‘මනුෂ්‍යත්වයේ සත්කාරය’ අප්‍රේල් 08 සිට අරඹනවා | දිනමිණ


 

‘මනුෂ්‍යත්වයේ සත්කාරය’ අප්‍රේල් 08 සිට අරඹනවා

සුදත් රෝහණ

කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා 'මනුෂ්‍යත්වයේ සත්කාරය' නමින් වැඩසටහනක් ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලය සහ තවත් සංවිධාන ත්‍රිත්වයක එකමුතුවෙන් අප්‍රේල් 08 වැනිදා සිට ක්‍රියාත්මක වන බව ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සහ නිදහස් කලා සන්ධානයේ සභාපති සුදත් රෝහණ මහතා දිනමිණට පැවසීය. ඊයේ (5) අප කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළ අතර කලාකරුවන් සඳහා විශේෂ මැදිහත්වීමක් කරන බවද පැවසුවේය. එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීවේය.

"නිදහස් කලා සංධානය, වෛද්‍යවරුන්ගේ සංවිධානය සහ වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ යන සංවිධාන ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සමඟ එකතුවෙලා රට, ජාතිය මුදාගැනීම සඳහා ඒකාබද්ධ වැඩසටහනක් ආරම්භ කරලා තියෙනවා. මේ ව්‍යාපෘතිය කෙටිකාලීන සහ දිගුකාලීන අරමුණුවලින් සුසැදි වැඩසටහන් කිහිපයකින් සමන්විතයි.

"විශේෂයෙන්ම මේ සඳහා අපි අසීරුතා සහ අපහසුතා පවතින කලාකරුවන් පිළිබඳ තොරතුරු එකතු කරනවා. උපදිසාපති කාර්යාල හරහා සංස්කෘතික නිලධාරීන් පිළිබඳ තොරතුරු රැස් කරනවා. ඒ වගේම අපි මාධ්‍ය නිවේදනයක් නිකුත් කළා සුවහසක් ප්‍රේක්ෂක ජනතාව පිනවපු කලාකරුවන්ට මේ මොහොතේ අපහසුතා ඇත්නම් අපව අමතන්න කියලා. අපි මේ වැඩසටහන අප්‍රේල් 08 වැනිදා ඉඳලා පටන් ගන්නවා. දුර පළාත්වල සිටින කලාකරුවන් සඳහා අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය බෙදාහැරීම් සිදු කිරීමට එම පළාත්වල සිටින මාධ්‍යවේදියෙක්, සංස්කෘතික නිලධාරියෙක් සහ කලාකරුවකු මාර්ගයෙන් සිදුකරන්න කටයුතු යොදලා තියෙනවා. වයස අවුරුදු 60ට වැඩි කලාකරුවන් සඳහා මේ වන විටත් රුපියල් 10,000ක මුදලක් ලබා දීමට කටයුතු කරලා තියෙනවා.

"ඒ වගේම අපි ආධාර නොලැබෙන වැඩිහිටි නිවාස හා ළමා නිවාස සොයාගෙන ගිහින් ඒ අයට ආධාර කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකට අපි සෞඛ්‍යාරක්ෂාව සහතික කරගෙන කලාකරුවන් කිහිපදෙනෙක් එක්ක යන්නත් සැලසුම් කරලා තියෙනවා. මොකද ඒ මිනිස්සු මේ වෙද්දි පුදුම පීඩනයකින් ඉන්නේ. කලාකරුවන් දැකීම සහ ඔවුන් සමඟ කතා කළ හැකිවීම එම මිනිසුන්ට යම් අස්වැසිල්ලක් වේවි.

"ඒ සමඟම අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සමඟ එකතුවෙලා පැළ හා බීජ බෙදාහැරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද කොරෝනා වසංගතයෙන් පසුව අපි වගා සංග්‍රාමයක් කරන්න අවශ්‍යයි.

"අනිත් රටවල්වලට සාපේක්ෂව ලංකාවේ මේ වසංගත තත්ත්වය අපට පාලනය කර ගන්න පුළුවන් වෙලා තියෙන්නේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා සතුව ඇති නායකත්වය නිසා සහ මේ මොහොතේ අත්‍යාවශ්‍ය සේවා සපයන හමුදාව, පොලිසිය මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිටින සුවවිරුවන් නිසා. ඒ වගේම නගරසභාවේ කුණු අදින මනුස්සයාගේ ඉඳලා මේ අවස්ථාවේ තම ජීවිත අවධානම පවා නොතකමින් රට වෙනුවෙන් වැඩකරන සියලු දෙනාටම කරන ගෞරවයක් ලෙස තමන්ගේ නිවෙස්වලට වී සිටිමින් ඔවුන්ට සහයෝගය ලබා දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා."

නදී මාණික්කගේ

 

නව අදහස දක්වන්න