එංගලන්ත ක්‍රීඩකයන්ගේ වැටුපට කොරෝනා තට්ටු කරයි | දිනමිණ

එංගලන්ත ක්‍රීඩකයන්ගේ වැටුපට කොරෝනා තට්ටු කරයි

නිරෝෂාන් ප්‍රියංකර

ලොව පුරා වසංගතයක් ලෙසින් ව්‍යාප්ත වන කොරෝනා වෛරසය හේතුවෙන් රටවල් රැසක් ආර්ථික අර්බුදයකට ලක්ව ති⁣බේ. මේ අර්බුදය හමුවේ එංගලන්ත ක්‍රිකට් ආයතනයට ද දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දීමට සිදුව තිබේ.

ජාත්‍යන්තර තරගාවලි රැසක් අත්හිටුවීමත්, රට තුළ ක්‍රියාත්මක සියලුම දේශීය තරග කල් දැමීමත් මීට හේතුවී ඇත.

ඒ යටතේ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා - එංගලන්ත ටෙස්ට් තරගාවලිය අතර මගදී අවලංගුවීම මෙන්ම ඉදිරියේ දී එංගලන්තයේ සත්කාරකත්ව⁣ය යටතේ පැවැත්වීමට නියමිත බටහිර ඉන්දීය කොදෙව්, පාකිස්තාන සහ ඔස්ට්‍රේලියානු තරගාවලි පැවැත්වීම පිළිබඳ ගැටලුකාරී තත්ත්වයකට පත්වීම කැපී පෙ⁣නේ. කොරෝනා තත්ත්වය පාලනය නොවුනොත් මේ තරගාවලිද අවලංගු කිරීමට සිදුවනු ඇත.

මේ තත්ත්වය මත එංගලන්ත ක්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට ලක්වන බැවින් ඊට පිළියමක් ලෙස ගිවිසුම් ගත ක්‍රීඩකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට එරට ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුවිය.

මේ සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම්ගත ක්‍රීඩක ක්‍රීඩිකාවන් එකඟතාව පළ කර ඇති අතර ඒ අනුව ඔවුන්ගේ වැටුපෙන් සියයට 20ක ප්‍රමාණයක් අහිමි වනු ඇත. මෙය ඉදිරි මාස 3 සඳහා වන වැටුපෙන් කපා හැරීමට නියමිතය. මෙමගින් ස්ටර්ලින් පවුම් 500,000ක මුදලක් එංගලන්ත ක්‍රිකට් ආයතනයට සහ වෙනත් සුදුසු ක්‍රියාවන් සඳහා යෙදවීමට නියමිතය.

ඒ අනුව ටෙස්ට්, එක්දින සහ විස්සයි 20 අංශ 3 සඳහා එංගලන්ත ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගත වී සිටින ජෝ රූට්, බෙන් ස්ටොක්ස්, ජොස් බට්ලර් වැනි ප්‍රධාන පෙලේ ක්‍රීඩකයන්ට පවුම් මිලියන 0.2 ක පමණ මුදලක් අහිමි වෙයි. එංගලන්ත ප්‍රාන්ත තරගාවලි මැයි මස දක්වා කල් දැමීමත් සමග එරට ප්‍රාන්ත ක්‍රිකට් කණ්ඩායම් ද මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටී.

 

නව අදහස දක්වන්න