යාපනයට පැමිණි පාස්ටර්වරයාගේ රියැදුරු ඇතුළු 7ක් කොරෝනා ආසාදිතයන් ලෙස රෝහලට | දිනමිණ


 

යාපනයට පැමිණි පාස්ටර්වරයාගේ රියැදුරු ඇතුළු 7ක් කොරෝනා ආසාදිතයන් ලෙස රෝහලට

යාපනයේ අරියාලේ පිලදෙල්පියා දේවස්ථානයට (ස්විස් පල්ලියට) පැමිණි පාස්ටර්වරයාගේ රියැදුරා වශයෙන් කටයුතු කළ පුද්ගලයා සහ ඔහු ආශ්‍රය කරන ලද තවත් හය දෙනකු කොරෝනා ආසාදිතයන් වශයෙන් යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කොට තිබේ.

යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතා සඳහන් කළේ ඔවුන් හත් දෙනාම වෛද්‍ය පරීක්ෂණවලට ලක්කොට ඇතත් මේ දක්වා ඔවුන් සම්බන්ධයෙන් වූ වෛද්‍ය වාර්තා ලැබී නොමැති බවයි.

මේ අතර යාපනයේ ආරක්ෂක අංශ හා සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ යාපනයේ එම දේවස්ථානයේ පූජාවට පැමිණි සියලු බැතිමතුන්ගේ නිවාස හා එම දේවස්ථානයට අයත් සියලු ගොඩනැඟිලි විෂබීජ හරණයට ලක් කරන බවයි.

පාස්ටර්වරයා ඇසුරු කිරීමෙන් පසුව කොරෝනා රෝග ලක්ෂණ පහල වී රෝහල් ගත කොට සිටින පුද්ගලයන් හත්ද‍ෙනා වාසය කළ සියලුම ස්ථානද විෂබීජ හරණයට ලක් කොට එම පවුල්වල සාමාජිකයෝ ස්ව‍යං නිරෝධායන කටයුතුවලට ලක් කළ බවද යාපනයේ සෞඛ්‍ය බලධාරීහු ප්‍රකාශ කරති.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

නව අදහස දක්වන්න