අමෙරිකාව වසංගතයෙන් වැසී යයි | දිනමිණ


 

අමෙරිකාව වසංගතයෙන් වැසී යයි

ෆවුස් මොහොමඩ්

කොවිඩ් -19 වසංගතයට ගොදුරු වූ ලොව බලවත්ම රට වන අමෙරිකාවේ මේ වනවිට තත්ත්වය ඉතා දරුණු අතට හැරෙමින් තිබෙන බව විදෙස් පුවත් අනාවරණය කළා. පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වූ 2 වැනිදා පමණක් එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ප්‍රමාණය තිස් දහසකට ආසන්නයි. ඒ අනුව අමෙරිකාවේ ආසාදිතයන්ගේ සමස්ත සංඛ්‍යාව දෙලක්ෂ පනස්දහසකට ආසන්න වෙමින් තිබෙනවා. ලොව වැඩිම කොවිඩ් -19 ආසාදිතයන් වාර්තා වූ රට බවට අමෙරිකාවේ ආසාදිතයන් සංඛ්‍යාව දෙවැනි තැනට පත්වූ ඉතාලියටත් වඩා දෙගුණයකින් වැඩියි.

එරට ආසාදිතයන් දසදහසක් වාර්තා වීමට දින 34ක් ගතවූවත්, ඉතිරි දින 15දී එය ලක්ෂ 2 ඉක්මවා යාමෙන් එහි බරපතළ තත්ත්වය මැනවින් පැහැදිලි වෙනවා. පෙරේදා දිනයේ අමෙරිකාවේ කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 968ක් වූ අතර එය එදින දෙවැනි වූයේ ප්‍රංශයට පමණයි.

මාර්තු මස 24 වැනිදා සිට අමෙරිකාවේ කොවිඩ් - 19 වෛරසය ව්‍යාප්තවන වේගය අසීමිත ලෙස වර්ධනය වී ඇති අතර ගතවූ දින 10 ඇතුළත එරට කොවිඩ් - 19 වසංගතයේ නව කෙන්ද්‍රස්ථානය බවටත් පත්වෙලා. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පවසන පරිදි අමෙරිකාවේ ඉදිරි සති 2-3ක කාලය එරටේ පැවැත්මට එනම් අමෙරිකාවේ ‘ඇතිවීම හෝ නැතිවීම‘ තීරණය කෙරෙන කාල සීමාවක්.

‘අපි කවදාවත් නැති විදියේ මහා ව්‍යවසනයකට මුහුණදීලා ඉන්නේ. මේක බරපතළ ජාතික ප්‍රශ්නයක් වෙලා. අපිට සිද්ධවෙලා තියෙන්නේ මාරක වෛරසයක් එක්ක සටන් කරන්නයි. මේ සටනේ සාර්ථකත්වය රඳා පවතින්නේ අපේ ශක්තිය, ආදරය හා කැපවීම මතයි. ඒක ඉතා වැදගත්. අපි අමෙරිකාව බේරා ගනිමු.‘ ජනපති ට්‍රම්ප් ජාතිය අමතා එසේ කියා සිටියත්, මේ වනවිට එරට සියළුම ප්‍රාන්ත කරා ව්‍යාප්තවී ඇති කොවිඩ් වසංගතයට එරෙහිව සටන් කිරීමට ජාතික සැලැසුමක් සකස් කරන්න ට්‍රම්ප් තවමත් අසාර්ථකයි කියලයි ප්‍රාන්ත ප්‍රධානීන් නම් කියන්නේ.

මුලින් චීනයෙන් පටන් ගෙන පසුව ඉතාලියට ඉලක්ක වුණු ලෝක ජනමාධ්‍ය මේ වෙද්දී මුළු අවධානයම යොමු කර ඇත්තේ අමෙරිකාවටයි. ගතවූ දිනයේ ලොව වැඩිම පුවත් ප්‍රමාණයකට ඉලක්කවූයේත් අමෙරිකාවයි. නිව්යෝක් ප්‍රාන්තයේ පමණක් කොවිඩ් -19 ආසාදිතයන්ගේ ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි. එය අමෙරිකාව පුරා වසංගතය බෙදා හරින මධ්‍යස්ථානය බවටයි පත්වී ඇත්තේ. එරට සමස්ත මරණ සංඛ්‍යාව 100,000- 240,000 අතර වනු ඇතැයි දැනටමත් අනාවැකි පළවී හමාරයි. එය තවත් තහවුරු වූයේ අමෙරිකාවේ ආපදා කළමණාකරන ඒජන්සිය එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මළ සිරුරු බහාලුම් (body bags) ලක්ෂයක් ඉල්ලා සිටීම නිසයි.

පෙරේදා දිනයේ පමණක් මරණ 1355ක් වාර්තා වූ ප්‍රංශය ලොව අවාසනාවන්තම රට බවට පත්වුණේ සමස්ත මරණ සංඛ්‍යාවට අනුව චීනයත් පසුකළ තුන්වැනි යුරෝපා රට බවට පත්වෙමිනුයි. මේ වෙද්දී ප්‍රංශයේ සමස්ත මරණ සංඛ්‍යාව පන්දහසත් ඉක්මවයි. පෙරේදා මධ්‍යම රාත්‍රිය වනවිට ප්‍රංශයෙන් නව රෝගීන් 2116ක් වාර්තාවීමත් සමග සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව හැට දහසකට ආසන්න වී තිබෙනවා.

ප්‍රංශයේ පළමු කොවිඩ් -19 මරණය පෙබරවාරි මාසයේ 15 වැනිදා වාර්තාවුණත් දෙවැනි මරණය වාර්තාවීමට තවත් දින දහයක්ම ගතවී තිබුණා. නමුත් පෙබරවාරි 25 දිනයේ සිට මාර්තු 25 දක්වා ගතවූ මාසයේදී මරණ සංඛ්‍යාව 1100 දක්වා ඉහළ ගියා. අවධානය යොමු විය යුතු බරපතළම කාරණාව වන්නේ පෙරේදා වනවිට ගතවූ ඊළඟ දින 8දී පස් ගුණයකින් පමණ ඉහළ යාමයි.

පසුගිය මාසය පුරාම කාගෙත් අවධානය යොමුවුණේ ඉතාලියටයි. පුදුමාකාර වේගයකින් මුළු ඉතාලියම කොවිඩ් - 19 වසංගතයෙන් වැසී යාමත් සමග එරට රෝහල්වල ගොඩ ගැසෙන මළ සිරුරු ගණන් කිරීමටවත් විවේකයක් රෝහල් කාර්ය මණ්ඩලයට ලැබුණේ නෑ. සමස්ත ආසාදිතයන් ප්‍රමාණය පෙරේදා වෙද්දී 115,242 ක්. නමුත් මාර්තු 24 සිට 29 දක්වා ගතවූ දින 6දී පමණක් ආසාදිතයන්ගේ වාර්තාවීම 5,000 - 6,000ක අතර වූවත් පසුගිය දින කිහිපය තුල එය පන්දහසෙන් පහළ අගයක් ගෙන තිබුණා. එමෙන්ම මරණ සංඛ්‍යාවේ ද අඩුවක් පෙන්නුම් කිරීම ලෝක ප්‍රජාව අතර ඉතාලිය අරභයා සැනසිලිදායක කරුණක් වුණා.

නමුත් ස්පාඤ්ඤයේ තත්ත්වය නම් ඊට වඩා බරපතළයි. පෙරේදා දිනයේ ආසාදිතයන් අට දහසකට ආසන්න ප්‍රමාණයකුත්, මරණ 961කුත් වාර්තා වුණු ස්පාඤ්ඤය තුන්වැනි තැන සිටියත්, සමස්ත ආසාදිතයන් 112, 065ක් වාර්තා වීම නිසා ඉතාලිය ආසන්නයට පැමිණ සිටිනවා. පෙබරවාරි 15 සිට මාර්තු 20 වනවිට ආසාදිතයන් 20, 000ක් පමණක් වාර්තා වූ ස්පාඤ්ඤයේ අවසන් දින දහයේදී පමණක් අනූදහසකට වැඩි ප්‍රමාණයක් වාර්තාවීමෙන් එරට ඇද වැටී ඇති කනගාටුදායක ඉරණම පැහැදිලිව පෙනෙනවා. බ්‍රිතාන්‍යයේ තත්ත්වයත් එන්න එන්නම නරක අතර හැරෙමින් පවතිනවා. පෙරේදා එරටින් මරණ 569ක් වාර්තා වීමෙන් තත්ත්වය බරපතළ බවට පැහැදිලියි. මහජනතාවගේ විනෝදාශ්වාදය සඳහා මිල්ටන් කේන්ස් පළාතේ පවත්වාගෙන යනු ලබන අතිවිශාල හිම ක්‍රීඩා කිරීමේ ගොඩනැගිලි සංකීර්ණය රජයට පවරාගෙන තාවකාලික මෘතශරීරාගාරයක් බවට පත්කිරීමට ඊයේ පියවර ගෙන තිබුණා.

පෙරේදා වනවිට නව රෝගීන් 6,813ක් සහ නව මරණ 176ක් වාර්තා වුණු ජර්මනියත් චීනය පසුකරමින් සමස්ත රෝගීන් සංඛ්‍යාව අතින් ඉදිරියට යාම කොවිඩ් -19 වසංගතය යුරෝපය පුරා ව්‍යාප්ත වෙමින් තිබෙන වේගයට හොඳම නිදසුනක්. චීනය නම් මේ වනවිට ඉතා සාර්ථකව වෛරසය මැඩ පවත්වමින් සිටිනවා. පෙරේදා එරටින් වාර්තාවුණේ නව රෝගීන් 35කුත්, නව මරණ 6කුත් පමණයි. ඒ වගේම දකුණු කොරියාව, රුසියාව හා ජපානය ඉතා සාර්ථකව කොවිඩ් -19 මර්ධනය කරමින් සිටිම ඔවුන් ලද විශාල ජයග්‍රහණයක්.

 

නව අදහස දක්වන්න