අඳුරු වලාවක රිදී රේඛා | දිනමිණ

අඳුරු වලාවක රිදී රේඛා

අසේල කුරුළුවංශ

ත්‍රස්තවාදය ක්‍රියාත්මකවූ තිස් වසර තුළ අපට ඇඳිරි නීතිය සම්බන්ධව අත්දැකීම් තිබේ.88-89 භිෂණ සමයේදීත්,රාජ්‍යය නායකයින් ඝාතනය ලක්වූ අවස්ථා වලදීත් පශ්චාත් මැතිවරණ ප්‍රචන්ඩ ක්‍රියා පාලනය කිරීමටත් ඇඳිරී නිතිය පනවන ලද අවස්ථා සම්බන්ධව අපට මතකය.මෑත කාලීනව අපට එම අත්දැකීම ඇත්තේ මහනුවර දිගන ප්‍රදේශයේ ඇතිවූ ගැටුමේදීය.ඊටත් වඩා ආසන්න සිදුවීම පාස්කු ප්‍රහාරයයි.මේ සියලු සිදුවීම් සැලකීමේදී පෙනී යන කරුණක් වන්නේ සමාජ නොසන්සුන්තාවක් නිසා ඇතිවිය හැකි ගැටුමක් පාලනය කිරීම හා ඇඳිරි නීතිය පැනවීම අතර සබඳතාවක් පවතින බවයි.

එහෙත් දැන් ශ්‍රී ලාංකික ජනතාව අත් විඳිමින් සිටින්නේ ඊට හාත්පසින්ම වෙනස් වූ තත්ත්වයකි.ශ්‍රී ලංකා රජය මේ මොහොතේ පොලිස් ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ කොරෝනා වෛරස් ව්‍යාප්තිය පාලනය කිරීමටය.මේ ආකාර අත්දැකීමක් මෙරට ජනතාව අති විඳිනු ලබන ප්‍රථම අවස්ථාව මෙයයි.කොවීඩ්-19 වෛරසය අද ශ්‍රී ලංකාවේ පමණක් නොව මේ වන විට ලෝකයේ රටවල් 192 ක ජන ජීවිතයට බලපෑම් කර අවසන්ය.ලොව රටවල් ගණනාවක් ඇඳිරි නීතිය පනවා ජනතාව නිවෙස් වලට සීමා කිරීමට පියවර ගෙන තිබෙන්නේ වෛරසය ව්‍යාප්ත වීම වැලැක්වීම පිණිසය.නවතම දත්ත අනුව ලෝක ජනගහණයෙන් හතෙන් එකක් පමණම මේ මොහොතේ ගත කරන්නේ නිවෙස් වලට සීමාවූ ජීවිතයකි.

මේ ආකාර ලොව රටවල් ගණනාවක එකවර ඇඳිරි නීතිය පැනවීමක් මෑත ඉතිහාසයේ කිසිදු අවස්ථාවක සිදුව නොමැත.රටවල් ගණනායක් ගුවන් ගමන් නවතා තිබේ.වෛරසයට ගොදුරුව මියගොස් තිබෙන පිරිස දිනෙන් දින ඉහළ යන අතර ලිපිය සම්පාදනය කරන අවස්ථාවේ එය පැවතියේ 15000 ද ඉක්මවා තිබිණි.වෛරසය ආසාදනය වූ සංඛ්‍යාව ලක්ෂ තුනහමාර ඉක්මවා යමින් ලක්ෂ හතර වෙත ළඟා වෙත්දී ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ රෝගීන් සංඛ්‍යාව 91 කි.රෝගය වැළඳී ඇති බවට සැක සහිත පුද්ගලයින් 227 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටිති.

චීනයෙන් පසුගිය දෙසැබ්බර් මස පළමු වරට සොයාගත් මෙම වෛරසය මාස හතරකට ආසන්න කාලය තුළ සීඝ්‍රයෙන් ව්‍යාපත් වෙමින් තිබෙන්නේ මිනිස් ජීවිත පමණක් නොව ලෝක ආර්ථිකයද ගිලගනිමිනි.රටක් ලෙස අප අද එතතැන නැවතී සිටින්නේය.වඩත් සක්‍රීයව ක්‍රියාත්මක වන්නේ සෞඛ්‍ය අංශ,ත්‍රිවිධ හමුදාව හා පොලීසිය පමණි.පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යොමුවන අවස්ථාව වනවිට කොරෝනා වෛරසයේ බලපෑම අප රටට එල්ල වී නොතිබිණි.කොවීඩ්-19 වෛරසය ආසාදනයවූ චීන කත සුවය ලබා රටින් පිටව ගොස් සති දෙකකට පමණ පසු මෙරට ප්‍රථම වෛරස් ආසාදිතයා වාර්තා වූ අතර දැන් එය පාලනය කිරීම පිණිස වෙහෙස මහන්සි වී කටයුතු කිරීමට සිදුව තිබෙන්නේ ජනතාව වගකීමෙන් තොරව කටයුතු කිරීම හේතුවෙනි.

ඉතාලියට නීති විරෝධී ලෙස අතුළු වූ පුද්ගලයින් යළි මෙරට පැමිණීමෙන් පසු නිරෝධායනයට ලක් නොවී සැඟවී සිටීම සෞඛ්‍ය අංශ මුහුණ දුන් බරපතලම ප්‍රශ්නය වන අතර එහි අහිතකර ප්‍රතිපල දැන් අප රටක් ලෙස අප මුහුණ දෙමින් සිටින්නේය.පුද්ගල ගැටුමක් හෝ නොසන්සුන්කාරී හැසිරීමක් පාලනය කරන ආකාරයට වෛරසයක් මගින් සමාජයට එල්ල වන බලපෑම පාලනය කිරීමට රජයට නොහැකිය.එහිදී පුරවැසි වගකීම ඉතා ඉහළය.මේ මොහොතේ සුළු පිරිසක් තම වගකීම අමතක කර කටයුතු කිරීමෙන් සිදු වන්නේ සියලු දෙනා අවධානමට ලක් වීමය.

පාසැල් හා විශ්ව විද්‍යාල සියල්ල වසා දමා තිබේ.රාජ්‍යය අංශ සේවකයින්ට නිවාඩු ලබාදී ඇත.ගුරුවරුන් ඇතුළු සියලු රාජ්‍යය සේවකයින්ට නියමිත දිනට වැටුප් ගෙවීය යුතුය.අනෙක් පැත්තෙන් නිවෙස් වලට සීමාවී සිටින ජනතාවට සහන ලබා දීමට රජය පියවර ගත යුතුව තිබේ.සෞඛ්‍ය අංශ වෙත වෙන් කෙරෙන මුදල් ඉහළ නැන්වීමට සිදුවන්නේ රෝගීන්ට ප්‍රතිකාර කිරීමටත් ව්‍යාප්තිය පාලනය කිරීමටත් ගත යුතු ක්‍රියාමාර්ග දිනෙන් දින බැරෑරුම් වන හෙයිනි.ඇඳිරි නීතිය පැනවීමත් සමඟ රජයට ලැබිය යුතු බදු මුදල්ද විශාල ප්‍රතිශතයකින් අඩුවී ඇත.

මේ මොහොත වනවිට රජයට ඇත්තේ වැය පමණකි.පවතින පසුබිම තුළ ඕනෑම රජයක් අසීරුතාවට පත්වීම සාමාන්‍යය කරුණකි.විපක්ෂයේ හිටපු පිරිස් දේශපාලන වාසි සඳහා මෙම අර්බුදය පාවිච්චි කරන්නට උත්සහ කරන්නේ නම් එය කනගාටුවට කරුණකි.එහෙත් එවැනි තත්ත්වයක් පැහැදිලිව පෙනෙන්නට තිබෙන බව කනගාටුවෙන් වුව කිව යුතුව තිබේ.මෙය රටක් ලෙස අප ජාති,ආගම්,පක්ෂ බේදයෙන් තොරව මුහුණ දෙමින් සිටින අර්බුදයකි.ඉන් ගොඩ ඒමට සියලු දෙනා එකට එකතුවී ක්‍රියාකළ යුතු අවස්ථාවක කවුරුන් හෝ බොර දියේ මාළු බාන්නට උත්සහ කරන්නේ නම් ඔවුන්ට එකහෙලා ජනතාව විරුද්ධ විය යුතුය.

ලෝක වෙළෙඳ පොළේ බොර තෙල් මිල කොරෝනා වෛරස් ව්‍යාප්තියත් සමඟ විශාල ප්‍රමාණයකින් අඩු විය.එම වාසය ඉන්ධන මිල අඩුකර මෙරට ජනතාව වෙත ලබාදිය යුතු බවට විපක්ෂයේ දේශපාලන පක්ෂ හඬ නගත්දී ජනපතිවරයා කළේ තෙල් මිල පහත හෙළීම වෙනුවට අත්‍යවශ්‍යය භාන්ඩ කිහිපයක මිල පහත දැමීමය.ආර්ථික විද්‍යාඥයින් පවා මෙම තීරණය සම්බන්ධව මුලින් එතරම් එකඟතාවක් පල නොකළද දැන් එම තීරණය මොන තරම් නිවැරදිද යන්න සැවොම තේරුම් ගෙන තිබේ.තෙල් මිල පහත දැමූ සැනින් ප්‍රවාහන ගාස්තු අඩු වන්නේ නැත.ත්‍රිරෝද රථ ගාස්තු පහළ දැමීමක් සිදු වන්නේද නැත.මේ නිසා අදාළ සහනයේ වාසිය ලැබෙන්නේ සුළු ජන පිරිසකටය.ඒ වෙනුවට පරිප්පු සහ සැමන් මිල සැලකිය යුතු අගයකින් පහත හෙලීම තුළින් අද රටේම ජනතාවට එම සහනය ගලාගොස් තිබේ.සැමන් ටින් දෙකක් හා පරිප්පු කිලෝ දෙකක් මිලට ගන්නා අයෙකුට අවම වශයෙන් රුපියල් 350.00 ක පමණ ලභායක් හිමිවෙයි.පෙට්ට්‍රල් හා ඩීසල් මිල අඩු කිරීමෙන් මේ ආකාර සහනයක් සියලු ජනතාවට ලබාදිය හැකිද යන්න අදාළ තීරණය විවේචනය කරන පිරිස් කල්පනා කර බැලිය යුතුය.

මේ මොහොතේ රජය ඇඳිරි නීතිය පනවා තිබෙන්නේ ජනතාව විශාල වශයෙන් එකට ගැවසීම වෛරසය ව්‍යාප්ත වීමට හේතුවක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දී තිබෙන බැවිනි.මේ නිසා අඩු ආදායම් ලාභී විශාල පිරිසක් පීඩාවට පත්ව සිටින ස්වරූපයක්ද දක්නට ලැබේ.රටේත් ජනතාවගේත් යහපත පිණිස මේ ආකාර තීන්දු තීරණ ගැනීමේදී යම් යම් ජන කණ්ඩායම් වලට ගැටලු මතුවීම ස්වභාවිකය.සතොස මගින් සහන බඩු මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙළක් රජය ක්‍රියාත්මක කර තිබෙන්නේ මෙයට යම් සහනයක් ලෙසිනි.ඉදිරියේදී තවත් සහන ලබා දීමට ජනපතිවරයා කටයුතු කරමින් සිටින්නේය.ගොවිතැන් කටයුතු ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදීත් ඒ අයුරින්ම ක්‍රියාත්මක කිරීමට රජය අවසර ලබා දී තිබේ.එළවළු ආදි ආහාර ද්‍රව්‍යය ප්‍රවාහනයද පෙර පරිදිම අපහසුවකින් තොරව සිදු කිරීමට රජය කටයුතු කර තිබෙන්නේ අත්‍යවශ්‍යය ආහාර ද්‍රව්‍යය වල හිඟයක් ඇති නොවීම පිණිසය.

මෙයට අමතරව ජනපති වෙත පැවරී ඇති බලතල අනුව තවත් සහන රැසක් ලබා දීමට ජනපතිවරයා පසුගියදා පියවර ගත්තේය.ඇඳිරි නීතිය පැනවීමත් සමඟ ජනතාව මුහුණ දී තිබෙන ගැටලු නිසි ලෙස හඳුනා ගනිමින් අදාළ සහන ලබා දීමට ජනපතිවරයා පියවර ගැනීම ප්‍රශංසනීයය.ත්‍රිරෝද රථ හිමියන්ගේ ලීසිං ණය වාරික අයකර ගැනීම හය මසකට අත් හිටුවීම,රජයේ සේවකයින්ගේ හා පෞද්ගලික අංශයේ මාණ්ඩලික නොවන සේවකයින්ගේ වැටුපෙන් ණය වාරික අය කිරීම මැයි මස 30 දක්වා අත් හිටුවීම,බැංකු හා මූල්‍ය ආයතන විසින් ලබාදී තිබෙන රුපියල් මිලියනට අඩු පෞද්ගලික ණය අයකර ගැනීම මාස තුනකට අති හිටුවීම,රැකියා සඳහා තෝරාගත් උපාධි ධාරීන්ගේ මාර්තු මස අභ්‍යාස ලාභී දීමනාව වන රුපියල් 20000.00 ක මුදල ඔවුන්ගේ බැංකු ගිණුමට බැර කිරීම,කොරෝනා වෛරසය මර්දනයේ නියුතු සෞඛ්‍ය,පොලිස්,සිවිල් ආරක්ෂක අංශක ඇතුළු රජයේ සේවකයින් සඳහා වන අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභ දෙගුණයකින් ඉහළ දැමීම,සංචාරක,ඇඟළුම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට මාස හයක ණය සහන කාලයක් ක්‍රියාත්මක අගය කළ යුතුය.

මාසික ණය රුපියල් 50000.00 දක්වාවූ දේශීය ගනුදෙනු සඳහා භාවිත ණය පත් වලට ණය පොලී අනුපාත 15% ක උපරිමයකට යටත් කිරීම හා අවම මාසික අය කිරීම 50% කින් අඩු කිරීම,සමෘද්ධි ලාභීන් හා සමෘද්ධි කාඩ්පත් හිමියන්ට රුපියල් 10000.00 ක පොලී රහිත අත්තිකාරම් මුදලක් සියලුම සමෘද්ධි බැංකු සංගම් මගින් ලබා දීම,ලංකා සතොස හා සමූපකාර වෙළෙඳ සැල් වැට් බදු හා වෙනත් ප්‍රාදේශිය බදු හා ගාස්තු වලින් නිදහස් කිරීම ජනපතිවරයා ලබාදුන් සෙසු සහනය.ජන ජීවිතය අඩාල නොවී පවත්වා ගෙන යෑමට ජනතිවරයා විසින් මෙම පියවර ගනු ලබන්නේ රට ආර්ථික අතින් බරපතල අර්බුදයක පවතින අවස්ථාවක බව අප අමතක නොකළ යුතුය.

පවතින අර්බුදය තුළින් ඉක්මනින් ගොඩ ඒම හෝ නොවීම තීරණය වන්නේ ජනතාවගේ හැසිරීම මතය.සෞඛ්‍ය අංශ ඉතා වගකීමෙන් තම යුතුකම් ඉටු කරන බව අමුතුවෙන් කිව යුතු දෙයක් නොවන්නේ රෝගීන් 91 දක්වා ඉහළ ගියත් තවමත් එකදු කොරෝනා මරණයක් මෙරටින් වාර්තා නොවීම හේතුවෙනි.රෝගය ඇතැයි සිතා ප්‍රතිකාර නොගෙන වසන් වීමට උත්සහ කිරීම තුළින් ගැටලු මතුවන්නේ අදාළ පුද්ගලයාට පමණක් නොව සමස්ත සමාජයටමය.වගකීම් විරහිත පුද්ගල හැසිරීමක් නිසා රාගම රෝහලේ වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයට නිරෝධායනයට ලක්වීමට සිදුවූහ.

පුද්ගල වගකීම අප මුලින් අවබෝධ කරගත යුතුය.සියල්ල රජයට කළ නොහැකිය.අනෙක් පැත්තෙන් අරපිරිමැස්ම මේ මොහොතේ අප පුරුදු පුහුණු කළ යුතුය.අනවශ්‍යය ලෙස ඇතමුන් ආහාර ද්‍රව්‍යය ගොඩ ගසා ගන්නේ තමන් ගැන පමණක් සිතාය.අප මේ මොහොතේ අනෙකා ගැනද සිතිය යුතුය.පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවේ ජනපති හා එක්ව වෘත්තියවේදීන් තම යුතුකම් රට වෙනුවෙන් ඉටු කරමින් සිටිති.සෞඛ්‍ය ඇමැතිවරිය වුවද කටයුතු කරන්නේ විශේෂඥයින්ගේ උපදෙස් වලට නිරන්තරව ඇහුම්කන් දෙමිනි.කොරෝනා මර්දන වැඩපිළිවෙළට අනවශ්‍ය දේශපාලන ඇඟිලි ගැසීම් සිදුවන බවක් කිසිදු තැනක අසන්නට නොලැබෙන්නේය.ප්‍රතිපත්ති සම්පාදනය කිරීමට සිටින දේශපාලනඥයින් ඉන් ඔබ්බට ගොස් වෘත්තියවේදීන්ගේ කටයුුත වලට අනවශ්‍යය මැදිහත් වීම් කරන්නට යෑමෙන් ශ්‍රී ලාංකික සමාජය අත්විඳි අනිසි ප්‍රතිවිපාක වල අත්දැකීම් අපට ඕනෑවටත් වඩා තිබෙන්නේය.හෙට දවසේ දේශපාලනඥයාගේ කාර්යභාරය කුමක්ද යන්න දේශපාලනඥයින්ටත් රට වැසියාටත් නිවැරදිව තේරුම් ගැනීමට කොවීඩ්-19 වෛරසය එක් පැත්තකින් මඟ පාදා තිබෙන්නේය.

 

නව අදහස දක්වන්න