කොරෝනා මෙහෙයුමට රජයේ සියලු වත්කම් යොදවනවා | දිනමිණ


 

කොරෝනා මෙහෙයුමට රජයේ සියලු වත්කම් යොදවනවා

සමන්මලී ප්‍රියශාන්ති

ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ

කොරෝනා ව්‍යසනයෙන් රටත් ජනතාවත් බේරා ගැනීමේ මෙහෙයුමේ දී ජනතාවගේ අත්‍යවශ්‍ය සේවාවන් ඉටු කිරීමත් රට ආරක්ෂාකාරීව පවත්වාගෙන යාමත් වෙනුවෙන් රජය සතු සියලු මුදල්, සම්පත් හා වත්කම් භාවිත කරන බව අත්‍යවශ්‍ය සේවා පිළිබඳ ජනාධිපති කාර්යසාධක බළකායේ ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

රටත් ජනතාවත් මෙම වසංගතයෙන් බේරා ගත නොහැකි නම් මේ කිසිදු වත්කමකින් පළක් නොමැති බව කී රාජපක්ෂ මහතා, කොරෝනා මර්දනයට අවශ්‍ය මුදල් ජනාධිපති හා අගමැති උපදෙසින් ක්‍රමවේද රැසක් ඔස්සේ සපුරා ගැනීමට කටයුතු කරන බව ද කීවේය. එම වැඩපිළිවෙළ සඳහා සහාය දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රාජ්‍යයන් හා විවිධ සංවිධානවලින් කරන ලද ඉල්ලීමට මේ වන විටත් ධනාත්මක පිළිතුරු ලැබී තිබෙන බව ප්‍රකාශ කළ රාජපක්ෂ මහතා, ලංකාවේ බොහෝ දෙනකුද මේ සඳහා ආධාර කර තිබෙන බව ද පැවසීය.

මෙම උවදුරින් පසුව රට නැවත යථා තත්ත්වයට පත් කිරීමේ සැලසුම් ද සකස් කරමින් තිබෙන බවත් කෘෂි, වැවිලි, පශු ආදී සියලු ක්ෂේත්‍ර යාවත්කාලීන කර රටත් ජන ජීවිතත් යථා තත්ත්වයට පත් කිරීමට සැලසුම් කරන බවත් හෙතෙම අවධාරණය කළේය. එහිදී අතුරු ප්‍රශ්න රැසකට මුහුණ දෙන්නට සිදු වනු ඇතැයි කී ඒ මහතා, පසුගිය දිනවලදීත් තේ දලු කඩන්නට හා අදාළ වත්තේ තේ කර්මාන්ත ශාලාව තුළ තේ නිෂ්පාදන කටයුතු කරන්නට ඉඩ ලබා දුන්න ද තේ නිෂ්පාදනයෙන් පසුව වෙන්දේසිය සම්බන්ධයෙන් ගැටලු මතු වුයේ යැයි ද කීවේය.

වෙන්දේසිය පවත්වන්නේ කොහෙද? ගැණුම්කරුවන් එයිද? මිල දී ගනියි ද? යන අතුරු ප්‍රශ්න මතු වූ බවත් එවැනි අතුරු ප්‍රශ්න රැසකට රජයටත් මුහුණ දීමට සිදු වනු ඇති බව ද ඔහු එහිදී පෙන්වා දුන්නේය.

නව අදහස දක්වන්න