සියලු ආගමිකයන්ට ගැටලු ඇති විය හැකියි | දිනමිණ


 

සියලු ආගමිකයන්ට ගැටලු ඇති විය හැකියි

ධනුෂ්ක ගොඩකුඹුර

සමස්තය ගැන සිතා සෞඛ්‍ය විශේෂඥ උපදෙස් මත සෑම විටම කටයුතු කරනවා

අගමැති අවධාරණය කරයි

බෞද්ධ, මුස්ලිම්, කතෝලික සේම අනෙකුත් ආගමිකයන්ටත් පවතින ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ විවිධ ගැටලු ඇති විය හැකි වුවත් සමස්ත සමාජය පිළිබඳ සලකා බලා සෞඛ්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත කටයුතු කිරීමට රජය සෑම විටම පියවර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

කොරෝනා වංසගතයෙන් මරණයට පත්වන මුස්ලිම් පුද්ගලයන්ගේ මෘත දේහ ආගමානුකූලව භූමදානය කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලු මුස්ලිම් පක්ෂ නියෝජිතයන් යොමු කළ ගැටලුවට පිළිතුරු ලබා දෙමින් රාජපක්ෂ මහතා ‍ මේ බව සඳහන් කළේය.

කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවම නිසියාකාර තොරතුරු හඳුනාගෙන නැහැ. එසේම බෝවෙන වෙනත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙන බවත් කොරෝනා වසංගතය පැතිරීමේ අවදානම වළක්වා ගැනීමට සෞඛ්‍ය අංශ දැඩි උත්සාහයක නිරත වන බවත් එහි දී සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය. මෘත දේහ ආදාහනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ සමස්ත තත්ත්වය සලකා බැලිය යුතුය. මෙය සංවේදී කාරණාවක්. එහෙත් අප කටයුතු කළ යුත්තේ සමස්ත ප්‍රජාව පිළිබඳව අවදානය යොමු කරමින් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩි දුරටත් සඳහන් කරයි.

මෙහිදී අදහස් දැක්වූ රවුෆ් හකීම් මහතා,

මෘත දේහ ආදහනය කිරීම පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව නිකුත් කර තිබූ නිර්නායකයන් වෙනස් කරමින් වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ දේහයන් පිළිබඳ කටයුතු කරන ආකාරය වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශයන්ට අනුව ආදාහනය සහ භූමදානය කියන දෙකම කරන්න පුළුවන්.

මීගමුවේ සිදුවීමත් එක්ක සමාජ මාධ්‍ය මහත් ආන්දෝලනාත්මක විදිහට හැසිරෙනවා. එහි දී මම ඉදිරිපත් කරපු කරුණුවලට අනුව මටත් අවලාද නඟමින් ඉන්නවා.

අපි ලෝක ව්‍යසනයකට මුහුණ දී තිබෙන අවස්ථාවේදී මේ වගේ අවශ්‍ය නැති දේවල්වලට තර්ක කරලා වැඩක් නැහැ. මම එහෙම ආන්දෝලනයක් ඇති වෙන්න දෙයක් ප්‍රකාශ කළෙත් නැහැ. අද හැම පක්ෂයක්ම නියෝජනය කරන මන්ත්‍රීවරු මෙතනට ඇවිත් ඉන්නවා. ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිර්නායකයන් වෙනස් කරමින් චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ඒ වගේම මෘත දේහයක් හරහා වෛරසය පැතිරීම මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලිව කියලා තියෙනවා.

එසේ තිබියදී මෙරට සෞඛ්‍ය අංශ කොරෝනා වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයකුගේ අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ නව නිර්නායක නිකුත් කිරීම පිළිබඳ ගැටලුවක් මතුවෙනවා.

පවතින වාතාවරණය අනුව රෝග ලක්ෂණ තිබුණ පුද්ගලයන් වුණත් රෝහල්වලට යන එකක් නැතුව ගෙදරම මැරිලා යන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන් කියන එකයි මගේ අදහස.

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා,

අන්තර්ජාලයේ තිබුණ නිර්දේශ නිත්‍යනුකූල ලියවිල්ලක් නොවෙයි. එය බල සහිතවීමට නම් සෞඛ්‍ය වෛද්‍ය අධ්‍යක්ෂ ජනරාල් විදිහට මගේ අත්සන තිබිය යුතුයි. මගේ අත්සන සහිත නිත්‍යනුකූල ලියවිල්ල ඊයේ ඉදිරිපත් කරනු ලැබුවා. මෙහි දී හිටපු අග්‍රාමාත්‍යවරයාත් තවත් හිටපු ඇමැතිවරු කිහිප දෙනකුත් පරීක්ෂණ පිළිබඳ කතා කළා. මුල් අවස්ථාවේ දී අප උත්සාහ කළේ රටට වෛරසය එන එක වළක්වන්නයි. රට ඇතුළට වෛරසය ආ පසු අපි උත්සාහ කළේ රට තුළ ඒක පැතිරෙන එක වළක්වන්නයි. ක්‍රිකට් මැච් එකක් උදාහරණයට ගත්තොත් අපි එකේදී මුලින්ම උත්සාහ කරන්නේ විකට් එක බේර ගන්නයි. මුලදිම හයේ ඒවා ගහන්න යන්නේ නැහැ. වැඩි පුර පරීක්ෂණ සිදු කළ යුතුයි කියන ක්‍රියා පටිපාටිය එන්නේ දෙවැනි අවස්ථාවටයි. අපි කොහොමද දැන් වයිරස් එකත් එක්ක සටන් කරන්නෙ කියන එකයි දැන් අපි සලකා බලන්නේ. ඒ සියලු කාරණා ගත්තහම මේ වෛරසය සමාජයේ පැතිරීමට කිසිසේත්ම ඉඩ තියන්න බැහැ.

කොරෝනා වෛරසය හඳුනාගෙන තවම මාස තුනයි. මේ වෛරසයේ හැසිරීම පිළිබඳ තවමත් නිසියාකාර තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. මේ වෛරසය බෝවීම පිළිබඳ තවත් ක්‍රම පෙන්නුම් කරමින් තිබෙනවා. වෛරසය පිළිබඳ ඇතැම් තොරතුරු අසත්‍ය බව පේනවා. අවාසනාවන්ත ලෙස වසංගතයෙන් මරණයක් වූ විට අපේ මූලික පරමාර්ථය ඉතාම ඉක්මනින් වසංගතයෙන් මරණයට පත්වූ පුද්ගලයන්ගේ අවසාන කටයුතු සිදු කිරීමයි. එවැනි විටෙක කටයුතු කළ යුතු ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානය නිර්දේශ දක්වා තිබෙනවා. ඒ තුළින් වසංගතය පැතිරී යෑමේ අවදානමක් තිබේ නම් එය වළක්වා ගන්නා අපි උත්සාහ කරනවා.

මෙවැනි මෘතදේහ භූමදානය කිරීමේදී වැඩි කාලයක් ගත වෙනවා සහ ඊට වැඩි පිරිසක් යොදා ගැනීමට සිදුවෙනවා. අද තිබෙන තත්ත්වය අපට පාලනය කරගන්න පුළුවන්. නමුත් අපි නොහිතන විදිහට මරණ සංඛ්‍යාව වැඩිවු‍ණොත් කළමනාකරණය කරගන්න බැරි වෙනවා.

මෘත දේහ ආදාහනය කිරීමේදී ශ්‍රී ලංකාවේ සමස්ත තත්ත්වය සලකා බැලිය යුතුයි. ශ්‍රී ලංකාවේ එක එක ප්‍රදේශවල තත්ත්වය වෙනස්. අපිට කියන්න පුළුවන් යම්කිසි තැනක සුදුසු විදිහට කරන්න කියලා. සමස්ත රටටම ක්‍රියාවලියක් හදන්න අමාරුයි. ඒ වගේම ඇමැතිවරිය කිවුවා වගේ ශ්‍රී ලංකාවේ වතුර මට්ටම තියෙන්නේ ඉහළින්. ඊට අමතරව අපේ පස කබොක් සහ පොහොර පසයි. මේ වෛරසය ඒ පස් ස්ථර හරහා යෑමේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒ වුණත් මීගමුවේ තත්ත්වය නෙවෙයි මඩකලපුවේ තියෙන්නෙ. මඩකලපුවෙ තත්ත්වය නෙවෙයි මාතර තියෙන්නෙ. අපිට මේ කටයුතු කරන්න සිද්ධ වෙන්නේ ප්‍රජාවත් එක්ක. මේක සංවේදී කාරණාවක්.

මීගමුවේ ඇති වූ තත්ත්වය ගත්තොත් මීගමුවේ පොළොවේ වතුර මට්ටම ඉහළ නිසා මෘතදේහය මාලිගාවත්තට ගේන්න උත්සහා කළා නමුත් එතකොට දුර ප්‍රමාණය වැඩියි. අපේ අරමුණ වෙන්නෙ රෝගියා මොන රෝහලේ මිය ගියත් ඒ ළඟම තියෙන ආදාහනාගාරය තුළ අවසන් කටයුතු සිදු කිරීමයි.

උදය ගම්මන්පිල මහතා,

ලෝක සෞඛ්‍ය සංවිධානය කොරෝනා වසංගතයෙන් මරණයට පත්වන පුද්ගලයන්ගේ මෘත දේහය තුළින් වසංගතය ව්‍යාප්ත වන එක මිත්‍යාවක් කියල කියල නැහැ. ඇත්තෙන්ම පසුගිය සෙනසුරාදා ලෝක සෞඛ්‍ය සංවිධානය එළිදැක්වූ වාර්තාවේ තියෙන්නෙ වසංගතය මෘතදේහයක් මගින් බෝවෙන බවට සාක්ෂියක් නැහැ කියන එකයි.

ඒකට හේතුවක් තිබෙනවා. රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන රෝග වාහකයෙක් ඉතා නිදහසේ හැසිරෙන නිසා ඔවුන්ගෙන් වැඩිපුරම බෝවෙන්න පුළුවන්. රෝගීන්ගෙන් වුණත් අපි ප්‍රවේශම් වෙනවා. කොරෝනා රෝගයෙන් මරණයට පත්වූ මෘතදේහයක් සම්බන්ධයෙන් අපි ඉතා විශාල වශයෙන් ප්‍රවේශම් වෙන්න බලනවා. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා මෘතදේහයක් තුළින් රෝගය බෝවෙන බවට සාක්ෂියක් නෑ කියලා. එහෙම නැතුව රවුෆ් හකීම් කියන විදියට මෘත දේහයකින් වෛරසය බෝවෙනවා කියන එක මිත්‍යාවක් කියල ලෝක සෞඛ්‍ය සංවිධානය කිසි තැනක කියලා නැහැ. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉතා නිවැරැදිව කිවුවා මේක අලුත් වෛරසයක් මේ පිළිබඳ නිවැරැදි තොරතුරු අපි ගාව නැහැ කියන එක.

මුලින් කිවුවේ සජීවී දෙයක් මත පමණයි මේ වෛරස් එක පවතින්නෙ කියල නමුත් මේ වෙනකොට අනාවරණය වෙලා තිබෙනවා කාඩ්බෝඩ් මත යකඩ මත ප්ලාස්ටික්වල වැඩි කාලයක් මේ වෛරස් එක සජීවීව පවතිනවා කියලා. සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කිව්වා දැන් සොයාගෙන තියෙනවා කියලා වාතයේ යම් කාලයක් මේ වෛරසය සජීවීව පවතිනවා කියලා.

නමුත් අපිට ආරක්ෂාව සඳහා කළ හැකි ඉහළම දේ ආණ්ඩුවක් වශයෙන් සිදුකළ යුතුයි. අප සෞඛ්‍ය අංශවල අවවාද මත තීරණ ගත යුතුය.

අමැති විමල් වීරවංශ මහතා,

මම දැක්කා ප්‍රවෘත්තිවලට කොහේ හරි ප්‍රදේශයක හාමුදුරු නමක් කියනවා උන්වහන්සේගේ සහෝදරිය වෙනත් ප්‍රදේශයක ඉස්පරිතාලයක මියගියහම ගම්වල මිනිස්සු සැක කළා ඇයට කොරෝනා හැදිලා කියලා. ඇගේ මෘත දේහය ළඟ තියන කනත්තේ වළලන්න ස්වාමීන් වහන්සේ සහ ඥාතීන් තීරණය කළා. හැබැයි ගම්මු ඒකට ඉඩදුන්නේ නැහැ. මේ කාන්තාව කොරෝනා හැදිල ද මරණයට පත් වුණේ කියලා හරියටම දන්නේ නැහැ. ඒත් ගමේ ජනතාව මේ කාන්තාවගේ දේහය වළලන්න ඉඩ දුන්නේ නැහැ. ඉතිං මම හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මක පැත්ත වගේම සමාජය මේ ලෙඩේ දිහා බලන ආකල්පය පිළිබඳත් මෙතන දි සලකන්න ඕනේ. මේක බෞද්ධ ගම්මානයක්. නමුත් ඒ ගමේ අය ඒකට විරුද්ධ වුණේ නෑ. මෙතන තියෙන්නේ ජාතිකත්වය පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. භික්ෂූන් වහන්සේගේ සහෝදරිය වළලනවටත් මිනිස්සු විරුද්ධ වුණා. ඒක තමයි ගැමි සමාජය මේ වංසගතයට ප්‍රතිචාර දක්වන විදිය. මේ සියල්ල සලකා බලලයි මේවා ගැන තීරණ ගන්න ඕනේ. ඒ නිසා ජන සමාජය මේ වසංගතයට ප්‍රතිචාර දක්වන විදිහ පිළිබඳ සියල්ල ගැනම සලකා තීරණයක් ගත යුතුයි.

ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය,

මේ විස බීජය ඉතාම භයානක විස බීජයක්. එහෙම තිබිය දී මුලින්ම මරණයට පත්වූ පුද්ගලයා සම්බන්ධයෙන් පාංසකූලය සිදුකර පින් අනුමෝදන් කරන්න අවශ්‍යයි කියලා බෞද්ධාගමේ ඥාතීන් අපෙන් අවස්ථාව ඉල්ලුවා. නමුත් සෞඛ්‍ය තත්ත්වය සලකා බලා ඒ වෙලාවෙ අපි තීන්දුවක් ගත්තා ඒ වගේ දේකට ඉඩ දෙන්න බැහැ කියලා. ශ්‍රී ලංකාවේ පොළොවේ වතුර මට්ටම අනෙක් රටවලට වඩා උඩින් තියෙන්නේ. ඒ වගේ තත්ත්වයක් තුළ වසංගතයකින් මරණයට පත්වූ පුද්ගලයකුගේ මෘත දේහයක් භූමදානය කිරීම අවදානමක් ගැනීමක්.

මේක ලෝක සෞඛ්‍ය වසංගතයක් නිසා ආගමික කටයුතු එක්ක මේක කරන්න අමාරුයි. මේ වෛරසය පිළිබඳ තවමත් හරියාකාරව තොරතුරු ඉදිරිපත් වෙලා නැහැ. යම්කිසි පරීක්ෂණ වාර්තා අත්හදා බැලීමේ මට්ටමේ තිබෙනවා. ඇතැම් වාර්තා වෙනස් වෙනවා. ඒ නිසා අපට රජයක් විදියට සෑම විටම ජනතාවගේ ආරක්ෂාව පිළිබඳ සැලකිලිමත්වීමට සිදුවෙනවා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,

මම විද්‍යාඥයෙක් නෙවෙයි. ඒ නිසා සෑම විටම අප වෛද්‍ය විශේෂඥවරුන්ගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුයි. අපි විශේෂඥයෝ නොවන නිසා ඒ අයට ඉඩ දෙන්න අවශ්‍යයි. ඇදිරි නීතිය දාන අවස්ථාවේ වුණත් අපි ඒ අයගේ උපදෙස් පිළිබඳ සලකා බැලුවා. අද බෞද්ධයන්ටත් මේ තත්ත්වයම ඇතිවෙලා තිබෙනවා. සමහර බෞද්ධයොත් මට කතා කරලා මේ ගැන කියනවා.

ඒ වගේම මුස්ලිම් අයටත් තමන්ගේ ආගමික විදිහට මෘත දේහයේ අවසන් කටයුතු කරන්න බැරි වෙන එක ගැන ගැටලුවක් තිබෙනවා. නමුත් අපි සෑම විටම සමාජය ගැන සිතිය යුතුයි. මේ තත්ත්වය සමාජයට බලපාන්නේ කොයි ආකාරයෙන් ද කියන එක ගැන අපි අවධානය යොමු කළ යුතුයි. මේ ගැන වෛද්‍ය විශේෂඥයන්ගෙන් විමසා බලා ඒ අනුව කටයුතු කරමු.

නව අදහස දක්වන්න