අපිට මේ මොහොතේ වටින්නේ ජනතාව පමණයි | දිනමිණ


 

අපිට මේ මොහොතේ වටින්නේ ජනතාව පමණයි

කංචන විජෙසේකර

මන්ත්‍රීවරු දැනුවත් කර ජනතා අවශ්‍යතා ඉටු කිරීමට යොමු කිරීම වැරැද්දක් නම් ජනතාව මහ මැතිවරණයේ දී එයට දඬුවම් දේවි. අපිට මේ මොහොතේ වටින්නේ ජනතාවගේ ජීවිත මිස දේශපාලනය නොවෙයි. සිදුවීම හරිහැටි නොදැක වලිගයෙන් අල්ලාගෙන කෑ මොරදෙන අය ගන්නා ඕනෑම නීත්‍යනුකුල ක්‍රියාවකට නොබියව මුහුණ දෙන්න සූදානම් බව හිටපු තේ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කොරෝනා අර්බුදයට ජනතාවට සහන සැලසීම සඳහා වන ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දැනුවත් කිරීමේ වැඩසටහනක් අකුරැස්ස ප්‍රදේශයේදී පැවැත්වීමට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ කරනු ලබන වෝදනාවට පිළිතුරු දෙමින් කංචන විජේසේකර මහතා වැඩිදුරටත් මෙසේ ද කියයි.

"පසුගිය 14 වැනිදායින් පසු අපි කිසිදු දේශපාලන කටයුත්තක් මේ දක්වා සිදුකර නෑ. මම මගේ දේශපාලනය කරන්නේ නීතියට අනුව මිස බලය භාවිත කර නොවෙයි. එසේ කරපු අවස්ථා තිබේ නම් පෙන්වා දිය හැකියි. දැන් තිබෙන්නේ ඡන්දය ගැන කතා කිරීම නොවෙයි. අපේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමයි. එසේ හිතන්නේ නැති අයට ඕනෑම දෙයක් අල්ලා ගෙන කෑ ගසන්නත්, ගෙදරට වෙලා ඉන්නත් පුවවන්. අපිට බැණ බැණ හරි ගෙදරට වෙලා ඉන්න එක මේ මොහොතේ සමාජයට කරන ලොකු උදව්වක්.

දේශපාලන වෛරස්වලට වඩා කොරොනා වෛරස් එක ප්‍රබලයි. ඒ නිසා සමාජ මාධ්‍ය ඔස්සේ පතුරවන දේශපාලන වෛරස්වලට අප බිය විය යුතු නෑ. මොකද අපි ඒ වෛරස්වලින් ජනතාව බේරාගෙනයි ඉන්නේ. අපි මේ සියලු උත්සාහයන් ගන්නේ කොරෝනා වෛරසයෙන් ජනතාව ආරක්ෂා කරන්නයි. එවිටයි යළි දේශපාලන වෛරස් ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ. එම වෛරස්වලට ඊලඟ බෙහෙතත් ජනතාව හොඳින් ම ලබා දේවි.

ඩලස් අලහප්පෙරුම, කංචන විජේසේකර කියන්නේ අනතුර ඉදිරියට දමා තම දේශපාලන මත වපුරා වාසිගන්නා දේශපලනඥයන් නොවන බව ජනතාව හොඳින් දන්නවා. අපි අද වන විට අපේ දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් කැපකරමින් ඉන්නේ මේ මොහොතේ ජනතාව පත් ව ඇති අනතුරුදායක තත්ත්වය හොඳින් ම දන්නා නිසයි. විපක්ෂයට උඩගෙඩි දෙන සමහර අය නම් ඕනෑම ව්‍යසනයකින් දේශපාලන වාසි ගන්නා ආකාරය අපි පසුගිය කාලය පුරාම දැක තිබෙනවා.

මේ හැම විවේචනයක්ම අපි ජනතාවට බාරදෙනවා. කවුද හරි කවුද වැරදි කියා ජනතාව ඉදිරියේදී හොඳ තීන්දුවක් ගනීවි. එතෙක් තප්පුලන අයට බලා සිටීමට සිදුවේවි.

ජයසිරි පේදුරුආරච්චි - ගන්දර සමූහ

නව අදහස දක්වන්න