කොරෝනා වෛරසය පාලනය අතරේ දේශපාලන වෛරස් පතුරන්නන් පැරදවිය යුතුයි | දිනමිණ


 

කොරෝනා වෛරසය පාලනය අතරේ දේශපාලන වෛරස් පතුරන්නන් පැරදවිය යුතුයි

අසේල කුරුළුවංශ

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද නාහිමි

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද පැසසුමට පාත්‍ර වන අයුරින් රජය සාර්ථකව කොරෝනා වෛරසය පාලනය කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයන් කොරෝනා වෛරසයට අමතරව දේශපාලන වෛරස් ද පතුරුවා හරිමින් රට ව්‍යාකූලත්වයට පත් කිරීමට ගන්නා වෑයම පරාජය කළ යුතු බව අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද නාහිමියෝ පවසති.

ජනපති, අගමැති, සෞඛ්‍ය හා ආරක්ෂක අංශ එකට කටයුුතු කරමින් සාර්ථක ලෙස කොවිඩ්-19 වෛරසය රට තුළ ව්‍යාප්ත වීම වැළැක්වීමට සාර්ථකව කටයුුතු කරමින් සිටින මොහොතක පාර්ලිමේන්තුව යළි රැස් කිරීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බවත් ඒ සඳහා හඬ නඟගන පිරිස්වලට ඇත්තේ දේශපාලන අරමුණක් මිස රට මෙම ව්‍යසනයෙන් මුදා ගැනීම නොවන බවත් උන්වහන්සේ කීහ. අස්ගිරි මහා විහාරයීය පිරිවෙණේ දී මාධ්‍යයට ඊයේ (03) විශේෂ ප්‍රකාශයක් කරමින් ආනන්ද නාහිමියෝ මේ බව ප්‍රකාශ කළහ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනපතිවරයාට පැවරී තිබෙන බලතල අනුව පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණය සඳහා දින නියම කර තිබියදී ලෝකය පුරා පැතිර යමින් තිබූ කොරෝනා වෛරස් බලපෑම ශ්‍රී ලංකාවටත් එල්ල වූ බවත් ඉන් මතුව තිබෙන ගැටලුවලට සාර්ථකව මුහුණ දෙමින් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමට රජය සාර්ථකව කටයුතු කරමින් සිටින අවස්ථාවක ඇතැම් දේශපාලනඥයන් පාර්ලිමේන්තුව යළි රැස් කළ යුතු බවට මතවාදයක් ගෙන යමින් සිටින බවත් උන්වහන්සේ කීහ. මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව කැඳවීමෙන් කොරෝනා ප්‍රශ්නයට මෙයට වඩා විසඳුමක් ලබා දිය හැකි යැයි කිසිවකුත් කල්පනා නොකරන බවත් ලෝකයේ සෙසු රටවල් හා සැසඳීමේ දී අප මේ ප්‍රශ්නයට සාර්ථකව විසඳුම් ලබා දෙමින් සිටින බවත් රටම පිළිගෙන තිබෙන බවත් නියෝජ්‍ය ලේඛකාධිකාරී නාහිමියෝ පෙන්වා දුන්හ.

මෙම අර්බුදකාරී වාතාවරණය හමුවේ දේශපාලන ප්‍රශ්න ඇති කර රට ව්‍යාකූලත්වයට පත්නොකරන ලෙස තමන් වහන්සේ පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවද ආනනන්ද නාහිමියෝ පැවසූහ. මේ අවස්ථාවේ රටට ආදරය කරන සැබෑ දේශපාලනඥයන් කළ යුත්තේ බොර දියේ මාළු බාන්නට උත්සාහ නොකර ජනපති හා අගමැති එක්ව ගෙනයන වැඩපිළිවෙළට පක්ෂ බේදයෙන් තොරව සහයෝගය ලබා දීම බවද උන්වහන්සේ අවධාරණය කළහ.

නව අදහස දක්වන්න