සයුරෙන් එහා කොවිඩ් පුවත්: යුරෝපයම අවදියෙන් ස්වීඩනය මර නින්දේ | දිනමිණ


 

සයුරෙන් එහා කොවිඩ් පුවත්: යුරෝපයම අවදියෙන් ස්වීඩනය මර නින්දේ

ෆවුස් මොහොමඩ්

ස්වීඩනය කියන්නේ උතුරු යුරෝපයේ විශාලතම රට. ජනගහණය මිලියන 10කටත් වැඩියි. සමස්ත යුරෝපා මහාද්වීපයම කොවිඩ් වසංගතයට හසුවී තිබියදිත් ස්වීඩනය ඊට ප්‍රතිචාර දක්වමින් සිටින ආකාරය ලෝක සෞඛ්‍ය සංවිධානයෙත්, යුරෝපයේ සෙසු රටවලත් විමතියට කරුණක්. ගෙවී ගිය සති අන්තයේදිත් එරට ස්ටොක්හෝම් අගනගරයේදිත්, සෙසු නගරවලත් ජනතාව එකපොදියට මං මාවත්වල, අවන්හල වල ඉතා විනෝදයෙන් මැදියම් රැය වනතුරු කල්ගත කිරීම සෙසු රටවල ජනතාවගේ නම් නළල්තල රැලි ගන්වන්නක්.

සැබැවින්ම මේ වනවිටත් ස්විඩනයේ කොවිඩ් ආසාදිතයන් හය දහසකට වැඩි ප්‍රමාණයක් සිටිනවා. මරණත් 400කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. නමුත් එරට ජනතාව ඒ පිළිබඳ තවමත් දක්වන්නේ ඉතා අඩු සැළකිල්ලක්. සිය ජනතාව දැනුවත් කරන්නත්, සෞඛ්‍යාරක්ෂක වැඩ සටහන් වහා ක්‍රියාත්මක කරන්නත් එරට රජයත් විශාල කැපවීමක් නොගන්නා බවකුත් පෙන්නුම් කරන්නේ. ගෙවුණු දින තුනේදි පමණක් කොවිඩ් ආසාදිතයන් 1,500කට ආසන්න ප්‍රමාණයක් වාර්තාවෙද්දි, ඒ දින තුනේදි කොවිඩ් මරණ සංඛ්‍යාව දහස ඉක්මවද්දී පවා එරට රජය සීමා බාධක පැනවීමට හෝ ජනතාව එක්රොක් වන ස්ථාන වසා දැමීමට කටයුතු නොකිරීම මහා පුදුමයක්. ස්වීඩනයේ දේශ සීමා අදටත් යුරෝපා හවුලේ සෙසු සාමාජික රටවල ජනතාවට විවෘතයි.

ඔවුන් ඉතා ප්‍රීතියෙන් වසන්ත කාලය සමරමිනුයි සිටින්නේ. මත්පැන් අවන්හල් මැදියම් රැය වනතුරු විවෘතයි. සිනමාශාලා, කායවර්ධන මධ්‍යස්ථාන, පාසල් තවමත් ක්‍රියාත්මක වෙනවා. ස්විඩන් රජය නිර්දේශ පමණයි ජනතාවට ලබා දී ඇත්තේ. නිතර නිතර දෑත් සේදීම, හැකියාව ඇති අයට නිවසේ සිට රාජකාරියේ නිරතවීම, රෝගී තත්ත්වයට පත්වූවන්ට මෙන්ම අවුරුදු 70ට වැඩි පුද්ගලයන්ට නිවසේ සිට ස්වයං නිරෝධායනයට යොමුවීම වගේ ඉතා අවම කරුණු කාරණා කොවිඩ් වසංගතය ස්විඩනය පුරා ව්‍යාප්තවීම නතර කළ නොහැකි බවයි ජාත්‍යන්තර විචාරකයන් කියන්නේ. ස්විඩන් රජය කොවිඩ් ව්‍යාප්තිය අවම කිරීමට මෙතෙක් පැනවූයේ පුද්ගලයන් 50කට වැඩි පිරිසකට ඒකරාශිවීමේ තහනම පමණයි.

ස්විඩනයට බටහිරින් හා උතුරෙන් පිහිටි නෝර්වේ කොවිඩ් ආසාදිතයන් 5550ක්. මරණ 62ක්. නැගෙනහිරෙන් පිහිටි ෆින්ලන්තයේ ආසාදිතයන් 1882ය. මරණ 25යි. දකුණෙන් පිහිටි ඩෙන්මාර්කයේ ආසාදිතයන් 4077ක්. මරණ 161ක්. වටපිට ඇති රටවල් තුනටම වඩා වැඩි මරණ සංඛ්‍යාවක් වාර්තා කළ ස්වීඩනයේ මේ ක්‍රියා කලාපය නිසා ඉදිරියේදී එරට කොවිඩ් වසංගතයේ රාජධානියක් බවට පත්වේවි කියලයි ජාත්‍යන්තර විශ්ලේෂකයන් අනතුරු අඟවා ඇත්තේ. කාටත් ඇති ගැටලුව වන්නේ ස්විඩනය තවමත් වසා නොදැමුවේ ඇයි ද යන්නයි.

අමෙරිකාවේ වත්මන් තත්ත්වය නම් අතිභයානකයි. ලක්ෂ 3කට වැඩි පිරිසක් මේ වෙද්දී එරට කොවිඩ් ආසාදිතයන් බවට පත්වී සිටිනවා. ගතවුණු දින 3දී පමණක් අමෙරිකාවෙන් වාර්තා වුණු කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය ලක්ෂයකට ආසන්නයි. ඒ දින තුනේදී මරණ 3350ක් වාර්තා වුණේ එක් දිනක් තුල එරට වැඩිම කොවිඩ් මරණ සංඛ්‍යාවක් වාර්තා වීමේ කනගාටුදායක පුවතක් සමගයි. පසුගිය සෙනසුරාදා මැදියම් රැය වනවිට අමෙරිකාවේ සිදුවූ කොවිඩ් මරණ සංඛ්‍යාව 1331යි. ඒ සමගම සමස්ත මරණ සංඛ්‍යාව 8452 දක්වා ඉහළ ගියා.

අමෙරිකාවේ තත්ත්වය කෙතරම් දරුණු ද කියනවා නම් ඊළඟ සති අන්තය වෙද්දී එරට කොවිඩ් මරණ සංඛ්‍යාව කෙතරම්දැයි නිශ්චය කරගැනීමත් වේදනාකාරී වනු ඇතැයි ධවල මන්දිර කාර්ය සාධක බළකායේ සම්බන්ධිකාරක නිලධාරිනිය වෛද්‍ය ඩිබෝරා බර්ක්ස් කියනවා. තවමත් කොවිඩ් මරණයක් වාර්තා නොවූ එකම ප්‍රාන්තය වයෝමින් ප්‍රාන්තය පමණයි.

ස්පාඤ්ඤයේ තත්ත්වයත් ඉතා බැරෑරුම්. ඉතාලියට වඩා පහළින් සිටි ස්පාඤ්ඤයේ ඊයේ පෙරේදා ඉතා වේගයෙන් කොවිඩ් ආසාදිතයන් හා මරණ වාර්තාවීමත් සමග මුළු රටම දැඩි කැළඹීමකට පත්වෙලා. ගෙවුණු දින තුනේදී පමණක් එරට කොවිඩ් ආසාදිතයන්ගේ ප්‍රමාණය 22, 000 ඉක්මවූවා. මරණ 2,500 ඉක්මවීම නිසා සමස්ත මරණ සංඛ්‍යාව දහදහසත් පසුකළා.

ඉතාලියේ තවමත් දිනකට හාරදහසකට වැඩි රෝගීන් ප්‍රමාණයක් වාර්තා වුණත් පසුගිය සතියට සාපේක්ෂව කොවිඩ් ආසාදිතයන්ගේ වර්ධනයේ අඩුවක් පෙන්නුම් කිරීමත්, මාර්තු 25 වැනිදායින් පසුව පෙරේදා පළමුවතාවට දිනක මරණ සංඛ්‍යාව 700ට වඩා පහළ අගයක් ගැනීමත් නිසා එරට වෛද්‍ය කාර්ය මණ්ඩලයට තරමක සැනසීමක් ලැබී තිබෙනවා. ඔවුන්ගේ දැන් අරමුණ වී ඇත්තේ ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ ගියත් නොගියත්, දිනකට වාර්තා වන මරණ සංඛ්‍යාව හැකිතාක් අවම කරගැනීමයි.

4 වැනිදා මැදියම් රැය වනවිට කොවිඩ් වසංගතයෙන් ලොව වැඩිම බලපෑම් එල්ලවූ රටවල් අතර පස්වැනි තැන සිටින ප්‍රංශයට පසුගිය සිකුරාදා මාරාන්තික දිනයක් වුණා. එදින ප්‍රංශයෙන් වාර්තා වුණු මරණ සංඛ්‍යාව 1355ක්. එය එක්දිනකදී වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ප්‍රංශයේ මේ වනවිට කොවිඩ් මරණ සංඛ්‍යාව ඉතා වේගයෙන් ඉහළ යමිනුයි පවතින්නේ. ඒ වගේම පසුගිය දෙවැනිදා කොවිඩ් ආසාදිතයන් 2116ක් පමණක් වාර්තා වුණු ප්‍රංශයේ 3 වැනිදා පමණක් ආසාදිතයන් 23060ක් වාර්තා වීම විමතිය දනවන්නක්. ගෙවුණු දින තුනේදීම එරටින් වාර්තා වුණ මරණ සංඛ්‍යාව දහසකට වැඩි අගයක් ගැනීමත් ඉතා කනගාටුදායක තත්ත්වයක්.

එවැනිම බරපතළ තත්ත්වයක් පෙන්නුම් කරන මහ බ්‍රිතාන්‍යයේ පසුගිය දින තුනේදී වාර්තා වූ ආසාදිතයන්ගේ ප්‍රමාණය 12, 000කටත් වැඩියි. එමෙන්ම දින තුනකදී මරණ දෙදහසකට ආසන්න වීමත් නිසා ඉදිරියේදී තත්ත්වය තවත් දරුණු අතට හැරෙන බවකුයි පෙන්නුම් කරන්නේ.

 

නව අදහස දක්වන්න