ලෝක බැංකුවෙන් ලංකාවට කෝටි 2,443ක සහන ණයක් | දිනමිණ


 

ලෝක බැංකුවෙන් ලංකාවට කෝටි 2,443ක සහන ණයක්

මහින්ද අලුත්ගෙදර

කොරෝනා හදිසි ප්‍රතිචාර හා සෞඛ්‍ය අංශ සූදානමට

*IBRD වෙතින් ඩොලර් මිලියන 23ක් හා IDA වෙතින් ඩොලර් මිලියන 93.6ක් ඒ අතර

*වෛරසය ආසාදනය වූවන් අඩු කිරීම හා පැතිරවීම වැළැක්වීමටත් සහාය

*ජාතික බෝ වන රෝග විද්‍යායතනයටත් පහසුකම්

*ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට ජෛව ආරක්ෂක තුන්වන මට්ටමේ රසායනාගාරයක්

කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතයෙන් ශ්‍රී ලංකාවට වන බලපෑම අවම කිරීමේ අරමුණින් හදිසි ප්‍රතිචාර දැක්වීම සහ සෞඛ්‍ය අංශ සූදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 128.6ක (රුපියල් කෝටි 2,443) මුදලක් ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබේ. ලෝක බැංකුවේ විධායක අධ්‍යක්ෂකවරුන් විසින් මේ සඳහා අනුමැතිය ලබා දෙන ලද අතර මෙම නව සහන පැකේජය හරහා වෛරසයේ පැතිරීම මන්දගාමී කිරීම, වෛරසය ආසාදනය වූවන්ගේ ප්‍රමාණය අඩු කිරීමට උත්සහ කිරීම සහ සමාජයේ පැතිරවීම වැළැක්වීමට අවශ්‍ය සහාය ලබා දෙනු ඇති බවද ඒ හරහා සමස්ත ශ්‍රී ලාංකික ජනතාවගේම ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කෙරෙනු ඇති බවද ලෝක බැංකුව පැවසීය. මේ යටතේ වෛරසයට හදිසි ප්‍රතිචාර දක්වන ක්‍රමවේද වඩාත් පුළුල් කිරීම, රසායනාගාර සහ රෝහල්වල ධාරිතාවය ඉහළ දැමීම, රෝගීන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දීම, සෞඛ්‍ය සේවකයන්ට අවශ්‍ය පුහුණුව ලබා දීම සහ අත් සේදීම, සනීපාරක්ෂකභාවය සහ සමාජ දුරස්ථභාවය පිළිබඳ ජනතාව දැනුවත් කිරීම යන කාර්යයන් සඳහා සහාය සැපයෙනු ඇත.

කොවිඩ් -19 වෛරසයේ පැතිරීම පාලනය කිරීමට සහ රෝග හේතුවෙන් අනාගතයේ මුහුණ දිය හැකි හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට රට සූදානම් කිරීමට, ලෝක බැංකුව ශ්‍රී ලංකා රජය හා සමීපව කටයුතු කරන බව නේපාලය, ශ්‍රී ලංකාව සහ මාලදිවයින යන රටවල් සඳහා ලෝක බැංකු අධ්‍යක්ෂ ආචාර්ය අයිඩා ස්වරායි රිඩ්ඩිහොග් මහත්මිය පැවසුවාය. ඩ්ඩිහොග් මහත්මිය වැඩිදුරටත් පැවසූයේ මේ වන විටත් ශ්‍රී ලංකාව වෛරසයේ පැතිරීම පාලනයට සහ රටේ ජනතාව ආරක්ෂා කිරීමට පියවර රැසක් ගෙන තිබෙන අතර ඔවුන් විසින් ලබා දෙනු ලබන සහයෝගය මේ වන විට ගෙන ඇති ක්‍රියමාර්ගවලට උපකාරී වනවා මෙන්ම අනාගත අවදානම අවම කිරීමට ද උදව් වනු ඇති බවට විශ්වාස කරන බවයි.

මෙම ව්‍යාපෘතියට ප්‍රතිසංස්කරණ සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව (IBRD) විසින් COVID-19 කඩිනම් සහන ක්‍රියාවලිය යටතේ ලබා දෙන ඩොලර් මිලියන 35ක ණය මුදලක්, ලෝක බැංකුවේ සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට සහනදායී පදනම මත ණය ලබා දෙන ක්‍රියාවලිය යටතේ ජාත්‍යන්තර සංවර්ධන සංවිධානය (IDA) විසින් ලබා දෙනු ලබන ඩොලර් මිලියන 93.6ක ණය මුදලක් අන්තර්ගත වන අතර මෙම ව්‍යාපෘතිය සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යංශය විසින් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ සංවිධාන සහ වෛරසය පැතිරීම වැළැක්වීමට කටයුතු කරන අනෙකුත් ආයතන හා එක්ව ක්‍රියාත්මක කරනු ඇත.

මෙම ව්‍යාපෘතිය හරහා වඩාත් ශක්තිමත්ව කොවිඩ් -19 වෛරසයේ බලපෑමට ප්‍රතිචාර දැක්වීමට රජයට හැකි වනු ඇති අතර ව්‍යාපෘතිය යටතේ කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කරන ප්‍රධාන ස්ථානය වන ජාතික බෝ වන රෝග විද්‍යායතනය වැනි දැනට පවතින ආයතනයන් හි පහසුකම් වැඩි දියුණු කිරීමට ද කටයුතු කරයි. මීට අමතරව වෛරස හා බැක්ටීරියා පිළිබඳ පර්යේෂණ කිරීමට ලංකාවේ ප්‍රමුඛතම පර්යේෂණ මධ්‍යස්ථානය වන ජාතික වෛද්‍ය පර්යේෂණ ආයතනයට පළමු වරට ජෛව ආරක්ෂක තුන්වන මට්ටමේ රසායනාගාරයක් ලබා දීම ද ව්‍යාපෘතිය යටතේ සිදු කෙරෙනු ඇත.

මේ අතර ගෝලීය අභියෝගයක් බවට පත්ව ඇති කොවිඩ් -19 වෛරසය මැඩලීමට සංවර්ධනය වෙමින් පවතින රටවල්වලට සහාය වීමේ අරමුණින් ලෝක බැංකුව ඩොලර් බිලියන 14ක‌ කඩිනම් සහන පැකේජයක් ලබා දීමට කටයුතු කර තිබේ. මේ යටතේ වෛරසයට එරෙහි සටනට වඩා ශක්තිමත්ව මුහුණ දීමට මෙන්ම ඉතා කෙටි කාලයක් තුළ රටවල් යථා තත්ත්වයට ගෙන ඒමට අවශ්‍ය සහාය සැපයෙනු ඇත. මෙසේ ලබා දෙන ක්ෂණික සහාය යටතේ වෛරසය හේතුවෙන් රටවල්වලට වන ආර්ථික හා සෞඛ්‍ය බලපෑම අවම කිරීම සඳහා අවශ්‍ය වන මූල්‍යමය සහාය ප්‍රතිපත්ති සම්පාදන සහාය සහ තාක්ෂණික සහයෝගය ලබා දීමට ද කටයුතු කෙරේ. ගෝලීය වසංගතයෙන් පීඩාවට පත් පෞද්ගලික සමාගම්වලට සහාය වීමට සහ රැකියා සුරැකීමට ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IFC) විසින් ඩොලර් බිලියන 8ක මූල්‍ය සහාය සපයයි.

IBRD සහ IDA විසින් රටවලට වසංගතයට එරෙහිව සෞඛ්‍ය ප්‍රතිචාරය ආරම්භ කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 6ක් මුලින් ලබා දෙයි. අනාගතයේ දී රටවල්වලට පුළුල් සහයෝගයක් අවශ්‍ය බැවින්, දුප්පතුන් හා අවදානමට ලක් වූවන් ආරක්ෂා කිරීම, ව්‍යාපාර සඳහා ආධාර කිරීම සහ ආර්ථික ප්‍රතිසාධනය ශක්තිමත් කිරීම සඳහා ලෝක බැංකු සමූහය මාස 15ක් තුළ ඩොලර් බිලියන 160ක් යොදවනු ඇත.

නව අදහස දක්වන්න