ආතතියෙන් මිදෙන්න වගාවක යෙදෙන්න! | දිනමිණ

ආතතියෙන් මිදෙන්න වගාවක යෙදෙන්න!

රාජ‍්‍ය සේව‍කයෝ ලක්ෂ පහළොවකට ආසන්න පිරිසක් ගෙදර සිටිති. පාසල් දරුවෝ ලක්ෂ හතළිස් ගණනක් ගෙදර සිටිති. විශ්‍රාමිකයෝ ලක්ෂ කිහිපයක් ද පෞද්ගලික අංශයේ තවත් විශාල පිරිසක් ද ‍ගෙදර සිටිති. මෙයින් සුළු පිරිසකට අක්කරයට වඩා වැඩි ඉඩම් තිබේ. තව පිරිසකට අක්කර කාලකට වැඩි ඉඩම් තිබේ. තවත් පිරිසකට පුංච් හෝ ගෙවත්තක් තිබේ. මේ දෙපැත්ත ගැන බලන විට පෙනී යන්නේ භූමියත් ශ්‍රමයත් යන නිෂ්පාදන සාධක දෙකම අප සතු බව ය. එක් පුද්ගලයකු දිනකට පැයක් වැඩ කරමින් බෝග වගාවක යෙදුණහොත්, ඉදිරියේ ඇති විය හැකි ආහාර හිඟයට සාර්ථික විසැඳුමක් සොයා ගත හැකි ය. අවශ්‍ය වන්නේ විශ්වාසයකින් යුතුව වැඩට බැසීම පමණි.

රටේ දෙවන පුරවැසියා වන අගමැතිවරයා සියල්ලන්ටම ආදර්ශයක් සපයමින් වැඩට බැස තීබේ. මහින්ද රාජපක්ෂ මහතා ද එම මැතිනිය ද එකතුව වගා සංග්‍රාමයේ යෙදෙන ආකාරය සමාජ මාධ්‍ය ඔස්සේ දැක ගත හැකි ය. මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර ද අරලියගහ මන්දිරයේ වගා කටයුතු වල නිරත විය. එක වරෙක අරලියගහ මන්දිරයෙහි කිරි හරක් ඇති කිරීම ද සිදු විය. ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රාජ්‍යයෙකි. ඈත අතීතයේ පටන්ම අපේ නායකයෝ වගාවට සම්බන්ධ වූහ. රට සහලින් ස්වයංපෝෂිත කිරීම අපේ නායකයන්ගේ සටන් පාඨයක් ලෙස පැවැතුණි. එම සටන් පාඨය යළීත් කරළියට ගෙන ආ යුතු කාලය පැමිණ තිබේ.

කොරෝනා වසංගතයත් සමඟ ලෝක ආර්ථිකය එකතැන පල්වෙන තත්ත්වයක් මතු වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන අන්දමට ලෝක ආර්ථිකය නැවතී ඇත. එහි කැපී‍ පෙනෙන ලක්ෂණය වන්නේ නිෂ්පාදනය පහත වැටීම ය. ආහාර නිෂ්පාදනය පහත වැටීම නිසා ද ආහාර බෙදා හැරීම අවුල් වී ඇති නිසා ද ඉදිරියේ දී ඇතිවිය හැකි තත්ත්වය බෙහෙවින් අර්බුදකාරී බව පුරෝකථනය වී ඇත. විශේෂයෙන් ම‍ ආහාර ද්‍රව්‍ය ආනයනය කරන රටවල් මේ පසුබිම නිසා බලවත් පීඩාවකට ලක්වනු ඇත. ශ්‍රී ලංකාව සියලු ආහාර ද්‍රව්‍ය පිටරටින් ගෙන්වන්නේ නැති වුව, සැලකිය යුතු ආහාර ද්‍රව්‍ය ගණනක් ආනයනයට හුරු වී ඇත. ඉදිරි මාස කිහිපය තුළ ආනයන කටයුතු අවුලකට යනු ඇත.

ශ්‍රී ලංකාව වැනි කෘෂිකාර්මික රාජ්‍යයකට ආහාර අර්බුදයකින් ජයගත හැකි සාධක ඕනෑ තරම් තිබේ. අපට අනන්‍ය වූ දේශිය අල වර්ග හැට ගණනක් ඇති බව සඳහන් ය. දේශිය සහල් වර්ග විශාල ගණනක් ඇති බව සඳහන් ය. පලා වර්ග කෙළවරක් නැතුව පවතී. ගම්මානවල ඉබේ වැවෙන ශාඛ වර්ග ආහාරයට ගනු ලැබේ. ඒ හැරෙන්නට කොස්, දෙල්, කැලෑ දෙල් වසරේ ඒ ඒ කාලවල දී පළ දරයි. දේශීය පළතුරු වර්ග විශාල ප්‍රමාණයක් තිබේ. එහෙත් මේවා පිළිබඳ ජනතාවගේ සැලකිල්ල අඩු ය. පිටරට ඇපල් වලට පිටරට කහ දොඩම්වලට, මිදිවලට අපේ ආකර්ශනය යොමු වී ඇත. දේශීය පළතුරුවල ඇති ඖෂධීය ගුණයෙන් දහයෙන් එකක් වත් ආනයනික පළතුරුවල නැත.

1970 බලයට පත් සමගි පෙමුණ ආණ්ඩුව වගා සංග්‍රමයක් ඇති කළේ ය. සෑම ගෙදරකම සාර්ථක ගෙවත්තක් සිදු විය. ආණ්ඩුවේ ඉලක්කය වූයේ ස්වයංපෝෂිත ආර්ථිකයක් ගොඩනැගීම ය. ඒ අනුව “නැවෙන් කටට“ සම්ප්‍රදාය මුළුමනින් ම වෙනස් කළ යුතු බව නායකයෝ පෙන්වා දුන්හ. මුළු රටම වගා බිමක් බව‍ට පත්විය. පාසල් දරුවෝ පවා වගාවට යොමු වූහ. පාසලේ විෂය ධාරවට ද අනිවාර්ය විෂයක් ලෙස කෘෂිකර්මය එකතු විය. පාසල් භුමිය තුළ විවිධ ‍බෝග වගා කැරිණි. ශිෂ්‍ය කණ්ඩායම්වලට වෙන වෙනම වගා ක්‍රම හඳුන්වා දී තිබිණි. ශිෂ්‍යයෝ කුඹුරට බැස වී වගාව ප්‍රායෝගික ලෙස ඉගෙන ගත්හ. ඒ ක්‍රමය දිගටම පැවතුණේ නම් ශ්‍රී ලංකාව කිසි ලෙසක ආහාර අර්බුදයකට මුහුණු දෙන්නේ නැත.

1977 දී ස්ථාපිත කරන ලද විවෘත ආර්ථික ක්‍රමය නිසා දේශීය කෘෂිකර්මය පිරිහීමට ලක් විය. දේශීය කර්මාන්ත ඇද වැටිණි. සමාජයේ ආකල්ප වෙනස් වූ අතර ‍පිටරට අරුමෝසං භාණ්ඩවලින් වෙළඳපොළ පිරී ගියේ ය. මෙහි විපාක වලට පසු කලෙක දී මුහුණ දෙන්න සිදු විය. 2006 -2007 කාලයේ දී ඇති වූ ලෝක සහල් අර්බදුයේ දී ශ්‍රී ලංකාව අර්බුදයට පත් විය. ඉන්දියාව, තායිලන්තය, වියට්නායම වැනි රටවල් සහල් අපනයනය නවතා දැමී ය. හේතුව දේශිය සහල් අවශ්‍යතා පිරිමැසීමයි. කෙරෝනා වසංගතය නිසා ද නිත්‍ය ලෙසම එබඳු තත්ත්වයක් ඇතිවීමට නියමිත ය. දැන්ම පියවර නොගතහොත් බලවත් අර්බුදයක් නිර්මාණය වීමට හොඳටම ඉඩ තිබේ.

පර්චස් 10 ක ඉඩමක නිවසක් තනා ගත් කෙනෙකු මම කොහේ වගාකරන්න දැයි, අතුරු ප්‍රශ්නයක් නඟන්නට පුළුවන. එය සැලකිය හැක්කේ ගැටලුවෙන් පැන යාමට හෝ මඟ හැරීමට හෝ දරණ ප්‍රයත්නයක් හැටියට ය. තට්ටු නිවාසවල සිට වගා කරන අයත් සිටිති. නිවසේ වහලය මත එළවළු වගා කරන අය සිටිති. මිදුලේ මල් වෙනුවට එළවළු වවන අය සිටිති. ගඩා‍‍ෆීගේ පාලනය යටතේ ලිබියාවේ තට්ටු නිවාස වල කුකුළු පාලනයට ඉඩ දුන්නේ ය. ඒ අනුව එක පවුලකට අවශ්‍ය බිත්තර හා මස් එම පවුලේ අයම නිපදවා ගත්තේ ය. කාලයට අවශ්‍ය පරිදි අපගේ නිෂ්පාදන උපාය මාර්ග වෙනස් කර ගත යුතුව තිබේ. අවශ්‍ය උපදේශන ලබාදීමට මෙන්ම බීජ වර්ග ලබාදීමට ද රජය ඉදිරිපත් ව සිටී. හිත ඇත්නම් පත කුඩා ද යන කියමන මෙහි දී සිහිපත් වේ.

කොරෝනා වසංගතය ජයගත හැකි ප්‍රධාන උපාය මාර්ග දෙකක් අප සතුය. පළමු උපාය මාර්ගය වන්නේ ඇඳිරි නීතිය පවතින කාලය තුළ සමාජ දු ර ස් ත භා ව ය ආරක්ෂා කරමින් නිවසේ ම රැඳී සිටීම ය. එයින් රෝග ව්‍යාප්තිය නවතී. දෙවන උපාය මාර්ගය වන්නේ කාලය අපතේ නොයවමින් කිසියම් වගාවක නිරතවීම ය. එය ආහාර අර්බුදයට මෙන්ම හිතේ ඇතිවන ආතිතියටත් විසැඳුමකි.

නව අදහස දක්වන්න