WHO උපදෙස් තවදුරටත් පිළිපදින්න | දිනමිණ


 

WHO උපදෙස් තවදුරටත් පිළිපදින්න

කොරෝනාවෛරසය හේතුවෙන් අප ජීවන රටාවේ මෙන්ම අපගේ සබඳතාවල ද සැලකිය යුතු වෙනස්කම් සිදු වෙමින් පවතී.

මෙම වසංගතයේ දී අප සහ අන් අයගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීම සම්බන්ධයෙන් විශාල උපදෙස් ප්‍රමාණයක් ද ලැබෙන තත්ත්වයක් දක්නට ලැබේ.

ඔබට උදව්වක් විය හැකි උපදෙස් කිහිපයක් පහතින් දැක්වේ.

මා ආරක්ෂා විය යුත්තේ කෙසේද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO) අනුව, කොරෝනාවෛරසයට එරෙහි වැදගත් ම හා මූලික ආරක්ෂක පියවර වන්නේ සනීපාරක්ෂාව ය.

  • නිතර ම සබන් සහ ජලයෙන් හෝ මද්‍යසාර අඩංගු දියරයකින් අත් සේදීම කළ යුතුය. මෙමගින් ඔබේ දෑත්වල රැදී ඇති වෛරස් විනාශ කරයි.
  • ඔබේ දෑස්, නාසය සහ මුඛය ස්පර්ශ කිරීමෙන් වළකින්න. දෑත්වලින් බොහෝ පෘෂ්ඨ ස්පර්ශ කරන අතර ඒවායේ වෛරස් රැඳී තිබිය හැකිය. එතැන් සිට, ඔබ ශරීරය ස්පර්ශ කළහොත් වෛරසය ඔබේ ශරීරයට ඇතුළු විය හැකිය.

අප මෙය පැතිරීම නවත්වන්නේ කෙසේද ?

  • ඔබට කිවිසුම් යන විට හෝ කැස්ස ඇති වූ විට ටිෂූ කදාසියකින් ආවරණය කළ යුතු අතර, එසේ නොමැතිනම් වැලමිට නවා ආවරණය කර ගත යුතුය.
  • භාවිත කළ ටිෂූ කඩදාසිය වහාම නිසි ලෙස බැහැර කරන්න. වෛරසය අඩංගු බිඳිති ටිෂූ කඩදාසියේ රැදී තිබිය හැකි හෙයින් එය බැහැර කිරීමෙන් වෙනත් පුද්ගලයින්ට ආසාදනය වීම වළක්වා ගත හැකිය.
  • පුද්ගලයන් අතර අවම වශයෙන් මීටර් 2ක දුරක් තබා ගත යුතු යැයි උපදෙස් ලබා දී ඇත්තේ ද මෙම හේතුවට වන අතර, මෙයින් අදහස් වන්නේ දළ වශයෙන් එකිනෙකා අතර අත් දෙකක දුරක් පවත්වා ගත යුතුයි යන්නය.
  • බොහෝ ස්ථානවල සියලුදෙනාට නිවසේ රැඳී සිටින ලෙසත්, අත්‍යවශ්‍ය කරුණක් සඳහා පමණක් පිටතට යන ලෙසත් උපදෙස් දී ඇත්තේ කැස්ස සහ කිවිසුම් යන පුද්ගලයන් සමඟ සම්බන්ධතා අවම කර ගැනීමේ උත්සහයක් ලෙසිනි.
  • බැහැර සිටින විට අන් අයට අතට අත දී ආචාර කිරීම වෙනුවට "ආරක්ෂිත සුබ පැතුම්" ක්‍රම අනුගමනය කිරීම වැදගත් බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. උදාහරණ ලෙස අත වැනීම, හිස සෙලවීම හෝ හිස නමා ආචාර කිරීම කළ හැකිය.

මුහුණු ආවරණ සහ අත්වැසුම් පැළඳීමෙන් වෛරසයෙන් ආරක්ෂා විය හැකිද ?

ඔබ සුපිරි වෙළෙඳසලින් මිල දී ගන්නා සරල මුහුණු ආවරණවලින් වෛරසය ආසාදනය වීම වැළකෙන්නේ නැත. එවැනි මුහුණු ආවරණවල ඇති ලිහිල්බව, දෑස් ආවරණය කර ගැනීමට නොහැකි වීම සහ දිගු කලක් පැළඳිය නොහැකි වීමය මෙයට හේතු වේ.

කෙසේනමුත්, ආසාදිත පුද්ගලයින්ගේ බිඳිති අන් අය වෙත ළඟා වීම මෙම මුහුණු ආවරණවලින් වළක්වා ගත හැකිය.

සාර්ස්-කොව්-2 (Sars-CoV-2) වෛරසය ඇති බොහෝ පුද්ගලයින් කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ බව ඔබේ මතකයේ ඇත. එබැවින් වෙනත් පුද්ගලයින් වටා සිටිය දී මුහුණු ආවරණ භාවිත කිරීම යෝග්‍යය වේ.

ඔබේ දෙඅත් නිතර සබන් සහ ජලයෙන් සේදීමෙන්, අත්වැසුම් භාවිත කරනවාට වඩා කොවිඩ් -19 වෛරසයෙන් ආරක්ෂාවක් ලැබෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

මට කොවිඩ් -19 ආසාදනය වී ඇත්දැයි දැන ගන්නේ කෙසේද ?

කොරෝනාවෛරසයේ ප්‍රධාන රෝග ලක්ෂණ වන්නේ උණ සහ වියළි කැස්ස වන අතර මේවා පිළිබඳ ඔබ අවධානය යොමු කළ යුතුය.

උගුරේ අමාරුව, හිසරදය සහ පාචනය ද සමහර අවස්ථාවල වාර්තා වී ඇති අතර, සමහර පුද්ගලයන්ට රස සහ සුවඳ නොදැනීම වැනි ලක්ෂණ ද පෙන්නුම් කරන බවටද අනුමාන තොරතුරු වාර්තාවී තිබේ.

මට එම රෝග ලක්ෂණ ඇත්නම් කුමක් කළ යුතුද ?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, හිසරදය සහ නාසයෙන් හොටු දියර ගැලීම වැනි සුළු රෝග ලක්ෂණ සහිත අසනීප තත්ත්වයක් වුව හැඟෙන්නේ නම් ඔබ නිවසේ රැඳී සිටිය යුතුය.

කොවිඩ් -19 ආසාදිතයන් 80% ක් පෙන්වා සිටින්නේ සුළු රෝග ලක්ෂණ පමණක් බව මතකයේ තබා ගත යුතුය. නමුත් ඔබ අන් අය සමඟ සම්බන්ධ වීමෙන් වැළකී සිටීම අත්‍යවශ්‍ය වේ.

කෙසේවෙතත්, උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුවහොත්, ඔබට ශ්වසන ආසාදනයක් හෝ වෙනත් බරපතල රෝගී තත්ත්වයක් තිබිය හැකි බැවින් වහා රෝහලක් කරා ගොස් ප්‍රතිකාර ගත යුතු බව ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

කොවිඩ් -19 කොතරම් භයානකද ?

'The Lancet Infectious Diseases' වෛද්‍ය සඟරාවේ පළ කර තිබුණු නව පර්යේෂණයක දත්ත අනුව, මෙම වෛරසය ආසාදනය වූවන්ගෙන් 0.66% ක් පමණ මිය යන බව ඇස්තමේන්තු කර තිබේ.

සෘතු ආශ්‍රීත සාමාන්‍ය උණ රෝගයෙන් මිය යන පුද්ගලයින් 0.1% ට වඩා මෙය බෙහෙවින් වැඩි නමුත් පෙර ඇස්තමේන්තු වලට වඩා බෙහෙවින් අඩු ය.

නමුත්, කොපමණ රෝගීන් ප්‍රමාණයක් ඇත්දැයි දැන ගන්නා තුරු කොවිඩ් -19 මරණ අනුපාතය නිශ්චිතව කිව නොහැක.

වසංගතයක් තුළ සිදුවන මරණ අනුපාතය ගණනය කිරීම ඉතා අපහසු ක්‍රියාවකි. මන්ද යත්, යම් පුද්ගලයෙකුට රෝගය වැළදී එයින් මියයන කාලය අතර පරතරයක් ඇති බැවිනි.

ලන්ඩන් ඉම්පීරියල් කොලේජ් හි වර්තමාන ඇස්තමේන්තුවට අනුව වයස 80 ට වැඩි පුද්ගලයන්ගේ මරණ අනුපාතය 10 ගුණයක් වැඩි අතර 40ට අඩු පුද්ගලයන් අතර බෙහෙවින් අවම අගයක් ගනී.

චීනයෙන් පළමුවෙන් වාර්තා වූ ආසාදිතයන් 44,000 ට වඩා වැඩි සංඛ්‍යාවක් ඇසුරෙන් කළ විශ්ලේෂණයෙන් හෙළි වූයේ දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදයාබාධ හෝ හුස්ම ගැනීමේ අපහසුතා ඇති පුද්ගලයින් අතර මරණ අවම වශයෙන් පස් ගුණයකින් වැඩි බවය.

ප්‍රතිකාරයක් තිබේද ?

නව වෛරසය සඳහා නිශ්චිත ඖෂධයක් හෝ එන්නත් නොමැති අතර ප්‍රතිජීවක ඖෂධවලින් බලපෑමක් ඇති නොකරයි. (ප්‍රතිජීවක ඖෂධ සටන් කරන්නේ බැක්ටීරියාවලට එරෙහිව මිස වෛරස්වලට එරෙහිව නොවේ).

ප්‍රතිකාරවලට විකල්ප පවතින නමුත්, බොහෝ පුද්ගලයන් ඔවුන් විසින්ම සුව අතට හරවනු ලබයි.

ලොව පුරා විද්‍යාඥයින් එන්නතක් නිපදවීම සඳහා වෙහෙසෙන නමුත්, පළමුව එය අත්හදා බැලීමේ පරීක්ෂණ කළ යුතුය. එබැවින් එන්නතක් සූදානම් කිරීමට පෙර යම් කාලයක් ගතවනු ඇත.

මෙම වසංගතය අතරතුර මගේ මානසික සෞඛ්‍යය රැකබලා ගන්නේ කෙසේද?අප ගෙවමින් සිටින්නේ අපහසු කාලපරිච්ඡේදයක් බවට සැක නැත.

ඒ නිසා ඔබට බොහෝ විට කනස්සල්ල, ආතතිය, දුක, කම්මැලිකම, තනිකම සහ කලකිරීමක් දැනීමට ඉඩ ඇත.

මෙම කාලය තුළ යම් පුද්ගලයෙකු මානසික සුවය පවත්වාගෙන යාම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳ ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මධුභාෂිණී දයාබණ්ඩාර පැහැදිලි කලාය.

  • ඔබට හොඳ හැඟීමක් ඇති නොවන දේවල් කියවීමට හෝ නැරඹීමට වැය කරන කාලය සීමා කරන්න.
  • අන් අය සමග සම්බන්ධ වීම සඳහා සමාජ මාධ්‍ය ජාලවල සැරිසරන්න, නමුත් කොරෝනාවෛරසය ගැන කියවීම සීමා කරන්න.
  • දරුවන් සිටී නම් ඔවුන් සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • සිය සැමියා, භාර්යාව, දෙමාපියන් හෝ පවුලේ අය සමග වැඩිපුර කාලයක් ගත කරන්න.
  • ආතතිය, පීඩනය අවම කර ගැනීම සඳහා හාස්‍ය උත්පාදක දේ කියවන්න, නරඹන්න.
  • තමන්ට කාලයක සිට මඟ හැරුණු දෙයකට නැවත යොමු වෙන්න.
  • පොත් කියවීම්, අත්කම්, මැහුම් ගෙතුම්, ගෙවතු වගාව වැනි දේට යොමුවන්න.
  • එකිනෙකා අතර නියමිත පරතරය තබාගෙන, නිවසින් පිටත, නිවස තුළ හෝ ගෙමිදුලේ ව්‍යායාම්වල නිරත වන්න. මෙමගින් මොළය තුළ රසායන ද්‍රව්‍යයක් වර්ධනය වන අතර, එය මානසික සෞඛ්‍ය පවත්වාගෙන යාමට බලපායි.
  • සංගීතයට සවන්දෙන්න. ගායනය, වාදනය, නර්තනය සහ චිත්‍ර සඳහා යොමු වන්න.
  • බොහෝ කලකින් කතා නොකළ මිතුරෙකුට දුරකතන ඇමතුමක් දෙන්න.
  • වැරදි පුවත් නොබලා, වගකිව යුතු මාධ්‍ය ආයතනවල පුවත් පමණක් නරඹන්න, කියවන්න.
  • හැකි සෑම විට ම සමබර ආහාර වේලක් ලබා ගන්න.
  • අන් අයට පිහිට වන්න.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න