බොහෝ කලාකරුවන් අසරණ වෙලා | දිනමිණ


 

බොහෝ කලාකරුවන් අසරණ වෙලා

රොහාන් වැලිවිට

දිනපතා මුදල් උපයන පිරිසක් ලෙස ක්ෂේත්‍රයෙහි රැඳීම බොහෝ කලාකරුවන් අසරණ වී ඇති බවත් රජය මැදිහත්වී මොවුන් සඳහා යම්කිසි කාලසීමාවක් සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් ජාතික චිත්‍රපට සංස්ථාවේ ක්‍රියාකාරී අධ්‍යක්ෂ රොහාන් වැලිවිට මහතා දිනමිණට පැවසීය. ඊයේ (5) අප කළ විමසීමකදී ඔහු මේ බව පැවසූ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසුවේය.

"ඉස්සර වගේ නෙවෙයි, දැන් බොහෝ කලාකාරයෝ දවසේ ආදායම් හොයන්නේ. ඒ නිසා ඔවුන් මේ වෙද්දි පුදුම විදියට අසරණවෙලා ඉන්නේ. රජයේ හා පුද්ගලික ක්ෂේත්‍රයේ අයට මාසික වැටුප ලැබෙනවා. ඒත් කලාකාරයන්ට එහෙම අදායමක් නැහැ. දේශීය සිනමා ශිල්පීන්ගේ සංධානය අදියර දෙකක් යටතේ වියළි ආහාර බෙදා හැරීම සිදු කළා. මේ අප්‍රේල් 8 වැනිදා ඉඳලා ඒ ව්‍යාපෘතියේ තුන්වැනි අදියර ආරම්භ වෙනවා. ඇත්තටම අපිට මේකෙදි කලාකරුවන් තෝරා ගැනීම විශාල ගැටලුවක් බවට පත්වෙලා තියෙනවා.

"ජාතික චිත්‍රපට සංස්ථාවෙන් විශ්‍රාම වැටුපක් ලබන කලාකරුවන් පිරිසක් ඉන්නවා. එයාලට විතරයි ඒ පහසුවවත් ලැබෙන්නේ. අපි ඒ නිසා අන්තර්ජාලය හරහා දැනුම්දීමක් කළා ආහාර ලබා ගන්න මූල්‍යමය අපහසුවක් තියේනම් අපට දැනුම්දෙන්න කියලා. අපට බොහෝ දෙනෙක් කතා කළා.

"ඒ වගේම සිනමාශාලා හිමියන්ටත්, සිනමාශාලාවල වැඩකරන අයටත් සහනයක් ලබා දීම සඳහා අගමැතිතුමා සමඟ කතා කරන්න බලාපොරොත්තු වෙනවා. දිනපතා ආදායම් ලබන කලාකාරයන් වෙනුවෙන් රජයේ මැදිහත්වීමෙන් පොලී රහිත ණයක් හෝ ලබාදෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. ඒ වගේම කලාකරුවන් වෙනුවෙන්, ඔවුන්ට ආහාරපාන ලබා දීමට කැමති යම් දානපතියෙක් හෝ කණ්ඩායමක් ඉදිරිපත් වෙනවා නම් නොම්මර 76, පූර්වාරාම පාර, කොළඹ 05 කියන ලිපිනයට අපිට වියළි ආහාර ද්‍රව්‍ය ගෙනත් දෙන්න. අපි මුදල් භාරගන්නේ නැහැ. ඒ වගේම 077 405 4198 කියන නොම්මරයෙන් මට කතා කරලා උදව් කරන්න කැමතිනම් කියන්න. පසුගිය අදියරේදී අපිට ප්‍රවාහනය කිරීම පිළිබඳ ගැටලුව ආවා. දැනට බස්නාහිර පළාතේ ඒක ක්‍රියාත්මක වෙනවා. මොකද සියයට 90ක්ම කලාකාරයෝ ඉන්නේ කොළඹ."

නදී මාණික්කගේ

 

නව අදහස දක්වන්න