

“ජනතාව ආරක්ෂා කරගැනීමට රජය ඇඳිරි නීතිය පනවලා තියෙනවා. ඒ නිසා ඊට අනුගත වෙලා උපරිම සහය ලබා දෙන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ඒ වගේ ම ත්‍රිවිධ හමුදාවේ උපදෙස් මත පමණක් පිටත ගමන් බිමන් යෑම ඉතාමත් වැදගත්. අවදානම් පුද්ගලයන් කවුරුන්ද යන්න හොඳින් හඳුනාගෙන ඔවුන් රැක බලා ගැනීම නිවෙසේ සාමාජිකයන්ගේ වගකීමක්. ඒ නිසා ජනතාවගෙන් ඉල්ලීම් කරන්න තියෙනවා. මේ මොහොතේ ඇඳිරි නීතිය ඉවත් කළත්, බැහැරට යා යුත්තේ නිරෝගී අයෙක් ඒ නිසා උපරිමයෙන් තමන්ගේ නිවැසියන් සහ තමන් වෙසෙන සමාජය ආරක්ෂා කරගැනීමේ වගකීම ඇත්තේ තමන්ට යැයි සිතා වගකීමෙන් කටයුතු කරනවා නම් රජයට මේ ව්‍යසනය ඉතා ඉක්මනින් මැඩපවත්වන්න පුළුවන්‘‘ යැයි රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඉල්ලීම් කරන්නේ නිවසේ වෙනෙසන වයෝවෘද්ධ රෝගීන් රැක බලා ගැනීමේ වගකීම තරුණ කොටස්වල මූලික වගකීමක් ලෙස සලකා කටයුතු කරන්නේ නම් යහපත් බව ය.

 

නව අදහස දක්වන්න